ශ්‍රී ලංකා ක්‍රිකට්: චන්දිමාල් ඉවතට, දිමුත් නව ටෙස්ට් නායකයා - නව මුහුණු රැසක්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩාමේ නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත් කර තිබේ.

ඒ අනුව, දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාවේ 17 වන ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත.

අඟහරුවාදා (පෙබරවාරි 05) පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගනු ලැබීය.

ඒ අනුව, ඇන්ජෙලෝ මැතිව්ස් 2017 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන සිව් වන ටෙස්ට් නායකයා දිමුත් කරුණාරත්නයි. රංගන හේරත්, සුරංග ලක්මාල් සහ දිනේෂ් චන්දිමාල් එම කාලය තුළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවා තිබේ.

දිමුත් කරුණාරත්න පසුගිය වසර කිහිපයේ ශ්‍රී ලංකාවට සිටි සාර්ථක පිතිකරුවෙකු වන අතර, 2018 වසරේ ලෝක ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය දා ඔහු නම් කළේය.

පසුගිය වසරේ නවසීලන්ත සංචාරයට පෙර ඔහු කණ්ඩායමේ උපනායකත්වයට පත් කෙරුණු අතර එහිදී තේරුම් කමිටු සභාපති අසන්ත ද මෙල් පැවසුවේ, ඉදිරියේදී කණ්ඩායමේ නායකත්වයට පත්වීමේ සුදුසුකම් ඔහු සතු බවය.

දිනේෂ් චන්දිමාල් පිතිකරුවෙකු ලෙස දිගින් දිගටම ලැබූ අසාර්ථකත්වය ඔහු කණ්ඩායමෙන් ඉවත් කිරීමට හේතු වී තිබේ. සිය අවසන් ටෙස්ට් ඉනිම් 10යේදී දිනේෂ් චන්දිමාල් රැස් කළේ, එක් අර්ධ ශතකයක් පමණි. ඔස්ට්‍රේලියා සංචාරයේ ඔහුගේ ඉනිම් 4 දැක්වුණේ, ලකුණු 5,0,15 සහ 4ක් ලෙසය.

කණ්ඩායමේ උපනායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල පත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

නවක ක්‍රීඩකයෝ

දිනේෂ් චන්දිමාල්ට අමතරව ටෙස්ට් සංචිතයේ සිටි දිල්රුවන් පෙරේරා, රොෂේන් සිල්වා සහ සධීර සමරවික්‍රමට ද කණ්ඩායමේ සිය ස්ථාන අහිමි වී තිබේ.

ඒ වෙනුවට කෞෂාල් සිල්වා සහ මිලින්ද සිරිවර්ධන නැවත කණ්ඩායමට කැඳවා ඇත්තේ පළමු පෙළ තරගවල ඔවුන් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමිනි.

පසුගිය දා ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් එකම තරගයේ ඉනිම් දෙකකදී ද්විත්ව ශතක වාර්තා කළ ඇන්ජෙලෝ පෙරේරාට ද කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබෙන අතර ඔහුට අමතරව මෙවර පළමු පෙළ තරග වාරයේ වැඩි ම ලකුණු ලාභියා වන ඕෂධ ප්‍රනාන්දුට ද අවස්ථාවක් ලබා දී තිබේ.

පන්දු යවන්නන්ගෙන් නවක ක්‍රීඩකයන් වන වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ශිරාස් සහ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනිය ද කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

ඒ අනුව මින් පෙර ටෙස්ට් තරගයක් ක්‍රීඩා නොකළ ක්‍රීඩකයන් සිව් දෙනෙක් මෙම සංචිතයට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධය සුව වී තිබුණත් ඉදිරි ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් ඔහු මෙම ටෙස්ට් තරගාවලිය සහභාගි නොකිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින තරගාවලියට මැතිව්ස් සහභාගි වීමට නියමිතය.

දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම

  • දිමුත් කරුණාරත්න - නායක
  • නිරෝෂන් දික්වැල්ල - උපනායක
  • ලහිරු තිරිමාන්න
  • කෞෂාල් සිල්වා
  • කුසල් මෙන්ඩිස්
  • කුසල් ජනිත් පෙරේරා
  • මිලින්ද සිරිවර්ධන
  • ධනන්ජය ද සිල්වා
  • ඇන්ජලෝ පෙරේරා
  • ඕෂධ ප්‍රනාන්දු
  • සුරංග ලක්මාල්
  • කසුන් රාජිත
  • විශ්ව ප්‍රනාන්දු
  • චාමික කරුණාරත්න
  • මොහමඩ් ශිරාස්
  • ලක්ෂාන් සඳකැන්
  • ලසිත් ඇඹුල්දෙනිය

ශ්‍රී ලංකා කණ්ඩායම බදාදා (පෙබරවාරි 06) දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත අතර එළඹෙන 13 වන දා පළමු ටෙස්ට් තරගය ඩර්බන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙවන ටෙස්ට් තරගය පෙබරවාරි 21 පෝර්ට් එලිසබෙත්හිදී ආරම්භ වේ.

ශ්‍රී ලංකාව මෙතෙක් දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගාවලියක් ජයගෙන නැත. 2016 වසරේ ශ්‍රී ලංකාව අවසන් වරට දකුණු අප්‍රිකාවේ සංචාරය කළ අවස්ථාවේ 3-0ක දැවැන්ත පරාජයකට ලක්විය.

පසුගිය වසරේ දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ශ්‍රී ලංකාව දඟ පන්දු යවන්නට වාසි තණ තීරුවල ඔවුන් 2-0ක් ලෙස පහසුවෙන් පරාජය කළ අතර මෙවර දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකා පිතිකරුවන්ට මුහුණ දීමට අසීරු වේගවත් තණ තීරු ලබා දෙනු ඇති බව ක්‍රීඩා විචාරකයන්ගේ මතය වී තිබේ.

ටෙස්ට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු එක්දින තරගාවලිය ආරම්භ වන අතර 2019 ක්‍රිකට් ලෝක කුසලානයට පෙර පැවැත්වෙන ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් එක්දින තරගාවලිය එය වීම නිසා ශ්‍රී ලංකා ලෝක කුසලාන අවසන් සංචිතය තෝරා ගැනීමට එම තරගාවලිය තීරණාත්මක වනු ඇත.