ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය: "තරග දිනන්නේ නැති නම් හතුරුසිංහට මිලියන 8ක් ගෙවන එක ගැටලුවක්"

දිගින් දිගට ම තරග පරාජයට පත් වීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මතුව ඇති අර්බුදය හමුවේ, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට ගෙවනු ලබන වැටුප පසුගිය දිනවල සමාජ මාධ්‍යවල වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් වී තිබිණ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රහස්පතින්දා (පෙබරවාරි 14) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසුවේ, "ආයෝජනය කරන මුදලට සරිලන ප්‍රතිඵල නොලැබේ නම්" ප්‍රධාන පුහුණුකරුට ගෙවන වැටුප සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවය.

තරග දිනීමේ ප්‍රතිශතය

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී "තරග දිනීමේ ප්‍රතිශතය" සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ, "හැම දේකදී ම රිටර්න් ඔන් ඉන්වෙස්මන්ට් කියල එකක් තියෙනවා. සියයට 35යි නම් අපේ විනිං රේට් එක, ඒකට අපි මිලියන 8ක් පඩි ගෙවනව නම් එතන ගැටලුවක් තියෙනවා," යනුවෙනි.

එම ප්‍රකාශයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ ලබා ගන්නා වැටුප පිළිබඳ ඉඟියක් ද හෙළි වී තිබේ.

චන්දික හතුරුසිංහ පුහුණුකරු ධූරය භාර ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණ ප්‍රතිශතය පිළිබඳ විමසා බැලීමක් පහත දැක්වේ.

ටෙස්ට් තරග

එක්දින තරග

20 - 20 තරග

2019 වසරේ මෙතෙක් පැවති සියලු ජය ගැනීමේ ප්‍රතිශතය 0%යි

මෙයින් පෙනී යන්නේ, 2018 වසරේ ටෙස්ට් තරග ජය ගැනීමේ ප්‍රතිශතය 33%ක් වන අතර, එක්දින තරග ජය ගැනීමේ ප්‍රතිශතය 35%ක් බවය. පන්දු වාර 20 තරග ජය ගැනීමේ ප්‍රතිශතය 50%කි.

ශ්‍රී ලංකා කණ්ඩායම 2019 වසරේ මෙතෙක් ක්‍රීඩා කළ (මේ වන විට පැවැත්වෙන දකුණු අප්‍රිකා තරගාවලිය හැර) සියලු තරග (ටෙස්ට්, එක්දින සහ 20 - 20) පරාජය වී තිබේ. ඒ අනුව, මේ වන විට මේ වසරේ ජයග්‍රහණ ප්‍රතිශතය 0%කි.

සමස්තයක් ලෙස ගත් කල 2018 සහ 2019 වසර දෙකේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ 20 - 20 තරග 43කට සහභාගි වී ඇති අතර ඉන් ජයගෙන ඇත්තේ, තරග 14ක් පමණි.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම එම වසර දෙක තුළදී වාර්තා කර ඇති ජයග්‍රහණ ප්‍රතිශතය 32%කි.

"ජය ගැනීමේ ප්‍රතිශතය මත පුහුණුකරු වැටුප"

තරග ජය ගැනීමේ ප්‍රතිශතය මත පුහුණුකරු සම්බන්ධයෙන් "ක්‍රමවේදයක් හැදීමට" සිදුවන බව ද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

"එතුමාටත් දෙන්න ඕනෙ පර්ෆෝමන්ස් වයිස් එයා 60%කටවත් මේක ගේන්නේ නැත්නම් එයාටත් මොකක් හරි ක්‍රමවේදයක් මේකට හදන්න වෙනවා."

කෙසේ වෙතත්, ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහට ද "ප්‍රශ්නයක් තිබූ" බව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේය.

"එතුමාගේ කකුලෙන් ඇද්දා. එතුමාට ඕන විදිහට කරන්න දුන්නේ නෑ. එහෙම කියන ප්‍රශ්නයකුත් තිබුණා."

තවත් කියවන්න: