කාර්තිව් අනතුර: 'බස් එක මග නතර කරපු නිසා ළමයි ට්‍රැක්ටරේට නැගලා'

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේ මාවඩිපිල්ලේ ප්‍රදේශයේදී ළමුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් පෙරලීමෙන් ඊයේ (26) සිදුවූ අනතුරෙන් මියගිය ළමුන් දෙදෙනෙකුගේ සිරුරු අද (27) සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
ළමුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් පෙරලීමෙන් සිදුවූ අනතුරෙන් අතුරුදන් වූ පිරිස් සොයා නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් ද අතුරුදන් වූ පිරිස් සෙවීමේ මෙහෙයුම සඳහා එම ප්‍රදේශයට මේ වන විටත් යොමු කර ඇති බවයි.
බීබීසී සිංහල සේවය මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක එම්.ඒ.සි. මොහොමඩ් රියාස් පැවසුවේ නින්දවූර් ප්‍රදේශයේ මද්‍රසා පාසැලක ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.
'දෙවැනියට ආව ට්‍රැක්ටරේ අනතුරට ලක්වෙලා තියෙන්නේ'

ඡායාරූප මූලාශ්‍රය, Facebook
නින්දවූර් ප්‍රදේශයේ සිට සමන්තුරේ බලා ධාවනය වූ බස් රථයක එම සිසුන් පිරිස ගමන් කරමින් සිට තිබේ.
ගංවතුර තත්ත්වය නිසා මාවඩිපිල්ලේ ප්‍රදේශයේදී බසයේ සිටි මගීන් ඉන් බැස නැවත හැරී ගොස් ඇති බවත්; එහි සිටි මෙම ළමුන් පිරිස අසල තිබු ට්‍රැක්ටර් රථයකින් සමන්තුරේ බලා යාමේදී මෙම අනතුරට මුහුණ දී ඇති බවත් අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා පැවසුවේය.
"නින්දවූර් මද්‍රසා පාසැලේ ළමුන් පිරිසක් සමන්තුරේට යන බස් එකක නැගලා තියෙනවා ගෙවල්වලට යන්න. කාර්තිව් ප්‍රදේශයේ මාවඩිපිල්ලේ හරියේදී මාර්ගය වතුරෙන් යටවෙලා තිබ්බ නිසා බස් එකේ හිටපු අය එතැනින් බස්සලා තියෙනවා යන්න බැහැ කියලා.''
''ඊට පස්සේ බස් එකේ හිටපු පිරිස ට්‍රැක්ටර් දෙකකට නැගලා එන්න හදලා තියෙනවා. මුලින්ම ගියපු ට්‍රැක්ටර් එකේ අය කරදරයක් නැතිව ඇවිල්ලා තියෙනවා. දෙවැනියට ආව ට්‍රැක්ටර් එකේ අය තමයි මේ සිද්ධියට මුහුණ දීලා තියෙන්නේ.''
''ට්‍රැක්ටර් එක පෙරලෙන වෙලාවේ ළමයි 09 දෙනෙක් වගේ ම ඒකේ රියදුරු සහ රිය සහයක ඉදලා තියෙනවා. ළමයි 05 දෙනෙක් ලයිට් කණුවක එල්ලිලා ඉද්දි ප්‍රදේශවාසීන් බේර ගෙන තියෙනවා. දැනට ළමයි 04 දෙනෙක් එක්ක ට්‍රැක්ටර් රියදුරු සහ රිය සහයක අතුරුදන්. ඊයේ ඉදලා අපි මෙහෙයුම් සිදුකරනවා අතුරුදන් අයව හොයලා. දැන් නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ඇවිල්ලා මෙහෙයුම් කරගෙන යනවා." අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක එම්.ඒ.සී. මොහොමඩ් රියාස් බීබීසී සිංහල වෙත පැවසුවේය.
කාලගුණයෙන් රතු නිවේදනයක්

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (නොවැම්බර් 27) උදෑසන වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 120ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබෙන අතර එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත්වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ද, දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට වැසි තත්ත්වය පවතින අතර ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරුමැද , මධ්‍යම,බස්නාහිර, වයඹ, දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 ක පමණ තද සුළං පවතින අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී සිටියි.

