දකුණු ගාසාවට එල්ල කළ ප්‍රහාර: 'ආරක්‍ෂිත' ප්‍රදේශවල වලට එල්ල කොට ඇති බව බීබීසීය තහවුරු කරගනියි

උතුරු ගාසා තීරයෙන් ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදාව විසින් පළමු වරට සිවිල් වැසියන් වෙත ලබා දෙන ලද උපදෙස්වලින් අනතුරුව ගාසා වැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම තීරයේ දකුණු දෙසට ගමන්කර තිබේ. එහෙත් ගාසා තීරයේ කිසිදු ස්ථානයක් සිවිල් වැසියන්ට ආරක්ෂිත නොවන බවට අනතුරු ඇඟවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ අනෙකුත් ආධාර සංවිධානවලට මඟ සාදමින්, එහි දකුණු ප්‍රදේශය ද අඛණ්ඩව ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලට ලක්ව ඇත.

දකුණු ගාසා තීරයේ සිවිල් වැසියන්ට ඇති අවදානම වඩා ත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා, BBC Verify විසින් එම කලාපයේ සිදුවූ ප්‍රහාරවල විශේෂිත අවස්ථා හතරක් හඳුනා ගෙන විශ්ලේෂණය කරනු ලැබ තිබේ. දකුණේ ඇතැම් ප්‍රදේශවලට යන ලෙසට ලබාදුන් උපදෙස් ඇතුළු ගාසා සිවිල් වැසියන්ට නිකුත් කර තිබුණු අනතුරු ඇඟවීම් සහ ඉවත්වීමට දෙන ලද උපදෙස් කිහිපයක් පිළිබඳව ද අපි විමසා බැලුවෙමු.

මෙම අනතුරු ඇඟවීම්වලින් සමහරක්, නොපැහැදිලි ලෙස අර්ථ දක්වා ඇති ප්‍රදේශ වෙත ගමන් කිරීමට අඳින ලද ඊතල සහිත සිතියම් සමග නිකුත්කර ඇත. අප පරීක්ෂා කළ ප්‍රහාරවලින් තුනක් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් පසු දින කිහිපය තුළ එම ප්‍රදේශවලට හෝ ඒවාට ආසන්න ප්‍රදේශවලට එල්ලකර තිබුණි.

IDF (ඊශ්‍රායල ආරක්ෂක හමුදා) එය ගුවනින් හෙළන අත්පත්‍රිකා, අරාබි භාෂාවෙන් සමාජ මාධ්‍ය හරහා කරන දැනුවත් කිරීම් සහ සිවිල් හා ජාත්‍යන්තර සංවිධාන හරහා නිකුත් කරන අනතුරු ඇඟවීම් ඇතුළු විවිධ ආකාරවලින් ගාසා වැසියන් සමග සන්නිවේදනය කරන බව පවසා ඇත. මෙම ලිපිය ලිවීමේ දී අපි සමාජ මාධ්‍යවල පළ කර ඇති IDFහි උපදෙස් පරීක්ෂා කර ඇත්තෙමු.

ඛාන් යූනිස් - ඔක්තෝබර් 10

IDF, එක් රැයකින් එහි ප්‍රහාරක ජෙට් යානා උතුරේ රිමාල්හි සහ දකුණේ ඛාන් යූනිස්හි ඉලක්ක 200කට වඩා වැඩි ගණනකට පහර දුන් බව ඔක්තෝබර් 10 වන දා කියා සිටියේ ය. බීබීසීය එදින ඛාන් යූනිස් නගරයේ මධ්‍යම ප්‍රදේශය වෙත එල්ල වූ ප්‍රහාරයක් පිළිබඳව පරීක්ෂා කළේ ප්‍රහාරය එල්ල වූ ස්ථානය ගැන සහ එහි පරිමාණය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ය. ප්‍රහාරයෙන් පසු පළ වුණු වීඩියෝ දර්ශනවල නගර මධ්‍යයේ ඇති සුන්බුන් සහ කඩා වැටුණු ගොඩනැගිලි දිස් වෙයි. ඛාන් යූනිස්හි මහ පල්ලියේ මිනාරය වැනි දෘශ්‍ය ඉඟි භාවිතයෙන් අපි එය සිදු වූ ස්ථානය තහවුරු කර ඇත්තෙමු.

