ඉන්දියාවේ පැතිරෙන නිපා වෛරසයෙන් ශ්‍රී ලංකාවට අවදානමක් පවතියි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ වන විට අසල්වැසි ඉන්දියාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින වෛරසයක් ගැන ශ්‍රී ලංකාවේ ජනතාවගේ දැඩි අවධානය යොමුව තිබේ.
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කෝලිකෝඩ් දිස්ත්‍රික්කයෙන් මීට දින කිහිපයකට පෙර නිපා වෛරසය ආසාදනය වූ රෝගියෙකු හඳුනාගැනුණු අතර, මේ වන විට එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් සයදෙනෙකු හඳුනාගෙන රෝහල්ගත කර ඇත.
එසේම, ඉන්දියාවේ නිපා ආසාදිතයින් දෙදෙනෙකු මරණයට පත්ව තිබෙනබව ද, කෝලිකෝඩ් දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1,100කට ආසන්න පිරිසක් නිරෝධායනය සඳහා යොමුකොට ඇතිබව ද එරට මාධ්‍ය වාර්තා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මොකද්ද මේ නිපා වෛරසය?
සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් වන මෙය මිනිසාගෙන් මිනිසාට ද සම්ප්‍රේෂණය විය හැකි බව, වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල පවසයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ය.
මෙම වෛරසය ශාක භක්ෂක වවුලන්ගෙන් ව්‍යාප්ත වන බවත්, එය බොහෝ විට ඌරන් ඇතුළු සත්ත්වයින්ට ද ආසාදනය විය හැකි බවත් ඔහු පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වෛරසය පළමුවරට හඳුනාගනු ලැබුවේ කවදා ද?
නිපා වෛරසය 1998 වසරේ දී පළමුවරට මැලේසියාවෙන් හඳුනාගැනුණු අතර එය සිංගප්පූරුවට ද ව්‍යාප්ත විය.
එම අවස්ථාවේ දී පුද්ගලයින් 300 දෙනෙකුට පමණ වෛරසය ආසාදනය වූ අතර, පුද්ගල මරණ 100ක් ද වාර්තා වූ බව ඇමෙරිකාවේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
මැලේසියාවේ දී නිපා වෛරසය පළමුවරට හඳුනාගැනුණේ ඌරන්ගෙන් වන අතර, වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට ඌරන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට සිදුවිය.
වෛරසය ව්‍යාප්ත වන්නේ කෙසේ ද?
වෛරසය ආසාදනය වූ සත්ත්වයින්ගේ ඛේටය, මළ මුත්‍රා සහ එම සතුන් සමග සෘජුව ගැටීමෙන්, එය ඔවුන්ගෙන් මිනිසාට ද සම්ප්‍රේෂණය විය හැකි බව විශේෂඥ වෛද්‍ය සුමතිපාල ප්‍රකාශ කළේ ය.
වෛරසයේ ප්‍රධානතම සම්ප්‍රේෂකයින් වන ශාක භක්ෂක වවුලන් අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, මැඩගස්කරය සහ ඕස්ට්‍රේලියාව දක්වා ව්‍යාප්තව සිටින බවත්, ඔවුන් තුළ එම වෛරසය පවතින බවත් ඔහු පැවසුවේ ය.
වෛරසය සහිත වවුලන් විසින් ආහාරයට ගන්නා පළතුරු සහ උන්ගේ මළ මුත්‍රා හා ඛේටය ගැටුණු පලතුරු වෙනත් සතුන් හෝ මිනිසුන් ආහාරයට ගැනීම හරහා වෛරසය ව්‍යාප්ත විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.
නිපා වෛරස ආසාදනයක රෝග ලක්ෂණ මොනවා ද?
වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට උණ ද, පසුව හිසරදය, කැස්ස, උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුතා සහ වමනය වැනි රෝග ලක්ෂණ ඇතිවන බවත්, වෛරසයට නිරාවරණය වී දින 21ක් දක්වා කාලය තුළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සිදුවන බවත් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ය.
ඇතැම් ආසාදිත පුද්ගලයින් රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් ඔවුන් තුළ වෛරසය පැවතිය හැකි බව ද ඔහු පැවසුවේ ය.
