ජනාධිපතිවරයාගේ වියට්නාම සංචාරය ශ්‍රී ලංකාවට වැදගත්වන හැටි

ජනපති හා වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ඡායාරූප මූලාශ්‍රය, PMD

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනපති හා වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් අතර හමුවක්

වියට්නාම රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක (මැයි 03 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය.

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) ගේ ආරාධනයකට අනුව මැයි 04 වන දා සිට 06 වන දා දක්වා ජනාධිපතිවරයා වියට්නාම සංචාරයේ නිරත වනු ඇත.

ඊට අමතරව, හෝ චි මිං නගරයේදී මැයි 06 වන දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමටත්, එහි ප්‍රධාන දේශනය සිදු කිරීමටත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ඇරයුම් ලැබී තිබේ.

මෙම සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද, ව්‍යාපාරික ප්‍රජාව හමු වී සාකච්ඡා පැවැත්වීමටත් නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සිව් වන විදෙස් නිල සංචාරය ලෙස වියට්නාමය බලා යාමට නියමිතව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, PMD

වියට්නාම සංචාරයේ දී ජනාධිපතිවරයා හමුවන්නේ කාව ද?

මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, වියට්නාම ජනාධිපති සහ අගමැති සමග නිල සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් ද ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හමුවීමට නියමිත බව ද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට මෙම වසරේදී වසර 55 ක් සපිරෙන බැවින්, වියට්නාම සමාජවාදී ජනරජයේ සිදුකරන මෙම සංචාරය තුළින් දෙරට අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු වනු ඇතැයි, විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් ය.

ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ පිරිසක් ද මෙමසංචාරයට එක්ව සිටිති.

දෙරට අතර එළැඹීමට නියමිත ගිවිසුම් හා අවබෝධතා

සංචාරය අතරතුර ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම් සහ තවත් ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමටද නියමිත අතර ව්‍යාපාරික ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට ද අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇතත් එම ගිවිසුම් මොනවාද යන්න සිය නිවේදනයේ සඳහන් කර නොමැත.

කෙසේ වෙතත් මේ වසරේ පෙබරවාරි මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුළුව අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය බුයි තාන් සන් හමුවිය.

එහිදී මෙරට ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ කෘෂිකර්ම, අධ්‍යාපන, ආගමික, සංස්කෘතික සහ සංචාරක මෙන් ම ගුවන් සේවා වැනි ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා වියට්නාම ආයෝජකයන්ට ආරාධනා කරන බව ය.

කැබිනට් අනුමැතිය හිමිවූ ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් කිහිපයක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර අප්‍රේල් 28 වැනිදා පැවති කැබිනට් මණ්ඩල හමුවේ දී වියට්නාමය සමග ගිවිසුම් කිහිපයකට එළැඹීමට අනුමැතිය ලැබී තිබිණි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අවබෝධතා ගිවිසුම් ගත වීමට නියමිත ය.

"සංකීර්ණ සමකාලීන ලෝකයේ එකිනෙකා සමඟ සමීප ව සම්බන්ධ වී ඇති ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු සඳහා නව්‍ය අදහස් සහ මත ලබා ගැනීමේ අරමුණ සහිතව පොදුවේ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගිතාවක් පවත්වා ගැනීම සඳහා ආයතනික සබඳතා ඇති කර ගැනීමට," ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්‍ත්‍රික පුහුණු ආයතනය සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර එකඟතාවකට පැමිණ ඇත.

ඒ සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජිත අතර එමඟින් විශේෂඥතාව බෙදා ගැනීම, රාජ්‍යතාන්ත්‍රිකයින්, විද්වතුන්, නිලධාරින්, විශේෂඥයින් සහ පර්යේෂකයින් හුවමාරු කර ගැනීම මෙන්ම අධ්‍යයන හා පර්යේෂණ වැඩසටහන්, විවිධ පාඨමාලා, සම්මන්ත්‍රණ, රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ අනෙකුත් අධ්‍යයන කටයුතු සහ පුහුණුවීම්වලට අදාළ විශේෂඥතාව සංවිධානය කිරීම සහ හුවමාරු කර ගැනීම සඳහා පහසුකම් සලසා ගැනීමට අපේක්ෂිත ය.

ඒ අනුව, වසර තුනක (03) කාලයක් සඳහා වලංගු වන අවබෝධතා ගිවිසුමකට දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

එමෙන් ම ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුම (MoU) අලුත්කිරීමට ද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දෙරට අතර විදුලි යන්ත්‍රෝපකරණ සහ උපකරණ නිෂ්පාදනය ඇතුළු යාන්ත්‍රික උපකරණ අංශයේ ද්වීපාර්ශවික සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය සහ වියට්නාම සමාජවාදී ජනරජයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට 2011 වර්ෂයේදී අත්සන් තබා ඇත.

2019 වර්ෂයේදී දෙරට අතර පැවති වෙළඳාම පිළිබඳ අනුකමිටුවේ දෙවන රැස්වීමේදී එකී අවබෝධතා ගිවිසුම අලුත් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අනුව, "දියුණු තාක්ෂණයන් හුවමාරු කිරීමට පහසුකම් සැලසීමෙන් සහ දේශීය පාර්ශ්වකරුවන් සඳහා පුහුණුව සහ ධාරිතා ගොඩනැංවීමේ කටයුතු සඳහා ප්‍රවේශය ලබා දෙමින් සංශෝධන ඇතුළත් කොට යාවත්කාලීන කරන ලද යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම" දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබේ.

වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන ආයතනය (VTETRADE) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අතර අවබෝධතා ගිවිසුම් ගත වීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර වෙළෙඳ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබේ.

දෙපාර්ශ්වයට අදාළ වෙළෙඳාම පිළිබඳ තොරතුරු සහ වෙළෙඳපොළ බුද්ධිය හුවමාරු කර ගැනීම, දෙරටේම පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශන, ප්‍රදර්ශන සහ ප්‍රවර්ධන අවස්ථා සඳහා ඒකාබද්ධ සහභාගිත්වය සහ ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම් අතර රැස්වීම් සංවිධානය කිරීම ඇතුළු පුළුල් පරාසයක වෙළෙඳ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සඳහා මෙම අවබෝධතා ගිවිසුම යටතේ අවකාශ සැලසෙන බව නිවේදනයේ සඳහන් ය.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වියට්නාමයේ කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලයට කටයුතු කර ඇත.

කෘෂිකාර්මික සහයෝගීතාවය අරමුණු කර ගනිමින් 2006 වර්ෂයේදී ද ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

ඒ අනුව, දෙපාර්ශ්වයේ එකඟතාව මත 2010-2011, 2017-2019, 2022-2024 හා 2024-2026 වර්ෂයන් සඳහා ක්‍රියාකාරී සැලසුම් අත්සන් කර ක්‍රියාත්මක කර තිබේ.