විග්නේශ්වරන් දිවුරුම් දීම 'සදාචාර සම්පන්න නෑ'
උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමට සීවී විග්නේශ්වරන් ගෙන තිබෙන තීරණය සදාචාර සම්පන්න නැතැයි ශ්‍රී ලංකා දෙමළ නීතිවේදීන්ගේ සංගමය පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු ලෙසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් නම් කරනු ලැබ සිටියදී මහ ඇමතිවරයා ඔහු ඉදිරියේ දිවුරුම් දීම යුක්ති සහගත නොවන බව සංගමයේ ලේකම් නීතිඥ ආර්එස් රත්නවේල් බීබීසී සංදේශයට පැවසීය.
උතුරේ ජනතාවගෙන් ඇති බහුතරය දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කිරීම මගින් උතුරේ දෙමළ ජනතාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව පැහැදිලිව පෙනී යන බවද ඔහු පැවසීය.
මේ තත්ත්වය යටතේ මහ ඇමති පදවියේ දිවුරුම් දීම පිණිස වෙනත් පුද්ගලයකු තෝරා ගන්නා මෙන් තම සංගමය සන්ධානයෙන් ඉල්ලා සිටි බවද නීතිවේදී රත්නවේල් සඳහන් කළේය.
මේ අතර, උතුරු පළාත් සභාවේ අමාත්‍ය පදවි බෙදා දීමේදී ටෙලෝ සංවිධානයට හිමිවන අමාත්‍ය පදවිය යාපනයේ හිටපු මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම්ට ලබාදීමේ තීරණය වෙනස් නොකළහොත් තමන් ටෙලෝ සංවිධානයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩය්කලනාදන් සංදේශයට පැවසීය.