ශ්‍රී ලංකා ක්‍රිකට්: 'ප්‍රශ්න තිබුණේ කණ්ඩායමේ නොව මාධ්‍යවල' - චන්දික හතුරුසිංහ

පසුගිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිබූ බව පැවසෙන ගැටලු තිබුණේ මාධ්‍යවල මිස කණ්ඩායම තුළ නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ, 2019 ක්‍රිකට් ලෝක කුසාලනය සඳහා බ්‍රිතාන්‍යය බලා පිටත්ව යාමට පෙර බීබීසී සිංහල සේවය සමග කෙටි සංවාදයක යෙදෙමිනි.

"හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඔය තිබුණු ගැටලු මම දැන ගත්තේ මාධ්‍යයෙන්. මගේ මූණට, මට දකින්න තිබුනේ නැහැ එක ම ගැටලුවක් වත්," චන්දික හතුරුසිංහ කියා සිටියේය.

පසුගිය සමයේ කණ්ඩායම ලැබූ පරාජයන් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර මෙන් ම කළමනාකාරිත්වය අතර ඇතිවූ ගැටලු රැසක් වාර්තා වූ අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතර ඇතිව තිබූ ගැටලු විසඳීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විශේෂ සාකච්ඡාවක් ද කැඳවන ලදී.

කෙසේ වෙතත් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පැවසුවේ කණ්ඩායම ක්‍රීඩා කරන විට මේ කිසිදු ගැටලුවක් ඔවුන් අතර නොතිබූ බවය.

"පුහුණුකරුවෙක් විදිහට මම දැක්කේ නැහැ කිසිදු ප්‍රශ්නයක්. දෙසැම්බර් මාසෙට ඉස්සෙල්ලා බැලුවහම මේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ," ඔහු කියා සිටියේය.

තමන්ට එරෙහිව එල්ල කළ විවිධ චෝදනා ද දැන ගත්තේ මාධ්‍ය ඔස්සේ බව කියා සිටි ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, තමන් ක්‍රියා කරන ආකාරය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ගැටලුවක් නොතිබූ බව අවධාරණය කළේය.

"මාධ්‍යවල යන චෝදනා මට වලංගු නැහැ. මට වලංගු වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යම් ගැටලුවක් තිබ්බොත් විතරයි. එහෙම එකක් තිබ්බොත් මම ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරනවා."

2019 ලෝක කුසලානය ගැන අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, කණ්ඩායමේ උපරිම දක්ෂතා මතු කර ගැනීම පිණිස තමන් සහ පුහුණුකාර මණ්ඩලය අවශ්‍ය සැලසුම් සකස් කරන බවය.

"මේක ලොකු අභියෝගයක්. නමුත් කණ්ඩායමක් ලෙස උපරිම දක්ෂතා දැක්වුවහොත් අපිට ජයග්‍රහණය දක්වා යන්න පුළුවන්," චන්දික හතුරුසිංහ කියා සිටියේය.

වසර 4කට පසු එක්දින කණ්ඩායමට එක් වන කණ්ඩායමේ නව නායක දිමුත් කරුණාරත්න පිළිබඳව විමසූ විට චන්දික හතුරුසිංහ පැවසුවේ දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගාවලි ජයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඔහු මෙහෙයවූ ආකාරය දෙස බලද්දී තමන්ට දිමුත් කරුණාරත්නගේ නායකත්වය ගැන දැඩි බලාපොරොත්තු තබා ගත හැකි බවය. ආරම්භක පිතිකරුවෙකු ලෙස ද දිමුත් කරුණාරත්නගෙන් විශාල කාර්යභාරයක් බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියේය.

"අපිට ඒ වගේ ක්‍රීඩකයෙක් අවශ්‍ය වෙලා තිබුණා. අපි ගොඩක් කාලයක් උපුල් තරංග වගේ කෙනෙකුට ඒ අවස්ථාව දීලා තිබුණා. නමුත් උපුල් අසාර්ථක වුණු නිසා තමයි දිමුත් වගේ කෙනෙක් එතනට ආදේශ වෙන්නේ. ඒක හොඳ දෙයක් කණ්ඩායමට."

මේ තොරතුරුද කියවන්න:

ලෝක කුසලානයට පෙර ස්කොට්ලන්තය සමග පැවැත්වෙන තරග 2 හා ලෝක කුසලාන පෙරහුරු තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන සංයුතිය ගැන අවසන් තීරණයක් ගත හැකි බව චන්දික හතුරුසිංහ අවසන් වශයෙන් සඳහන් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එංගලන්තයට පැමිණ සිටින අතර ඔවුන් එහිදී පළමුව සතියක පමණ පුහුණු සැසියක් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව ස්කොට්ලන්තය බලා පිටත් වන ශ්‍රී ලංකා කණ්ඩායම ස්කොට්ලන්තය සමග මේ මස 18 සහ 21 යන දිනයන්හි එක්දින තරග 2කට සහභාගි වීමට නියමිතව තිබේ.

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පෙරහුරු තරග 2ක් ක්‍රීඩා කරන අතර එම තරග පැවැත්වෙන්නේ 24 වන දා දකුණු අප්‍රිකාව සහ 27 වන දා ඔස්ට්‍රේලියාවට සමගය.

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ජූනි මස 1 වන දා නවසීලන්තය සමග පැවැත්වීමට නියමිතය.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින ලසිත් මාලිංග ලබන 22 වන දා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වීමට නියමිත බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

තවත් තොරතුරු: