ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'සංගාගෙන් ආරම්භ වී ජයසූරියගෙන් අවසන් කළ ඉනිම' ගැන චමරි
කැපවීමෙන් හා උනන්දුවෙන් කටයුතු කළහොත් ක්‍රීඩිකාවන්ට ද ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට හැකි බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තු පවසයි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානයේ දී අසාර්ථක වුවත් ලෝක කාන්තා ක්‍රිකට් වාර්තා කිහිපයක් බිඳ දමමින් චමරි අතපත්තු ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 178 ප්‍රබල අවධානයට පත්විය.
පන්දු 143 ක් තුළ රැස් කළ එම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 22 ක් සහ හයේ පහර 06 ක් ඇතුළත් වූ අතර, ඒ සමග කාන්තා එක් දින ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාවන් අතර චමරි අතපත්තු 03 වෙනි ස්ථානයට පත්විය.
එයට අමතරව සිය කණ්ඩායම රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රතිශතයට හිමිකම් කියන ක්‍රීඩිකාව වීමේ ලෝක වාර්තාව ද ඇයට හිමි විය.
"ඇත්තටම පෙර පුහුණුවීම් හින්දා තමා මට මේවගේ ඉනිමකට යන්න ලැබුණේ. ගොඩක් සතුටුයි ඒ ගැන. හොඳ ප්‍රතිචාර ලැබුණා ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් හා විචාරකයන්ගෙන්," යනුවෙන් කොළඹ දී බීබීසී සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් ඇය කියා සිටියාය.
'හොඳම එක් දින ඉනිම'
තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දැන් සිය රට පැමිණ සිටී.
චමරි අතපත්තු නොදැවී රැස් කළ ලකුණු 178, ලෝකයේ අංක එකේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස සැලකෙන ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩිකාවක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ.
"ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩිකාවොත් ලොකු ප්‍රසාදයක් දැක්වුවා. ඔවුන් බලාපොරොත්තු වුනේ නැහැ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් මෙහෙම ඉනිමක් ක්‍රීඩා කරාවි කියලා."
චමරිගෙන් පසුව වැඩිම ලකුණු ලබා ගත් සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා තරග වැදී තිබෙන්නේ එතරම් දක්ෂ කණ්ඩායම් නොවන ඩෙන්මාර්කයට සහ අයර්ලන්තයට එරෙහිවය.
එබැවින් චමරි අතපත්තුගේ ඉනිම ලෝකයේ හොඳම කාන්තා එක් දින ඉනිම ලෙස හැදින්විය හැකි බව ක්‍රීඩා විචාරකයෝ පවසති.
සංගක්කාර සහ ජයසූරිය
සිය ඉනිම අවසන් කළ පසු එම ඉනිම ගැන අදහස් දක්වමින් චමරි අතපත්තු පවසා තිබුණේ කුමාර් සංගක්කාර මෙන් ආරම්භ කර සනත් ජයසූරිය මෙන් සිය ඉනිම අවසන් කළ බවය.
"මුල් කඩුලු බිඳ වැටුණු නිසා මුලින් සංයමයකින් ක්‍රීඩා කළා. පන්දුවාර 35 න් පස්සේ තමයි හයියෙන් පහරවලට ගියේ. ඒ ඉනිම ගොඩනගපු ආකරය ගැනයි මම එහෙම කිව්වේ," ඇය බීබීසී යට විස්තර කළාය.
චමරි අතපත්තු එසේ විශිෂ්ට දස්කම් දැක්වුවත් ජගත් කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරග 7න් ජයගැනීමට හැකිවූයේ පාකිස්ථානය සමග පැවති තරගය පමණය.
"අපේ අඩුපාඩු ගොඩක් තිබුණා. අවසන් තරග කිහිපයේදී මටත් ලකුණු අතරට එන්න බැරිවුණා. ඒ අඩුපාඩු මගහැරගෙන ඉදිරි තරගාවලි ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා."
පාසල් ශිෂ්‍යාවන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමුකරන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළ චමරි අතපත්තු, කැපවීමෙන් හා උනන්දුවෙන් කටයුතු කළහොත් ක්‍රීඩිකාවන්ට ද ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට හැකි බව අවධාරණය කළාය.