ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සංගක්කාරගෙන් තවත් ද්විත්ව ශතකයක්
එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සරේ ප්‍රාන්තය වෙනුවෙන් එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්විය.
මේ අනුව ඔහු මේ වනවිට පිට පිටම පළමු පෙළ ශතක පහක් වාර්තා කර තිබේ.
චෙම්ස්ෆර්ඩ් හි පැවැත්වෙන තරගයේ පළමු දිනය වූ සිකුරාදා (මැයි 26) තරගය අවසාන වනවිට නොදැවී ලකුණු 177 ක් රැස් කරගෙන සිටි සංගක්කාර, සෙනසුරාදා සිය ද්විත්ව ශතකය වාර්තා කළේය.
සරේ ප්‍රාන්තයේ සෑම් කුරාන් (ලකුණු 90) හය වෙනි කඩුල්ල වෙනුවෙන් සංගක්කාර සමග ලකුණු 191 ක සම්බන්ධතාවක් පවත්වා ගත්තේය.
ප්‍රාන්ත ශූරතාවලියේදී මීට ඉහතදී ලකුණු 136 ක්, 105 ක්, 114 ක් සහ 120 ක් රැස් කරමින් පිට පිටම ශතක පහක් රැස් කිරීම සරේ ප්‍රාන්ත ඉතිහාසයේ අලුත් වාර්තාවකි.
2003 දී නෝතැම්ප්ටන්ශයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් මයික් හසේ පිට පිටම පළමු පෙළ ශතක පහක් වාර්තා කිරීමෙන් අනතුරුව එම දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා කුමාර් සංගක්කාරය.
ලබන සැප්තැම්බර් මාසයේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව කුමාර් සංගක්කාර පසුගියදා නිවේදනය කළේය.