වෛරස ආසාදිතයින්ට ඇතැම් අවස්ථාවල දී මොළයේ ප්‍රදාහ තත්ත්වයක් පවා ඇතිවීමේ අවදානමක් පවතින බව ද විශේෂඥ වෛද්‍ය සුමතිපාල මෙහිදී කියා සිටියේ ය.
රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයෙකුගේ PCR පරීක්ෂණ හෝ ප්‍රතිදේහ පර්යේෂණයට භාජනය කිරීම මඟින් ඔවුන්ට එම වෛරසය ආසාදනය වී ඇත් ද යන්න තහවුරු කළ හැකිබව ද ඔහු පැවසුවේ ය.
නිපා ආසාදනයට සඳහා ඇති ප්‍රතිකාර මොනවා ද?
මේ වන විට නිපා වෛරස ආසාදනයට සඳහා විශේෂ ඖෂධයක් හඳුනාගෙන නොමැති අතර, ආසාදිතයින් පෙන්නුම් කරන රෝග ලක්ෂණ අනුව ඔවුනට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සිදුකරන බව වෛද්‍යවරයා ප්‍රකාශ කළේ ය.
දැනට පවතින තොරතුරු අනුව මෙම වෛරසයට 40% සිට 75%ක් දක්වා මරණ අනුපාතයක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post
නිපා වෛරසයෙන් ශ්‍රී ලංකාවට අවදානමක් පවතියි ද?
මේ වන විට නිපා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් මෙරටින් වාර්තා වී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ දී අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නොවන බව වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුමතිපාල ප්‍රකාශ කර සිටියේ ය.
ලබන සතිය වන විට නිපා වෛරසය පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පහසුකම් මෙරට තුළ ස්ථාපනය කිරීම සඳහා කටයුතු යොදා ඇතැ යි, බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනය ඔහු කළ විමසීමේ දී දැනුම්දුන් බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ය.
ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් මඟීන් වෙත අවධානයක් යොමු කළ යුතු ද යන්න පිළිබඳ නගන ලද පැනයකට පිළිතුරු දෙමින් වෛද්‍යවරයා පැවසුවේ, මේ වන විට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් පිට රෝගීන් වාර්තාවීමක් සිදුනොවන බැවින් ඒ පිළිබඳ බියක් ඇතිකර ගත යුතු නොවන බව යි.
යම් හෙයකින් කේරළ ප්‍රාන්තයේ සිට මෙරටට පුද්ගලයින් පැමිණ සිටියි නම් ඔවුන් පරික්ෂාවට ලක් කළ යුතු බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ය.
නිපා වෛරසයෙන් ආරක්ෂා විය හැකි ක්‍රම මොනවා ද?
මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවුණත්, එය පැළඳීමෙන් ඕනෑම අයෙකුට තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සලසාගත හැකි බවත්, තමන් අවට සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත වන බවත් පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා, මුව ආවරණ පැළඳීම මඟින් නිපා වෛරසයෙන් පමණක් නොව ඉන්ෆ්ලුවෙන්සා වෛරසවලින් ද ආරක්ෂා විය හැකි බව පෙන්වා දුන්නේ ය.
එමෙන්ම වවුලන් වැනි සතුන් ආහාරයට ගත්බව සැක කෙරෙන පළතුරු ආහාරයට නොගැනීම සහ පළතුරු පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා ආහාරයට ගැනීම වැදගත් බව ද ඔහු පැවසුවේ ය.
මස් පිණිස ගන්නා ඌරන් වැනි සතුන්ට ද වෛරසය ආසාදනය විය හැකි බැවින් එම සතුන්ගේ මස් ආහාරයට ගැනීම සුදුසුදැ යි නගන ලද පැනයට පිළිතුරු දුන් විශේෂඥ වෛද්‍යවරයා, ශ්‍රී ලංකාව තුළ මෙතෙක් එවැනි තත්ත්වයක් වාර්තාවී නොමැති බැවින් මස් වර්ග හොඳින් පිස ආහාරයට ගැනීම ගැටලුවක් නොවන බව පැවසීය.












