කාන්තාවන්ට සහ පුරුෂයන්ට සමාන වැටුප් ගෙවන රටක්

ලෝක ආර්ථික සංසදයේ පර්යේෂණ අනුව, කාන්තාවන්ට සහ පුරුෂයින්ට සමාන අවස්ථා හිමිවීම අතින් ලොව ඉදිරියෙන්ම සිටින්නේ අයිස්ලන්තයය.

එහෙත් එහි අදහස මේ වන තුරුම අයිස්ලන්තයේ කාන්තාවන්ට එක හා සමාන කාලසීමාවක් තුළ සමාන සේවයක් සැපයීම වෙනුවෙන් සමාන වැටුපක් හිමි වූ බව නොවේ.

ස්ත්‍රී, පුරුෂ අයිතිවාසිකම් විෂයයෙහිලා එතරම් ඉදිරියෙන් සිටින රටක පවා එක හා සමාන සේවයක් වෙනුවෙන් ලැබෙන වැටුප සලකා බැලීමේදී කාන්තාවන් සහ පුරුෂයන් අතර 6% ක පරතරයක් පැවතින.

සමාන සේවයක් වෙනුවෙන් ලොව පුරා බොහෝ රටවල සාමාන්‍යයෙන් කාන්තාවන්ට හිමිවන්නේ පුරුෂයන්ගේ වැටුප මෙන් අඩකට මඳක් වැඩි මුදලකි.

මේ තත්වය සලකා බැලූ අයිස්ලන්ත ආණ්ඩුව 'සමාන වැටුප් ප්‍රමිතීන්' නමින් පසුගියදා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කළේය.

ඒ යටතේ ආයතනයක සෑම රැකියාවක්ම විශ්ලේෂණය කෙරිණ. සෑම රැකියාවක්ම කෙතරම් දුෂ්කර ද සහ ආයතනයට කෙතරම් වැදගත් ද යන්න සලකා බලා අදාළ ලකුණු ගණනක් ලබා දෙනු ලැබිණ.

එම ලකුණු අනුව සමාන ලකුණු සහිත රැකියාවක නිරත දෙදෙනෙකුගේ වේතන වෙනස් නම් එය නිවැරදි කිරීම අදාළ ආයතනයට පැවරිණ; අඩු වැටුප් ලබන පුද්ගලයාගේ වැටුප ඉහළ දැමීම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය විය.

එය නිවැරදි නොකළේ නම් අදාළ ආයතනයට දඩයක් නියම කළ හැකිය.

මේ ක්‍රමය යටතේ අයිස්ලන්තය, කාන්තාවන්ටත් සමාන වැටුප් ගෙවන මෙන් සමාගම්වලට බල කෙරුණු පළමු රට බවට පත්විය.

උදාහරණයක් ලෙස අයිස්ලන්ත රේගු දෙපාර්තමේන්තුවේ නීති උපදේශකයෙකු වන ගුද්මුන්දර් සහ දත්ත විශ්ලේශිකාවක වන අවුදුර් යන දෙදෙනාගෙන්ම ආයතනයට එක හා සමාන සේවයක් සිදුවන බව සමාලෝචනයකින් හෙළිවිණ.

එබැවින් ගුද්මුන්දර්ගේ වැටුපට සමාන වැටුපක් ලබාදීම පිණිස අවුදුර්ගේ වේතනය ඉහළ දැමීමට ආයතනයට සිදුවිය.

සිය ආයතනයේ වැටුප් ක්‍රමය පිළිබඳව විශ්වාසය තැබිය හැකි බැවින් සියලු සේවක සේවිකාවන් සතුටෙන් සේවයේ නිරතවෙන බව රේගු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් අංශයේ ප්‍රධානියා පවසයි.

ලෝක ආර්ථික සංසදය මීට වසර කිහිපයකට ඉහතදී නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවකට අනුව ලොව පුරා බොහෝ රටවල කාන්තාවන්ට සහ පුරුෂයින්ට හිමි වන සමාන අවස්ථා අතර පරතරය වැඩි වෙමින් පවතී.

එසේ සමාන අවස්ථා පරතරය වැඩිවෙමින් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක් වී ඇති බව ද පර්යේෂණයෙන් හෙළිදරවු වී තිබුණි.

පවතින ක්‍රමය යටතේ බ්‍රිතාන්‍යයේ පවා වසර 2069 වන තුරු ස්ත්‍රී, පුරුෂ වැටුප් පරතරය නිමා කළ නොහැකි වනු ඇතැයි මෑතදී නිකුත් වූ වාර්තාවකින් අනාවරණය විය.