රට පුරා පුද්ගලයින් ලක්ෂ 02ක් පීඩාවට
දිවයිනේ දිස්ත්‍රික්ක 17කට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 59,629කට අයත් පුද්ගලයින් 207,582 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එක් පුද්ගල මරණයක් ද වාර්තා වී තිබෙන බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
උතුරු පළාතේ වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම දිස්ත්‍රික්කයේ පවුල් 14,237 කට අයත් පුද්ගලයින් 49,560 දෙනෙකු පීඩාවට පත්ව තිබේ. මන්නාරම නගරය ආශ්‍රීතව ජිවත්වන පුද්ගලයින් ආපදා තත්ත්වය හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින බවද දිස්ත්‍රික් ආපදා කළමනකාරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.
මන්නාරම දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත ස්ථාන 25ක පවුල් 672 කට අයත් පුද්ගලයින් 2,264 දෙනෙකු රැදී සිටින බවත් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයා දීම සිදුකරන බව ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීහු පැවසූහ.
මන්නාරම දිස්ත්‍රික්කයට අනතුරුව උතුරු පළාතේ වැඩි ම පිරිසක් යාපනය දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින අතර, යාපනය දිස්ත්‍රික්කය තුළ පවුල් 2,706 කට අයත් පුද්ගලයින් 9,642 දෙනෙකු පීඩාවට ලක්ව සිටින බවත්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පහත්බිම්වල සිටි පවුල් 811කට අයත් පුද්ගලයින් පුද්ගලයින් 2,750 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් අදාළ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි.
කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කර ඇති අතර දිස්ත්‍රික්කයට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් එම දිස්ත්‍රික්කය තුළ විශාල පිරිසක් පීඩාවට පත්වීමේ අවදානමක් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 148කට අයත් පුද්ගලයින් 480 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පෙන්වා දෙයි.
උතුරු පළාතේ විශාලම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කොට ඇති බැවින් කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි ආපදා තත්වය ක්‍රමයෙන් ඉහළ යා හැකි බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අගවා තිබේ.
ආපදා තත්ත්වය ඉහළ ගියහොත් ඊට අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බව ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි.
උතුරු පළාතේ ප්‍රධාන මාර්ග වන මුලතිව් සිට පරන්තන් දක්වා දිවෙන මාර්ගය, යාපනය - නුවර මාර්ගය, වවුනියාව සිට මන්නාරම දක්වා මාර්ගය, යාපනය සිට ත්‍රිකුණාමලය දක්වා වන මාර්ගය, මන්නාරම සිට පුත්තලම දක්වා වන මාර්ගය, මන්නාරම සිට පුනරීන් හරහා යාපනය දක්වා වන මාර්ගයන් ස්ථාන කිහිපයකින් ජලයෙන් යට වී ඇති බව ද ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ නන්දිකඩාල් කලපූවේ ජලය පිරීම හේතුවෙන් කලපුවේ වැඩි ජලය සාගරයට මුදා හැරීමට නන්දිකඩාල් කලපුව ස්ථාන කිහිපයකින් කපා වැඩි ජලය සාගරයට මුදාහල බවයි.
උතුරු නැගෙනහිර පළාත්වල ධීවරයින්ට මුහුදු නොයන ලෙසට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව නිවේදනය කොට තිබේ.
උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයට ආසන්නයෙන් සුළි කුණාටුවේ කේන්ද්‍රය පවතින බැවින් අද (නොවැම්බර් 27) දිනයේ වැඩි වර්ෂාපතනයක් උතුරු පළාතට ඇතිවිය හැකි බැවින් ජලාශ ආශ්‍රිත පිරිස් දැඩි අවධානයෙන් පසුවන ලෙසට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Army
දිස්ත්‍රික්ක 10කට අනතුරු ඇඟවීමක්
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක බදුල්ල, ගාල්ල, මාතර, කලුතර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, රත්නපුරය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 10kකට නායයාම් අවදානම් නිවේදන නිකුත් කරනු ලැබ ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහවැලි ගඟ, දැදුරු ඔය, මුන්දෙනි ආරු ද්‍රෝණිය, මල්වතු ඔය සහ කල ද්‍රෝණිය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක අවදානමක් පහත් බිම්වල ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අනුරාධපුර, වව්නියා හා මන්නාරම, මොණරාගල, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි පහත්බිම් වලට ඉදිරි පැය 48 සඳහා මෙලෙස ගංවතුර ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.













