ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉල්ලා අස්වෙන්නේ නෑ - තිලංග
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ දී සිටින වත්මන් අර්බුදයෙන් ගොඩගැනීමට සිය පරිපාලනයට හැකියාව තිබෙන බව පවසන නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු සූදානමක් නොමැති බව අවධාරණය කරයි.
නියෝජ්‍ය කතානායකවරයා ඒ බව කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා වත්මන් පරිපාලනය වෙනස් කළ යුතු යයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග කරන යෝජනාව පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.
ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කළ අතර, එහි පිටපතක් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාරදුන් බවත් අමාත්‍ය අර්ජුන රණතුංග සඳුදා (අගෝස්තු 28) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.
එම ලිපියේ පිටපතක් ද එහිදී අමාත්‍යවරයා මාධ්‍යවේදීන් වෙත ලබා දුන්නේය.
"මේ වන විට ක්‍රීඩාව ගොඩනැගීමට විශාල මෙහෙවරක් කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, ක්‍රීඩාලෝලීන් හා රටේ බහුතර ජනතාව ඉල්ලා සිටින්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට පරිපාලනය සෘජුව වගකිව යුතු බැවින් පරිපාලනය වෙනස් විය යුතු බවය," යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.
"මෙවන් තත්වයක් යටතේ අප කළ යුතු වන්නේ නීතිවිරෝධී, දූෂිත හා අදූරදර්ශී පාලන ක්‍රමවේදය ඉවත් කර ඒ සඳහා කමිටුවක් හෝ කොමිසමක් මඟින් අගාධයට වැටී ඇති ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් ගෞරවනීය තත්වයට ගෙන ඒමට කටයුතු කිරීම ය. එසේ කමිටු පත් වූ සෑම අවස්ථාවකම ක්‍රිකට් ක්‍රීඩාවේ උද්දීපනයක් ඇති වූ බව ද කිව යුතුය."
කෙසේ නමුත් වත්මන් ක්‍රිකට් පරිපාලනය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කළ යුතු බවට 1996 දී ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත් කණ්ඩායමේ නායකයා කරන යෝජනාව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මීට ඉහතදී කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප කර තිබේ.
ඉක්මනින් අර්බුදයට විසඳුම් දිය නොහැකි නම් ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වන්නේ දැයි විමසූ අවස්ථාවේ, "එතකොට මේක කරන්න යන්නේ කවුද?" යනුවෙන් තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවය වෙත ප්‍රති ප්‍රශ්නයක් යොමු කළේය.
"මම හිතන්නේ ඔය කතාවට උත්තර දෙන එක මට අදාළ නෑ. අපිට මේක හදන්න පුළුවන්කම තියෙනව. අපි ඒක හදාගෙන යන්නම්. මගේ වෙලාව නාස්ති කරන්න එපා කියල මම එයාට පැහැදිලිව කියනව."
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම පිණිස දිගු කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව පවසන සභාපතිවරයා, එහි සම්පූර්ණ ප්‍රතිඵල ලැබීම පිණිස වසර හතරක පමණ කාලයක් ගතවනු ඇති බව ද බීබීසී සිංහල සේවයට පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම පිණිස ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ව්‍යුහය පූර්ණ සංශෝධනයකට ලක් කිරීමේ අවශ්‍යතාව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ සිදත් වෙත්තමුණි වැනි හිටපු ක්‍රීඩකයන් දිගින් දිගටම පෙන්වා දී තිබේ.
ඒ පිළිබඳව මහේල ජයවර්ධන විසින් සිදත් වෙත්තමුණි ගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලැබූ සවිස්තර යෝජනාව ප්‍රතික්ෂේප කළේ මන්දැයි විමසූ අවස්ථාවේ තිලංග සුමතිපාල කියා සිටියේ, සිය පරිපාලනය "ඊටත් එහා ගිය" වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරමින් සිටින බවය.
"කිසිම ප්‍රතික්ෂේප කිරීමක් නෑ. ඊට වඩා එහා ගිය, ඉතාම සාර්ථක දේශීය ක්‍රීඩා තරග ඇතුළත් කරලා තියෙනව."
කෙසේ නමුත් සිය පරිපාලනය සමයේ ගනු ලැබූ ඇතැම් තීන්දු පිළිබඳව යළිත් වරක් සාකච්ඡා කරමින් සිටින බව ද සභාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම තරගවලින් පරාජයවීම දරාගත නොහැකිව කෝපයට පත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් කණ්ඩායමක හැසිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉරිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තුන්වැනි එක් දින තරගය විනාඩි තිස් පහක කාලයක් නතර කිරීමට සිදු විය.
ඉන්දියානු කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ළකුණු අටක් පමණක් අවශ්‍ය මොහොතක ක්‍රීඩාලෝලීහු වතුර බෝතල් ආදියෙන් ක්‍රීඩාංගනයට පහර දුන්හ.
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් පිරිසගේ හැසිරීම දෙස්, විදෙස් ක්‍රීඩා විචාරකයන්ගේ හෙළා දැකීමට ලක් විය.
ඊට පෙරාතුව දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවති එක් දින සීමිත ඕවර තරගය අවසානයේ කෝපාවිෂ්ඨ ක්‍රීඩාලෝලීන් පිරිසක් ක්‍රීඩාංගණයට කඩාවැදීම හේතුවෙන් ක්‍රීඩකයන්ට ආරක්ෂාව සැපයීම පිණිස කැරලි මර්ධක පොලිසිය කැඳවීමට ද සිදුවිය.
ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩාලෝලීන් එවැනි හැසිරීම් පිළිබඳව කණගාටුවන අතර, එවැන්නක් ශ්‍රී ලංකාවේ සිදු නොවිය යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ද අවධාරණය කරති.