විනාශ වූ ගොඩනැගිලි ද, විනාශවූ මෝටර් රථ සහ නිවාසවල සුන්බුන් අතරින් ඉතිරිව ඇති දෑ සොයමින් සිටින පුද්ගලයින් ද දැක්වෙන ඡායාරූප ද අපි පරීක්ෂා කර ඇත්තෙමු. ඡායාරූප සහ වීඩියෝව යන දෙකේ ම එක ම ඖෂධහලක නාම පුවරුව අන්තර්ගත වන නිසා, එම ඡායාරූපවල දැක්වෙන්නේ වීඩියෝවේ දැක්වෙන ස්ථානය ම බව අපි දනිමු. එම ඡායාරූප පෙර සිදුවීමක ඒවා නොවන බවට පරීක්‍ෂා කර ගැනීමට අපි 'reverse image search' ද භාවිත කළෙමු.

ඔක්තෝබර් 8 වන දා උදෑසන IDF ප්‍රකාශක ඇවිකේ ඇඩ්රී Xහි (මීට පෙර ට්විටර්) අරාබි භාෂාවෙන් අනතුරු ඇඟවීමක් පළ කරමින්, විවිධ ප්‍රදේශවල ජීවත් වන ගාසා තීරයේ වැසියන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ නිවෙස් අතහැර වෙනත් ස්ථානයකට ගමන් කරන ලෙස උපදෙස් දී තිබුණේ ය.

සාමාන්‍යයෙන් ඉවත්කිරීමේ කලාප බොහෝ අවස්ථාවල දී පැහැදිලිව දැක්වුව ද, නිවැසියන්ට ඉවත්ව යන ලෙසට දැනුම් දුන් ප්‍රදේශ බොහෝ අවස්ථාවලදී වඩා ත් අපැහැදිලි විය.

මේ සිද්ධියේ දී, ඛාන් යූනිස් නගර මධ්‍යයේ සිට කිලෝමීටර කිහිපයක් ගිනිකොණ දෙසින් පිහිටි අබසාන් අල්-කබීරා සහ අබසාන් අල්-සඝීරා අවට ප්‍රදේශවල ජීවත් වන ජනතාවට "ඛාන් යූනිස් නගර මධ්‍යයට" යන ලෙස ඔක්තෝබර් 8 ට්විටර් පණිවිඩයෙන් දන්වා ඇත.

මෙම ප්‍රදේශ දෙකෙහි වෙසෙන ජනතාව සඳහා ට්වීට් කරන ලද වීඩියෝවෙහි ඇතුළත් කර ඇති සිතියමේ, ඔවුන් වර්තමානයේ පදිංචිව සිටින ස්ථානයේ සිට ඛාන් යූනිස් නගරයේ දිශාව වෙත අඳින ලද ඊතලයක් දැක්වේ.

පසුව වෙනස් උපදෙස් ලැබී තිබීමට ඇති හැකියාව අපට ඉවත නොදැමිය හැකි නමුත් එවැන්නක් පිළිබඳව කිසිදු සාක්ෂියක් බීබීසීයට හමු වී නොමැත.

රෆා - ඔක්තෝබර් 11

ඊට පසු දා ඊජිප්තුවේ දේශසීමාව ආසන්නයේ දකුණු දෙසින් තවත් ප්‍රහාරයක් සිදුවූ බවට බීබීසීය තහවුරු කර ඇත. මෙම ඔක්තෝබර් 11 ප්‍රහාරය රෆා මධ්‍යයේ ඇති නෙජ්මෙහ් චතුරශ්‍රයට එල්ලවිය. ප්‍රහාරයෙන් පසුව සිදු වූ විනාශය පෙන්නුම් කරමින් සමාජ මාධ්‍යවල පළ වූ වීඩියෝවක් බීබීසීය විසින් නිරීක්ෂණය කරන ලදී. ප්‍රහාරයට පෙර චතුරශ්‍රයේ ඇති පින්තූර භාවිත කරමින්, ගොඩනැගිලිවල හැඩය නෙජ්මෙහ් චතුරස්‍රයේ බවට හඳුනා ගැනීමට අපට හැකි විය.

IDF විසින් ඔක්තෝබර් 8 වන දින නිකුත් කරන ලද අනතුරු ඇඟවීමේ පණිවිඩය තුළ රෆා පදිංචිකරුවන්ට "ඔබේ ආරක්ෂාව සඳහා" වහාම රෆා නගර මධ්‍යය වෙත යන ලෙස දුන් උපදෙස් ද අඩංගු විය.

රෆා නගරයේ නිවාස සහිත ප්‍රදේශවල ජීවත්වන වැසියන් සඳහා නිකුත් කරන ලද වීඩියෝවේ ඇති සිතියමෙහි "රෆා" දෙසට ඔවුන් යොමු කරන ඊතලයක් අඩංගු වේ.

