මීළඟ තරගයේ නායකත්වය චන්දිමාල්ට?

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් නැවත ආබාධයකට ලක්ව ඇති බව වාර්තාවේ.

ඒ බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ බදාදා (ජනවාරි 17) සිම්බාබ්වේ සමග පැවති තරගය අතරතුර ඇතිවූ පාදයේ ආබාධයක් හේතුවෙනි.

එම තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 12 තියුණු ජයක් ලබාගත් අතර එහිදී නායක ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 42 ක් රැස් කළේය.

එම ඉනිමේදී කඩුලු අතර දිවිමේදී ඔහුගේ පාදයේ යම් අපහසුතාවක් ඇතිවී ඊට ඔහු ප්‍රතිකාර ගැනීමක් ද සිදු කළේය. කෙසේ වෙතත් ඉන්පසු ඔහු පන්දුවට පහරදීමේ නිරත විය.

සිකුරාදා (ජනවාරි 19) තරගය බොහෝ දුරට නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට අහිමිවීමට ඉඩ ඇති අතර වෛද්‍ය වාර්තා අනුව ඔහු තරගාවලියේ ඉදිරි තරග ක්‍රීඩා කරනවා ද නැද්ද යන්න තීරණය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඇන්ජෙලෝ මැතිව්ස්ගේ පාදයේ යළි සුළු අබාධ තත්ත්වයක් ඇතිවී තිබෙන බව තහවුරු කළ අතර සිකුරාදා පැවැත්වීමට නියමිත තරගයට ඔහු සහභාගී වනවාද නැද්ද යන්න එදින උදෑසන තීරණය කරන බව එහි සඳහන් විය.

ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියට එක්වීමට පෙර අබාධයකට ලක්ව සිටි අතර සියලු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත්වීමෙන් අනතුරුව කණ්ඩායමට ඔහු තෝරාගෙන නායකත්වය ද ලබා දුණි.

නායකත්වය ලබාගැනීමෙන් පසු බීබීසි සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වූ ඇන්ජෙලෝ මැතිව්ස් අබාධ ගැන අදහසක් පළකරමින් පැවසුවේ "මට කරන්න පුළුවන් හැමදේම කරනවා, නමුත් මේක මට පාලනය කළ හැකි දෙයක් නෙවෙයි, සමහර අයගේ ජානමය දේවල් එක්ක එන දෙයක්" යනුවෙනි.

කෙසේ වෙතත් ඔහුගේ පාදයේ තිබුණු ආබාධය යළි හටගැනීම නිසා දැන් ඔහුට බංග්ලාදේශ තරගාවලියේ එක්දින තරග අහිමිවීමේ අවධානමක් තිබේ.

ඇන්ජෙලෝ ක්‍රීඩා නොකළොත් දැනට එක්දින කණ්ඩායමට එක්ව සිටින ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට එක්දින කණ්ඩායමේ නායකත්වය පැවරෙනු ඇති බව වාර්තාවේ.

වෙනත් පුවත්: