ඊශ්‍රායල් ප්‍රහාර නිසා දරු කළල විනාශ වීමෙන් මාතෘත්වය අහිමි වූ ගාසාහි කාන්තාවෝ

    • Author, ඊතර් ෂලාබි
    • Role, බීබීසී අරාබි

"මට ඔක්කොම නැති වුණා", "මානසිකව කඩාගෙන වැටුණා," 26 හැවිරිදි පලස්තීන ජාතික කාන්තාවක වන නූරා පවසයි.

වසර ගණනක නළ දරු ප්‍රතිකාරවලින් පසු, 2023 වසරේ ජූලි මාසයේදී ඇය ගැබ් ගත්තා ය. ගැබ් ගැනීම තහවුරු කරන පරීක්ෂණයෙන් ඇය ගැබ්ගෙන ඇති බව දැනගත් මොහොත විස්තර කරමින් ඇය සිහි කරන්නේ, "මට දරා ගන්න බැරි සතුටක් ඇති වුණා," යනුවෙනි.

ඇය සහ ඇගේ සැමියා වන මොහොමඩ් අනාගතයේදී තවත් දරුවන් ලැබීමේ අපේක්ෂාවෙන්, තවත් කළල දෙකක් ගාසා නගරයේ අල්-බස්මා සාඵල්‍යතා මධ්‍යස්ථානයේ ගබඩා කිරීමට තීරණය කළහ.

"මම හිතුවෙ අන්තිමට මගේ හීනය හැබෑ වුණා කියලා," ඇය පවසයි. "ඒත් ඊශ්‍රායල් අය ආව දවසෙ ම මගේ හිත මට කිව්වා ඔක්කොම ඉවරයි කියලා."

2023 ඔක්තෝබර් 7 වන දින පුද්ගලයින් 1,200ක් පමණ මිය ගොස් තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගන්නා ලද, හමාස් සංවිධානය දේශසීමා උල්ලංඝණය කරමින් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ හමුදා මෙහෙයුමක් දියත් කළේ ය.

එතැන් සිට ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 54,000 දෙනෙකු මිය ගොස් ඇති බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගාසා වැසියන් දහස් ගණනකට මෙන් ම නූරා සහ මොහොමඩ්ට පදිංචි ස්ථාන අතහැර පලා යාමට සිදුවූ අතර, නිරෝගී ගැබ් ගැනීමක් සඳහා අවශ්‍ය ආහාර, විටමින් සහ ඖෂධ සපයා ගැනීමට නොහැකි විය.

"එක පාරට ම දාන භයානක බෝම්බ ප්‍රහාර මැද්දේ අපි පැය ගාණක් ඇවිදගෙන ගියා. එක තැනක ඉඳලා තවත් තැනකට යන්න වුණා," මොහොමඩ් පවසයි.

දරු ගැබට මාස හතක් ගත වෙද්දී නූරා දරුණු ලේ ගැලීමේ තත්ත්වයකින් පෙළිණි.

"ඇයට සැහෙන්න ලේ පිටවුණා. අඩු ම ගාණේ එයාව රෝහලට ගෙනියන්න වාහනයක්වත් හොයාගන්න බැරි වුණා. අන්තිමට එයාව අරගෙන යන්න වුණේ කුණු ලොරියක දාගෙන," මොහොමඩ් විස්තර කළේ ය.

"අපි ඉස්පිරිතාලෙට යනකොටත් ගබ්සා වෙන්න පටන් අරන් තිබුණේ."

ඇයගේ නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙකු උපදින විට ම මියගොස් සිටි අතර, අනෙක් දරුවා ඉපදී පැය කිහිපයකට පසු මිය ගියේ ය. රෝහලෙහි නොමේරූ ළදරුවන් රඳවා තැබීම සඳහා ඉන්ක්‍යුබේටරයක් හෝ නොතිබූ බව මොහොමඩ් පැවසුවේ ය.

"හැම දේ ම මොහොතකින් නැති වෙලා ගියා," නූරා පවසයි.

ඔවුන්ට ඔවුන්ගේ නිවුන් දරුවන් පමණක් නොව ඔවුන් කල්තබා ගත් කළල ද අහිමි විය.

දරු කළල දහස් ගණනක් විනාශ වෙයි

2023 දෙසැම්බර් මස මුලදී එයට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව පැහැදිලි කරන විට අල්-බාස්මා සාඵල්‍යතා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය බහා ගලයිනි කතා කළේ, ශෝකයෙන් හා අවිනිශ්චිතභාවයකිනි.

ඔහුට මෙම කළල විනාශය සිදුවූ දිනයක් හෝ වේලාවක් නිශ්චිතව කිව නොහැකි අතර, මෙම ඇස්තමේන්තුව පදනම් වී ඇත්තේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස සාඵල්‍ය මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන ආකාරය දුටු අවසන් අවස්ථාව පදනම්ව ය.

සායනයේ වැදගත් ම කොටසෙහි ශීතකරණ තුළ තබා තිබූ කළල 4,000කට ආසන්න සංඛ්‍යාවක් සහ ශුක්‍රාණු සහ ඩිම්බ සාම්පල 1,000කට වඩා ගබඩා කළ හැකි බහලුම් දෙකක් තිබූ බව වෛද්‍ය ගලයිනි පවසයි.

"ඩොලර් 10,000කට වඩා වටින විනාශ වුණ ඉන්කියුබේටර් දෙක පිරිලා තිබුණේ සාම්පල් සංරක්ෂණය කරන්න දාලා තිබුණ නයිට්‍රජන් ද්‍රාවණයකින්," ඔහු පවසයි.

ඒවා නිතර නැවත පිරවිය යුතු වූ අතර "ෂෙල් වෙඩි ගහන්න සති දෙකකට විතර කලින්, නයිට්‍රජන් අඩු වෙලා වාෂ්ප වීමට පටන් ගෙන," තිබිණි.

දකුණු ගාසා තීරයේ අවතැන් වී සිටින රසායනාගාර අධ්‍යක්ෂ ආචාර්ය මොහොමඩ් අජ්ජුර් පවසන්නේ, ඔහු "අල්-නුසෙයිරාත්හි නයිට්‍රජන් ගබඩාවට ගිහින් ටැංකි දෙකක් ලබා ගත්" බව ය.

එහෙත්, දිගින් දිගට ම එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාර නිසා එම ටැංකි කිලෝමීටර් 12ක් පමණ දුරින් පිහිටි සායනයට යැවීමට නොහැකි වූ බව ඔහු පවසයි: "මධ්‍යස්ථානයට ෂෙල් වෙඩි ගැහුවා, නයිට්‍රජන්වලින් වැඩක් නැති වුණා."

වෛද්‍ය ගලයිනි පවසන්නේ මෙම මධ්‍යස්ථානය ඔවුන්ගේ ම සායනවලට මෙන් ම අනෙකුත් සායනවල ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ද කළල ගබඩා කර තිබූ බව ය. "මම කතා කරන්නේ ශීත කළ කළල 4,000ක් ගැන. මේවා නිකන් ම සංඛ්‍යා නොවෙයි, ඒවා මිනිසුන්ගේ හීන. අවුරුදු ගාණක් බලාගෙන ඉඳපු, වේදනාකාරී ප්‍රතිකාර ලබා ගත්ත සහ අවසානයේ විනාශ වූ මෙම ටැංකි මත තමන්ගේ බලාපොරොත්තු තබපු අය ගැන."

බොහෝ දෙනෙකුට නැවත නළ දරු ක්‍රියාවලියට භාජනය විය නොහැකි බැවින් ඔහු ඇස්තමේන්තු කරන්නේ, කාන්තාවන් 100ත් 150ත් අතර සංඛ්‍යාවකට දරුවන් ලැබීමේ එක ම අවස්ථාව අහිමි වී ඇති බවට ය. "සමහරු වයසට යමින් ඉන්නවා, සමහරු පිළිකා රෝගීන්, තවත් සමහරු නිදන්ගත රෝගවලින් පීඩා විඳිනවා. ගොඩක් දෙනෙකුට එක පාරක් විතරක් ලබා දෙන්න පුළුවන් ප්‍රබල සරුභාවය ඇති කරන බෙහෙත් දුන්නා. ආපහු පටන් ගන්න එක ලේසි නෑ."

මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා බීබීසී පුවත් සේවය ඊශ්‍රායල් ආරක්ෂක හමුදා සම්බන්ධ කර ගත් විට ඔවුන් පැවසුවේ, "ප්‍රහාරය සිදුවූ නිශ්චිත වේලාව"කිව හැකි නම් ඔවුන්ට ප්‍රතිචාර දැක්වීමට වඩා හොඳින් හැකි වනු ඇති බව ය.

"ජාත්‍යන්තර නීතියට අනුව ක්‍රියාත්මක වනවා සේ ම සිවිල් ජනතාවට සිදුවන හානිය අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළ," බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

මෙම වසරේ මාර්තු මාසයේදී, [ඊශ්‍රායලය] අල්ලාගෙන සිටින පලස්තීන භූමිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කොමිසම විසින්, "ගාසා තීරයේ පලස්තීනුවන් අතර උපත් වැළැක්වීමේ අරමුණින්" ඊශ්‍රායලය "හිතාමතා ම බස්මා IVF සායනයට පහර දී විනාශ කළ" බවට චෝදනා කරන ලදී.