මෙම කාල සීමාව තුළ බවට දැනුවත්ව අරාබි භාෂාවෙන් IDF විසින් සමාජ මාධ්‍ය තුළ පළ කරන ලද අනතුරු ඇඟවීමේ පණිවිඩ සියල්ල බීබීසීය විශ්ලේෂණය කළේ ය. ඊට පසුකාලීනව වෙනස් උපදෙස් කිසිවක් ලැබුණේ ද යන්න පිළිබඳ සාක්ෂි සොයා ගැනීමට නොහැකි වී ඇති නමුත් එය ඒවා නිකුත් කර තිබීමට ඇති හැකියාව ඉවත නොදමයි.

ඛාන් යූනිස් - ඔක්තෝබර් 19

දින අටකට පසු, නැවතත් ඛාන් යූනිස්හි ගමාල් අබ්දෙල් නසර් වීදිය වෙත තවත් ප්‍රහාරයක් එල්ල විය. අප මෙය තහවුරු කර ගත්තේ, නගරයේ එක් ප්‍රධාන මාර්ගයක කඩා වැටුණු ගොඩනැගිලිවල වීඩියෝ දර්ශන නැරඹීමෙනි. වීඩියෝවේ ඇති ගොඩනැගිලිවල හැඩය, එම ස්ථානයේ ම වෙනත් නිශ්චල රූපවල ඇති ඒවා සමග ගැලපීමෙන් මෙය එක ම ස්ථානය බව තහවුරු කර ගැනීමට අපට හැකි විය.

මියගිය හා තුවාල ලැබූවන්ගේ සිරුරු සුන්බුන්වලින් පිටතට ගෙන අසල ඇති නසර් රෝහල වෙත ගෙන යන අයුරු ප්‍රහාරයෙන් පසුව නිකුත් වූ තවත් දර්ශනවල දැක්වේ.

IDF විසින් ඔක්තෝබර් 16 වන දින ගාසා නගරයේ පදිංචිකරුවන්ට "ඔබේ ආරක්ෂාව සහ ඔබගේ ආදරණීයයන්ගේ ආරක්ෂාව වැදගත් නම්" ඛාන් යූනිස් වෙත දකුණු දෙසට යන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබ තිබිණි.

නැවතත්, වෙනස් වූ තවත් උපදෙස් ලැබී තිබීමට ඉඩ ඇති නමුත් අපට මේ පිළිබඳ කිසිදු සාක්ෂියක් හමු නොවීය.

මධ්‍යම ගාසාවේ කඳවුරු - ඔක්තෝබර් 17, 18 සහ 25

මධ්‍යම ගාසාවේ උතුරු දෙසට වන්නට සරණාගත කඳවුරු හතරක් ඇත. බීබීසීයට ඒවායෙන් දෙකකට ප්‍රහාර එල්ල වූ බවට තහවුරු කර ගැනීමට හැකි විය. ඔක්තෝබර් 17 වන දින අල්-බුරෙයිජ් කඳවුර වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පසු නිකුත්වුණු සමාජ මාධ්‍ය දර්ශනවල, පුළුල් ප්‍රදේශයක් පුරා පැතිර ඇති සුන්බුන්, ගිනිදැල්, සහ ලෙයින් වැසුණු මළ සිරුරු ඉන් පිටතට රැගෙන යන අයුරු දිස්වෙයි. අප මෙම දර්ශනවල සත්‍යතාව තහවුරු කර ගත්තේ, ප්‍රහාරයෙන් පසුව ප්‍රවෘත්ති ඒජන්සි විසින් නිකුත් කරන ලද ඡායාරූප සමග එහි ඇති ගොඩනැගිලි සැසඳීමෙනි. එහි දිස්වුණු මස්ජිදයක ආධාරයෙන් අපි එම දර්ශනවල ස්ථානය ද තහවුරු කර ගත්තෙමු.

ඒ ආසන්නයේ පිහිටි තවත් කඳවුරක් වන අල්-නුසෙයිරාත් වෙත පසු දා, ඔක්තෝබර් 18 වන දා, පහර දී තිබිණි. ගිලන්රථ, සුන්බුන්, ගිනි නිවීමට උත්සහ කරන පුද්ගලයින් සහ විනාශ වූ බේකරියක් පෙන්වන, ප්‍රහාරයෙන් පසුව අත්වී ඇති ඉරණම දැක්වෙන සමාජ මාධ්‍ය දර්ශනවල සත්‍යතාව අපි තහවුරු කර ගත්තෙමු. ප්‍රහාරය සිදුවීමට පෙර පළ කළ ඡායාරූපවල දැක්වෙන, වීඩියෝ දර්ශනවල දැකිය හැකි වෙළෙඳසල්වල නාම සමග සංසන්දනය කිරීමෙන් අපි එම ස්ථානය සොයා ගත්තෙමු.

