ජනපති අනුර දිසානායක: ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිදුකරන දීර්ඝතම විදෙස් නිල සංචාරය

අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වී වසරක කාලයක් සම්පුර්ණ වී ඇති පසුබිමක ඔහු විසින් සිදුකරන දීර්ඝතම විදෙස් නිල සංචාරය මෙය වේ. ජනාධිපතිවරයා ගේ ඇමෙරිකානු සහ ජපාන සංචාරය දින 08ක කාලයක් වන බව සඳහන්.

ඡායාරූප මූලාශ්‍රය, PMD

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (සැප්තැම්බර් 22) රාත්‍රියේදී ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව‍ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුකරන නිල සංචාරයෙන් පසුව ජනාධිපතිවරයා ජපානයේ ද නිල සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වී වසරක කාලයක් සම්පුර්ණ වී ඇති පසුබිමක ඔහු විසින් සිදුකරන දීර්ඝතම විදෙස් නිල සංචාරය මෙය වේ. ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සහ ජපාන සංචාරය දින 08ක කාලයක් සඳහා වන බව සඳහන් ය.

ජනපති එ.ජා. මහා මණ්ඩල සැසිවාරය ඇමතීම

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ඇමෙරිකානු සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිතව ඇති බව ජනධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා එළඹෙන බදාදා (සැප්තැම්බර් 24) ඇමෙරිකාවේදී එරට වේලාවෙන් ප.ව 3.15ට (ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා අලුයම 00.45) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතව තිබේ.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතය.

එමෙන්ම ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට ද සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්වීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා එළඹෙන බදාදා (සැප්තැම්බර් 24) ඇමෙරිකාවේදී එරට වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, PMD

'එක්ස්පෝ 2025 ඔසාකා' සමුළුවට

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සිය ඇමෙරිකානු සංචාරය නිම කිරීමෙන් පසු ජනාධිපතිවරයා සැප්තැම්බර් මස 27 වනදා නිල සංචාරයක් සඳහා ජපානයට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කොට තිබේ.

ජපන් රජය විසින් සිදු කරන ලද ආරාධනයකට අනුව ජනාධිපතිවරයාගේ මෙම ජපාන සංචාරය සිදුකෙරෙන බව ද එහි සඳහන් වේ.

සිය ජපාන සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, ජපන් අධිරාජ්‍යයා හමුවීමට නියමිත අතර ජපන් අග්‍රාමාත්‍යවරයා සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙරෙන සමුළුවකට ද සහභාගී වන බව එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථික අවස්ථා කෙරෙහි අවධානය යොමු කරමින්, ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ එරට ආයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ඇමතීමට ද ජනාධිපතිවරයා සූදානමින් පසුවේ.

2025 එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනයේදී, ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස, "එක්ස්පෝ 2025 ඔසාකා" (EXPO 2025 Osaka) ප්‍රදර්ශනය සඳහා ද ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වීමට නියමිතය.

ජනාධිපතිවරයා සිය ජපාන සංචාරය අතරතුරදී එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා පෙර සිදුකළ විදේශ සංචාර

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම නිල සංචාරය ලෙස 2024 වසරේ දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත විය.

ඉන් පසු ජනාධිපතිවරයා චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වියට්නාමය, ජර්මනිය සහ මාලදිවයින යන රටවල ද නිල සංචාර සඳහා සහභාගී විය.