ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා ක්‍රිකට්: හතලිස් වසරකට පසු යාපනයෙන් බලාපොරොත්තුවක්
ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින්නේ උමතුවකි. ඒ සඳහා ජාතිය, ආගම හෝ සාමාජයීය තත්ත්වයේ බලපෑමක් නොමැත. සනත් ජයසූරියගේ හයේ පහරටත් මුත්තයියාගේ දුස්රාවටත් එක හා සමානව ඔල්වරසන් හිමිවන්නේ එබැවිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් වරම් හිමි වූයේ 1982 දීය. 90 දශකයේ සැලකිය යුතු සාර්ථකත්වයක් ළඟා කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 වසරේදී ක්‍රිකට් ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් විය.
එදා මෙදාතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් බහුතරය බස්නාහිර පළාත සහ දකුණු පළාත නියෝජනය කරමින් ක්‍රීඩාවට එක් වූවෝ වෙති. එවැනි ක්‍රීඩකයන්ගේ තිඹිරි ගෙය 19 පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමය.
මේ අතර හතලිස් වසරකට ආසන්න කාලයකට පසුව යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයෙකු 19 පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයට ඇතුළත් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඔහු නමින් විජයකාන්ත් වියස්කාන්ත්ය. දාහත් හැවිරිදි විජයකාන්ත් යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටියි. දකුණත් පා දඟ පන්දු යවන ඔහු 19 පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර ටෙස්ට් තරගයකට සහභාගී වී ඇත.
එක්දින ජාත්‍යන්තර කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඇතුළත් කරනු ලැබ ඇති ඔහු 19 පහළ ආසියානු කුසලානය සඳහා තරග වදින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සංචිතයට ඇතුලත් කරනු ලැබ ඇත.
"15 පහළ කණ්ඩායමේ සිට මම පන්දු යැවීම සිදු කළා. හොඳ පුහුණුකරුවන් ලැබීමෙන් පසුව මම පාසල් කණ්ඩායමේ හොඳට දක්ෂතා දැක්වුවා. 15 පහළ කණ්ඩායමෙන් අනතුරුව අන්තර් පාසල් තරගාවලියේදී සහ 19 පහළ පළාත් කණ්ඩායම් අතර තරගාවලියේදීත් ඉතා හොදින් ක්‍රීඩා කළා."
"ඒ දක්ෂතා එක්ක මට කොළඹ එන්න හැකියාව ලැබුණා. දැන් කොළඹ පුහුණුවීම් සිදු කරනවා. මෙහේ ඉන්න පුහුණුකරුවන් ඉතා හොඳින් පුහුණුවීම් සිදුකරනවා. යාපනයට වඩා මෙහෙ ටිකක් වෙනස්. දැන් මගේ දක්ෂතා වේගයෙන් දියුණුවෙලා කියලා හිතෙනවා," යනුවෙන් විජයකාන්ත් වියස්කාන්ත් කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.
19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩකයන් යටතේ ඔහු පුහුණු වීම් සිදු කරයි.
"මම කුඩා කාලයේ සිට ක්‍රිකට් ක්‍රීඩා කරන්න ආසයි. වයස අවුරුදු තුන හතරක කාලයේ ඉඳලම මම ක්‍රිකට් ක්‍රීඩා කරන්න ආසයි. මුල් කාලයේ අම්මා තාත්තා සියලු දෙනාම කිව්වේ ක්‍රිකට් ගහන්න කලින් ඉගෙන ගන්න කියලා. ඒත් මම අම්මාට කිව්වා මම ඉගෙනත් ගන්නම් කියලා. එහෙම කියලා තමයි ක්‍රිකට් ගහන්න ආවේ," විජයකාන්ත් අතීතය සිහිපත් කළේ සිනාමුසු මුහුණෙනි.
19 පහළ කණ්ඩායමේ දක්ෂතා දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සිය අභිප්‍රාය බව ඔහු කියා සිටී.
"යාපනයේ ඉදලා තවත් පිරිසක් ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමට පැමිණිය යුතුයි. මගේ සීයා ,මගේ තාත්තා ආස කරපු විදියට මම අද ඉහළ තත්වයට ඇවිත් ඉන්නවා."
"මම පන්දු යවන්නෙක් වශයෙන් ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලබා ගැනීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. පන්දුවට පහරදීමේ අංශයත් දියුණු කර ගත්තොත් ඒ සදහා ලොකු සහයක් තියෙනවා."
කොළඹ පැමිණි තමන්ට භාෂා අභියෝගයට මුහුණ දීමට සිදු වූ බව කී විජයකාන්ත්, "කොළඹ ආවට පස්සේ මගේ සහෝදර ක්‍රීඩකයෝ මට සිංහල කියලා දුන්නා. මගෙන් දෙමළ අහගත්තා. යාපනයේ ඉඳලා මම විතරයි ඇවිල්ලා ඉන්නේ කියලා හැම වෙලාවේම මම දිරිමත් කරමින් සහයෝගය ලබාදෙනවා," යනුවෙන් ද සඳහන් කළේය.
"අපිට භාෂා ගැටලුව තිබුණත් දන්න ඉංග්‍රිසියෙන් කථා කරලා සහයෝගයෙන් පුහුණුවීම් කරනව. මම මගේ යාපනයේ යාළුවන්ට කිව්වා මම දෙමළ කියලා කිසිම භේදයක් නැතිව අපි එකම කණ්ඩායමක් වශයෙන් තරග කරනවා කියලා."
"මම එහෙම කිව්වාට පස්සේ මගේ පාසලේ යාළුවෝ, දෙමාපියන් සියලු දෙනා සතුටු වුණා. මම ඒ අයටත් කිව්වා අපි සහයෝගයෙන් ක්‍රීඩා කරනවා බලන්න එන්න කියලා," විජයකාන්ත් වියස්කාන්ත් වැඩිදුරටත් සඳහන් කළේය.
දිවයින පුරා විසිරී සිටින දක්ෂ ක්‍රීඩකයන් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළාත් මට්ටමින් තරග සංවිධානය කරන බව 19 පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හෂාන් තිලකරත්න පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සෑම දරුවෙකුටම සාධාරණ අවස්ථාවක් ලබා දෙනු වස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බව ඔහු කියා සිටී.
"දෙමළ, සිංහල, මුස්ලිම්, බර්ගර් භේදයක් නැතිව ඒ අය දක්ෂ නම් සාධාරණ අවස්ථාවක් දීල ඒ දක්ෂතා ඉදිරියට ගෙනයන්න අප ගාව සැලසුම් තිබෙනවා."
උතුරු පළාත සහ ඌව පළාත නියෝජනය කරමින් 19 පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු එක්ව සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.