නැගෙනහිර සහ දකුණු මාඝාසි ප්‍රදේශයේ පදිංචිකරුවන්ට මධ්‍යම ගාසා තීරයේ කඳවුරු වෙත යන ලෙසට ඔක්තෝබර් 8 වන දාට පෙර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණ ද, ට්විටර් පණිවිඩයේ අඩංගු සිතියමේ නිශ්චිතව දක්වා ඇති ස්ථානයේ කඳවුරු ඇති බවක් නොපෙනේ.

කෙසේ වෙතත්, අසල ඇති කඳවුරු තුනක් හඳුනා ගැනීමට අපි සමත්වීමු. අල්-නුසෙයිරාත් සහ අල්-බුරෙයිජ් වෙත ඔක්තෝබර් 17 වන දා ප්‍රහාර එල්ල වූ අතර ඔක්තෝබර් 18 වන දා ඩේර් අල්-බලා නමැති කඳවුරකට ප්‍රහාර එල්ල විණි.

පසුව වෙනස් උපදෙස් ලැබී තිබීමට ඇති හැකියාව අපට ඉවත නොදැමිය හැකි නමුත් මේ පිළිබඳව කිසිදු සාක්ෂියක් බීබීසීයට හමු වී නොමැත.

ඔක්තෝබර් 25 වන දින අල්-නුසෙයිරාත් කඳවුර වෙත එල්ල වූ තවත් ප්‍රහාරයකින් අත්වුණු ඉරණම අල් ජසීරා ප්‍රවෘත්ති ආයතනය පෙන්වී ය.

අන්තර්ජාලයේ පළ කරන ලද දර්ශනවල දැක්වෙන්නේ, ගසාවේ අල් ජසීරා ප්‍රධාන වාර්තාකරු වඑල් අල්-ඩහ්ඩූහ් රෝහලක් තුළ කඳුළු සලමින්, ඔහුගේ හත් හැවිරිදි දියණියගේ දේහය තුරුළු කර ගෙන තම නව යොවුන් පුතුගේ දේහය අසල දණින් වැටී සිටින අයුරු ය. ඔහුගේ බිරිඳ ද ඝාතනයට ලක් විය.

"ගාසාවේ කිසි ම ආරක්‍ෂිත තැනක් නැහැ," ඔහු අල් ජසීරා සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක ඉංග්‍රීසි පරිවර්තනයක දී පැවසීය. තම ආරක්ෂාව සඳහා දකුණට යන ලෙස ඊශ්‍රායලය ප්‍රදේශවාසීන්ට කළ අනතුරු ඇඟවීමට අනුව, ඔහුගේ පවුල උතුරෙන් නික්ම ගිය බව ඔහු පැවසීය.

IDF ප්‍රතිචාරය

ලිපියේ හුවා දක්වා ඇති එක් එක් ප්‍රහාර සිදු වූ ස්ථාන සහ දින බීබීසීය IDF වෙත ලබා දුන්නේ ය.

මෙම ස්ථානවලට පහර දෙනු ලැබ ඇත්තේ IDF හමුදා විසින් ද යන්න සහ මෙම ප්‍රහාරවලට පෙර අනතුරු ඇඟවීම් නිකුත් කළේ ද යන්න අපි විමසා සිටියෙමු.

IDF එහි ප්‍රතිචාරයේ දී පැවසුවේ, "මෙම නිශ්චිත ස්ථාන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සැපයිය නොහැකි" බව ය.

"ගාසා තීරයේ සිවිල් වැසියන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා දකුණට යන ලෙසට දැනුම් දුන් නමුත් ගාසා තීරයේ සියලු ම ප්‍රදේශවල ත්‍රස්තවාදී ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව ද පැවසුවේයැ"යි එය පැවසීය.

ඔවුන් වැඩිදුරටත් මෙසේ සඳහන් කළේ ය: "ජාත්‍යන්තර නීතියට අනුකූලව, සිවිල් ජනතාවට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා IDF විසින් පූර්වාරක්ෂිත පියවර ගනු ලබනවා. මෙම පියවරයන්ට ප්‍රහාර එල්ල කිරීමට පෙර නිකුත් කරන අනතුරු ඇඟවීම් ද ඇතුළත්."