ක්‍රිකට් පිටියටත් 'රෙඩ් කාඩ්'

ඡායාරූප මූලාශ්‍රය, Phil Walter
ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අලුතින් නිවේදනය කරනු ලැබූ තරග නීති මාලාව අද සිට (සැප්තම්බර් 28) ක්‍රියාත්මක වීමට නියමිතය.
බරපතළ විනය විරෝධී ක්‍රියාවක යෙදුණු ක්‍රීඩකයෙකු ක්‍රීඩා පිටියෙන් වහාම ඉවත් කිරීමේ බලය විනිසුරුවරයාට ලැබී තිබීම ක්‍රිකට් නීති මාලාවේ කැපී පෙනෙන සංශෝධනයකි.
මෙහිදී පාපන්දු ක්‍රීඩාවේ දී මෙන් විනිසුරුවරයා විසින් රතු පැහැති කාඩ් පතක් පෙන්වනු ලැබේ.
වරදක් සිදුකළ ක්‍රීඩකයෙකුට ඒ මොහොතේදී ම දඬුවම පැනවීමේ බලය ද විනිසුරුවරයාට ලැබී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මීට අමතරව ක්‍රිකට් පිත්තේ ප්‍රමාණය පිළිබඳව ද නව සීමා පනවා ඇත. පිත්තේ දිග සහ පළල පිළිබඳව පනවා තිබූ සීමාව වෙනස් නොවන නමුත් පිත්තේ දාරය සහ ඝනකම පැවතිය යුතු ප්‍රමාණයට නව සීමා පනවා තිබේ.
විනිසුරුවරයා විසින් ලබා දෙනු ලබන තීරණයක් නැවත සළකා බැලීම සඳහා යොමු කිරීමට ඇති අයිතිය පිළිබඳව පවතී නීතිය ද සංශෝධනය වී ඇති අතර එය විස්සයි විස්ස තරග සඳහා ද මින් ඉදිරියට වලංගු වනු ඇත.
නව නීති මාලාව පිළිබඳව අදාළ සියලුදෙනා දැනුවත් කිරීම සඳහා වැඩමුළු පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අද ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයෙන් මෙම නව නීති මාලාව ක්‍රියාත්මක වනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP
දුවද්දී දැවී යාමක් සඳහා වූ නීතියද සංශෝධනය වී තිබේ. විකට්ටුව බිඳ දැමීමට පෙර නියමිත රේඛාවට ඔබ්බෙන් එක් මොහොතකට හෝ පිත්ත තබා ඇත්නම් මින් ඉදිරියට එය ප්රමාණවත්ය. පිතිකරුවෙකු දවා ගැනීම සඳහා 'ස්ටම්ප්' කිරීමකදී ද මෙය වලංගු වේ.
හතරේ සීමාවට ඉහළින් ඇදී යන පන්දු රැක ගැනීමේදී, පන්දුව හතරේ සීමාව පසු කිරීමට ප්‍රථම පන්දු රකින්නා විසින් පළමුව පන්දුව ස්පර්ශ කළ යුතුය. නැතහොත් එය දැවී යාමක් නොවන අතර ඊට ලකුණු ලබා දෙනු ඇත.
කඩුලු රකින්නා හෝ වෙනත් පන්දු රකින්නෙකු පැළඳ සිටින ආරක්ෂිත හිස් ආවරණයේ පන්දුවක් වැදී පොලා පැනීමෙන් සිදුවන 'ස්ටම්ප්' වීමක්, උඩ පන්දු රැක ගැනීමක් හෝ දුවද්දී දැවී යාමක් මින් ඉදිරියට නීත්‍යනුකූල දැවීයාමක් ලෙස සලකනු ලැබේ.