ආරක්ෂිත ගැබ් ගැනීම්, දරු ප්‍රසූතිය සහ අලුත උපන් බිළිඳුන්ගේ රැකවරණය සහතික කිරීම සඳහා අවශ්‍ය ඖෂධ ඇතුළු ආධාර කාන්තාවන් වෙත ළඟා වීම ඊශ්‍රායලය විසින් වළක්වා ඇති බවට ද එම කොමිසම චෝදනා කළේ ය.

"ඊශ්‍රායල් බලධාරීන් ගාසා තීරයේ පලස්තීනුවන්ගේ ප්‍රජනන ධාරිතාව අර්ධ වශයෙන් විනාශ කළා... එය ජන සංහාරක ක්‍රියාවල එක පැත්තක්," බව කොමිසම තවදුරටත් කියා සිටියේ ය.

වාර්තාව නිකුත් කරන අවස්ථාවේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායලයේ ස්ථිර දූත කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, "මෙම පදනම් විරහිත චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන," බව ය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කෝපයෙන් ප්‍රතිචාර දක්වමින්, වාර්තාව සකස් කළ මානව හිමිකම් කවුන්සිලය "යුදෙව් විරෝධී, යල් පැන ගිය, ත්‍රස්තවාදීන්ට සහය දක්වන සහ අදාළ නොවන ආයතනයක්" ලෙස හැඳින්වූයේ ය.

හමාස් සංවිධානය විසින් සිදු කරනු ලැබූ යුද අපරාධ කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට, ඔවුන් "බොරු චෝදනා" එල්ල කරමින් ඊශ්‍රායලයට එරෙහිව ක්‍රියා කරන බව ඔහු පැවසීය.

"හිතාමතා ම ගර්භණී සායන ඉලක්ක කරන්නේ නෑ. ඒ වගේ ම ගාසා තීරයේ සිවිල් ජනගහනයේ උපත් අනුපාතය වැළැක්වීමට උත්සාහ කරන්නෙත් නෑ," යනුවෙන් ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙක් බීබීසී අරාබි සේවයට පැවසීය.

"ඊශ්‍රායල් හමුදා හිතාමතා ම එවැනි ස්ථානවලට පහර දෙන බවට කරන ප්‍රකාශය පදනම් විරහිතයි. ඒකෙන් ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදා මෙහෙයුම්වල අරමුණ පිළිබඳව සම්පූර්ණ වැරදි අවබෝධයක් පෙන්නුම් කරනවා."

'හැමදේම විනාශ වෙන හැටි මම බලාගෙන හිටියා'

ගාසා තීරයේ සාඵල්‍යතා සායන 9 ම විනාශ වී හෝ තවදුරටත් ක්‍රියාත්මක වීමට නොහැකි තත්ත්වයක පවතින බව වෛද්‍ය ගලයිනි පවසයි.

තමන්ට සහ තවත් බොහෝ දෙනෙකුට දරුවෙකු ලැබීමේ අවස්ථාව ඉතා අඩු බව නූරා පැහැදිලි කරයි. සාරා කුදාරි වැනි කාන්තාවෝ 2020 දී සරුභාවය සඳහා ප්‍රතිකාර ආරම්භ කළහ. 2023 ඔක්තෝබර් මාසයේදී යුද්ධය ආරම්භ වන විට ඇය කළලයක් රෝපණය කිරීම සඳහා සූදානම් වෙමින් සිටියා ය. එහෙත්, ඊට අදාළ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීමට නොහැකි විය. "හැම දේ ම විනාශ වෙලා යන හැටි මම බලාගෙන හිටියා," ඇය පවසයි.

යුද්ධය ආරම්භ වීමට මාස කිහිපයකට පෙර, 2023 දී අල්-බස්මා සායනය ඉස්ලාම් ලුබ්බාඩ්ට ගැබ් ගැනීමට සහය විය. නමුත් සටන් ආරම්භ වී මාසයකට පසු, නූරා මෙන් ඇයටත් ඇගේ දරුවා අහිමි විය. "කිසි ම ස්ථාවර තත්ත්වයක් තිබුණේ නෑ. අපි තැනින් තැනට යමින් හිටියේ. මට ලොකු වෙහෙසක් දැනුණා," ඇය තමන් ගබ්සා වූ ආකාරය සිහිපත් කරමින් පවසයි.

අල්-බස්මා සාඵල්‍යතා මධ්‍යස්ථානයේ ඉස්ලාම්ගේ තවත් ශීත කළ කළල ගබඩා කර තිබුණත්, දැන් ඒවා විනාශ වී ඇති අතර නැවත ගැබ් ගැනීමට උත්සහ කිරීම සඳහා ක්‍රියාත්මක වන නළ දරු සායන එහි නැත.