සිවු වසරක් මවුබිමේදී අපරාජිත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම

විශාකාපට්නම් හි පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී එංගලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 158 කට දවාගත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලකුණු 246 කින් තරගය ජයග්‍රහණය කළේය.

ලකුණු 405 ක ඉතා දුෂ්කර ඉලක්කයක් හඹායමින් සිටි එංගලන්ත කණ්ඩායම හමුවේ තිබූ එකම විකල්පය වූයේ සඳුදා දිනය පුරාම කඩුල්ලේ රැඳී සිටිමින් ජය පරාජයකින් තොරව තරගය දිනාගැනීමට උත්සාහ කිරීම පමණි.

එහෙත් දඟ පන්දු යවන්නන්ට වාසිදායක තණතිල්ලක දිගටම කඩුල්ලේ රැඳී සිටීමට එංගලන්ත පිතිකරුවන් දැඩි උත්සාහයක නිරත වූ නමුත් ලකුණු 66 ක් පමණක් ලබා දී කඩුලු අටක් දවාගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

වසර හතරක් මුළුල්ලේ සිය රට තුල සියලු තරග ජයග්‍රහණය කළ ඉන්දියාව

ජයන්ට් යාදව් ලකුණු 30 කට කඩුලු තුනක් දවාගැනීම කැපී පෙනිණ.

ඉන්දීය කණ්ඩායම මේ වනවිට තරග පහකින් යුත් ශූරතාවලියේ 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටින අතර තුන් වැනි ටෙස්ට් තරගය ලබන සෙනසුරාදා මොහාලි හිදී ආරම්භවීමට නියමිතයි.

මේ අනුව ගතව ගිය සිවු වසර මුළුල්ලේ සිය රට තුල පැවති තරග 16 ම ජයග්‍රහණය කිරීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත් වී සිටියි.

මේ අතර වේග පන්දු යවන ස්ටුවර්ට් බෝඩ් ආබාධයකට ලක්වීම මෙන්ම පිතිකරු බෙන් ඩකට් ලකුණු අතර නොසිටීමත් හේතුවෙන් එංගලන්ත කණ්ඩායම කිසියම් පසුබෑමකට ලක් වී සිටියි.