ක්‍රිකට් පරාජය: ගිලිහුණු උඩ පන්දු, ආබාධ සහ තරග තහනම

ඡායාරූප මූලාශ්‍රය, PA
චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අභිලාෂයෙන් සඳුදා (මැයි 12) පාකිස්තානය සමග කරට කර තරගයක යෙදුණ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසානයේ දුර්වල පන්දු රැකීම හේතුවෙන් තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවිය.
පසුගිය වසර කිහිපය දෙක තුළ ප්‍රධාන පෙළේ සියලු එක්දින තරගාවලි පරාජය වී සිටි ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී සටන්කාමීව තරග කරනු දක්නට ලැබුණි.
එහෙත් ආසියානු කලාපයේ බංග්ලාදේශය, ඉන්දියාව සහ පාකිස්තානය දෙවැනි වටයට සුදුසුකම් ලබද්දී ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවීමට ප්‍රධාන කරුණු කිහිපයක් හේතු විය:
1. දුර්වල පන්දු රැකීම
ශ්‍රී ලංකාව සහභාගි වූ තරග තුනේදීම තීරණාත්මක උඩ පන්දු කිහිපයක්ම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ෆාෆ් ඩුප්ලේසි ලකුණු අටක් ලබා සිටියදී ලසිත් මාලිංග අතින් උඩ පන්දුව ගිලිහී යාමෙන් අනතුරුව ඩුප්ලේසි ලකුණු 75ක් ලබාගෙන දකුණු අප්‍රිකාව ලකුණු 300 සීමාව දක්වා ගෙන ගිය අතර, ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ශර්මා ලකුණු 45 ක් ලබා සිටියදී අසේල ගුණරත්න තරමක් අසීරු උඩ පන්දුව අත් හැරි අතර රෝහිත් ලකුණු 78ක් ලබා ඉන්දියාව ලකුණු 321 ක් ලැබීමේ අඩිතාලම දැමීය.
පාකිස්තානයට එරෙහි තරගයේ තීරණාත්මක අවස්ථාවල ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා සහ සීකුගේ ප්‍රසන්න පහසු උඩ පන්දු අත් හැරියේය.
චැම්පියන්ස් කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් විශේෂ පන්දු රැකීම් පුහුණුවීම් සැසි කිහිපයක්ම පැවැත්වුවත් තරුණ ශ්‍රී ලංකා තරුණ කණ්ඩායම අවශ්‍ය මොහොතේ ඒවා ක්‍රියාවට නැංවීමට අපොහොසත්වීම පරාජයට ප්‍රධාන හේතුවක් බව ක්‍රීඩා විශේල්ෂකයන්ගේ මතයය.
2. ආබාධ
2015 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව් දෙනෙකු ආබාධ හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වුණු අතර මෙම තරගාවලියේ ද නායක ඇන්ජලෝ මැතිව්ස්, චාමර කපුගෙදර සහ කුසල් ජනිත් පෙරේරා ආබාධවලට ලක් වූහ.

ඡායාරූප මූලාශ්‍රය, උපුල් තරංග
මෙම ආබාධ තත්වයන් ශ්‍රී ලංකාවේ පරාජයට ප්‍රධාන ලෙසම හේතු වූ බව විශ්වාස කෙරෙන අතර, එය ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන ප්‍රශ්න මතුකරන්නකි.
අනපේක්ෂිත ලෙසින් මතු වූ මෙම ආබාධ හේතුවෙන් පාකිස්තානයට එරෙහි තරගය සඳහා ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාවේ සිට කැඳවා පැය 48ක් තුළ තරගයට සහභාගි කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
ආබාධ හේතුවෙන් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු නොයැවීම ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතියට බරපතල ලෙස බලපෑ අතර තිසර පෙරේරා ඇතුළු වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු යෙදවීමට සිදුවූයේ මේ හේතුවෙනි.
3. තරග තහනම
පන්දු වාර 50ක් යැවීම සඳහා පැය 4කට වඩා කාලය ගත කිරීම හේතුවෙන් උපුල් තරංගට හිමි වූ තරග තහනම කණ්ඩායමේ ඉදිරි තරග දෙක සඳහා දැඩි බලපෑමක් එල්ල කළේය.
කණ්ඩායමේ කළමනාකාරිත්වය හා පුහුණුකරුවන් ඒ පිළිබඳව පිටියේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දැනුවත් කළේ ද යන්න පිළිබඳව ගැටළු මතුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයේ තම අවසන් පන්දුවාර කිහිපය පවා ඉක්මනින් යැවීමට කටයුතු නොකිරීම නිසායි.
දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය සමග පැවති තරගවලදී ශ්‍රී ලංකා ඉනිම කඩා වැටීමද කණ්ඩායමේ පරාජයට ප්‍රබල අන්දමින් බලපෑවේය.









