'කාලගුණය ඉදිරි පැය 12 තුළ තවත් අයහපත් අතට'

Weather

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය අද (නොවැම්බර් මස 26) දින උදෑසන වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 410ක් එපිටින් වූ ගිනිකොණ දෙසින් ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

මෙම පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ඉතා තද වැසි සහ තද සුළං අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

වැසි ඇති වන පළාත් ගැන දැනුම් දීමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

උතුරු, උතුරු මැද , මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 අතර තරමක තද සුළං ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මුලතිව්, වාට්ටුවකාල් පාලම ජලයෙන් යටවී ඇති අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, මුලතිව්, වාට්ටුවකාල් පාලම ජලයෙන් යටවී ඇති අයුරු

වැඩි ම වර්ෂාපතන අගයන් වාර්තා වූ ප්‍රදේශ

අද (නොවැම්බර් 26) පෙරවරු 6.00න් අවසන් වූ ගත වූ පැය 22ක කාලය තුළදී වැඩි ම වර්ෂාපතන අගය අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

ලාහුගල ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතන අගය මිලිමීටර් 210.5ක් වේ. මීට අමතරව දමන ප්‍රදේශයට මිලිමීටර් 197.5ක්, මහඔය මිලිමීටර් 196.5, පොලොන්නරුව මිලිමීටර් 148.8ක්, මහනුවර - කටුගස්තොට මිලිමීටර් 133.1ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ අයිත්මලේ ප්‍රදේශයට මිලිමීටර් 114.5ක් ලෙස වර්ෂාපතනයන් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

ගංවතුර අවදානම ගැන දැනුම් දීමක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්කවලට සහ මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාපතනයන් හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුලදී ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

මහවැලි ගඟ ද්‍රෝණියේ දිඹුලාගල, එච්චලම්පට්ටෙයි, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, කෝරලෙයිපත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, කම්පලක්කමම් හා වැලිකන්ද ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිතව සහ ඒ අවට පහත් බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාවට ඉදිරි පැය 48 ක කාලය තුළදී වැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.

මීට අමතරව මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්කවලට ලැබෙන වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් හැඩ ඔය ආශ්‍රිතව පහත් බිම්වල වෙසෙන ජනතාවට ද ගංවතුර තත්ත්වය ගැන අවධානයෙන් පසුවන්නැයි එම වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක සඳහන් වන්නේ අනුරාධපුරය රාජාංගනය ජලාශයේ වාන් දොරටු 08ක්, කුරුණෑගල දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 02ක්, වව්නියාව පේරාරු වාන් දොරටු 02ක්, නුවර පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 06ක් සහ බදුල්ල උල්හිටිය රත්කිද ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කර ඇති බවයි.

නන්දිකඩාල් කලපුව අසල මාර්ගයෙන් ජලයෙන් යටවීම නිසා මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනතුරු ඇඟවීම සඳහා සංඥා යොදවමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, නන්දිකඩාල් කලපුව අසල මාර්ගය ජලයෙන් යටවීම නිසා මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනතුරු ඇඟවීම සඳහා සංඥා යොදවමින්

පුද්ගලයින් 55,000ක් පීඩාවට

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ තද සුළං, ජල ගැලීම්, වැසි තත්ත්වයන්, ගස් කඩා වැටීම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක වෙසෙන පවුල් 15,670කට අයත් පුද්ගලයින් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ පවුල් 4216කට අයත් පුද්ගලයින් 15747 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි.

උතුරු පළාතේ වැඩි ම පිරිසක් මන්නාරම දිස්ත්‍රික්කයෙන් පීඩාවට පත්ව ඇති අතර, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 2110 කට අයත් පුද්ගලයින් 8011 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර,මන්නාරම නගරය ආශ්‍රීත පිරිසක් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින බවද දිස්ත්‍රික් ආපදා කළමනකාරණ මධ්‍යස්ථානය සඳහන් කළහ.

මන්නාරම දිස්ත්‍රික්කයේ තාවකාලික සහන කඳවුරු 12ක පවුල් 306 කට අයත් පුද්ගලයින් 1058 දෙනෙකු රැදී සිටින බවත්,ඔවුනට අවශ්‍ය පහසුකම් සපයාදීම සිදුකරන බව ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීහු පැවසූහ.

මන්නාරම දිස්ත්‍රික්කයට අනතුරුව උතුරු පළාතේ වැඩි ම පිරිසක් යාපනය දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින අතර, යාපනය දිස්ත්‍රික්කය තුළ පවුල් 1904කට අයත් පුද්ගලයින් 7025 දෙනෙකු පීඩාවට ලක්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළහ.

Oddusudan

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පහත්බිම්වල සිටි පවුල් 202කට අයත් පුද්ගලයින් පුද්ගලයින් 570 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්, පණ්ඩාරවන්නි ගම්මානයේ පහත්බිම්වල පදිංචි පුද්ගලයින් 137 දෙනෙකු ජල ගැලීම්වලින් පීඩාවට පත්ව ඇති අතර, පීඩාවට පත්වූවන් තාවකාලික සහන කඳවුරක් වෙත යොමුකොට ඇති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

උතුරු පළාතේ විශාලම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජල මට්ටම ශිඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් ජලාශය අවට පහත්බිම්වල වෙසෙන ජනතාවට ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙසට දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය නිවේදනය කර ඇත.

මුලතිව් නගරයට ඇතුළු වන ප්‍රධාන මාර්ගයක් වන මුලතිව් වට්ටුවාකල් පාලම, නන්දිකඩාල් කලපුව උතුරායාම හේතුවෙන් ජලයෙන් යටවී ඇති අතර, අදාළ මාර්ගය තාවකාලිකව වසා දැමීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 1

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය නොවැම්බර් 25 වන විට මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම අවපීඩන පද්ධතිය උදෑසන 02.30 පමණ වන විට මඩකලපුවට කි.මී. 500ක් පමණ දුරින් ගිනිකොණ දෙසින් පිහිටා ඇති බවත්, එය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ දැක්වුණේ, මෙම අවපීඩන පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකි බව ය.

බස්නාහිර, වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක

ඡායාරූප මූලාශ්‍රය, Met Dept - Sri Lanka

ඡායාරූප ශීර්ෂ වැකිය, බස්නාහිර, වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

ගංගාද්‍රෝණි 12ක් සඳහා ගංවතුර අවදානම ගැන දැනුම්දීමක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත ඉතා තද වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

පසුගිය වර්ෂවල ගංගාවල හැසීරීම් තත්ත්වය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන සලකා බලා මෙම ගංවතුර අවදානම් පූර්ව නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත.

ඒ අනුව, මල්වතු ඔය, කලා ඔය, කනගරායන් ආරු, පරංගි ආරු, මා ඔය, යාන් ඔය, මහවැලි ගඟ, මාදුරු ඔය, මුන්දෙනි ආරු, ගල් ඔය, හැඩ ඔය සහ විලා ඔය ආශ්‍රිතව වාසය කරන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post, 2

දිස්ත්‍රික්ක 07කට නාය යාමේ අනතුරු ඇඟවීම්

පවතින වැසි තත්ත්වය සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් පිළිබද පූර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, ගත වූ පැය 24 ඇතුළත වාර්තා වූ වර්ෂාපතනයන් සැලකිල්ලට ගනිමින් බදුල්ල, ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක වෙසෙන ජනතාව නායයාම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් ආදියට ගොදුරු වීමෙන් වැළකීමට කල්පනාකාරී වන ලෙස උපදෙස් දී ඇත.