ඇෆ්ගනිස්ථානය: ක්‍රිකට් ආක්‍රමණය කළ විස්මිත නැගිටීම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, සෝයා මටීන්
- Role, බීබීසී, දිල්ලි
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානයේ අපේක්ෂාසහගත ආගමනයට හිටපු ලෝක ශූරයන් වන එංගලන්තයට, පකිස්ථානයට සහ ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ ජයග්‍රහණ ඇතුළත් වේ. අඟහරුවාදා ලැබූ පරාජය ඔවුන්ගේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අපේක්ෂා බිඳ දැමුව ද, කිසිවෙකු නොපිළිගන්නා රජයක් ඇති යුද්ධයෙන් හෙම්බත් වූ රටක ක්‍රීඩකයින් දැක්වූ අතිශය ආකර්ෂණීය ක්‍රීඩාශීලීත්වය, ක්‍රිකට් ලෝකයේ අවධානය උදුරා ගැනීමටත්, ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කිරීමටත් සමත් විය.
අඟහරුවාදා (නොවැම්බර් 7) මුම්බායිහි වන්ඛඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී, තවත් පෙළහරක් පෑමට ඇෆ්ගනිස්ථානය සූදානමින් සිටියේය.
කණ්ඩායමේ සාමාජිකයින් 15 දෙනා අතරින් වයස අවුරුදු 25ට අඩු ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත, සිය තුන් වන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම, ඔස්ට්‍රේලියාව පරාජය අබියසට රැගෙන ගොස් සිටියේය. 292ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි පස් වරක් ලෝක ශූරයින් වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 91ට කඩුලු 7ක් ලෙස අසීරු තත්ත්වයට පත්කිරීමට ඔවුන්ට හැකි විය.
එහෙත්, එතැන් සිට ප්‍රාතිහාර්යය ප්‍රතිවාදියා අතට පත්විය. මස්පිඩු වේදනාව යටපත් කර ගනිමින් අභියෝග හමුවේ නොසැලුණු ඔස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වෙල්, සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් නොදැවී රැස් කළ ද්විත්ව ශතකය, නිර්භීත පිතිහරඹයේ සහ මානුෂීය දරා ගැනීමේ විශිෂ්ටත්වය කැටි කළ අවස්ථාවක් විය.
"ඇත්තට ම කනගාටුයි. ක්‍රිකට් කියන්නේ විනෝදාත්මක ක්‍රීඩාවක්, ඒක අදහගන්න බැරි වුණා," තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇෆ්ගනිස්ථාන නායක හෂ්මතුල්ලා ෂහිඩි පැවසීය.
කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානයේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නැගීම එම කණ්ඩායමට මෙන් ම ඔවුන්ගේ ක්‍රිකට් ලෝලීන්ට ද අදහාගත නොහැකි වී තිබේ.
2015 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමෙන් පසු 2023 වසරට පෙර පැවති තරගාවලි දෙකෙන් ම ඇෆ්ගනිස්ථානයට හිමි වූයේ, එක් ජයග්‍රහණයක් පමණි. සරණාගතයින් ලෙස සිය පළමු තරගයට මුහුණ දෙන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද සමගින් ඔවුන් වත්මන් ලෝක ශූරයින් වන එංගලන්තය සහ පකිස්ථානය ඇතුළු කණ්ඩායම් 4ක් හමුවේ ජය ලබා තිබේ.
"ඔවුන්ගේ දියුණුව විශිෂ්ටයි. සුදුසුකම් ලැබීමේ තරගාවලි වැනි පහළ ම තැන ඉඳලා ලෝක කුසලානයක අවසන් පූර්ව වටය දක්වා එන්න, වෙන කණ්ඩායමක් අවුරුදු 60-70ක් ගත කරද්දී, ඇෆ්ගනිස්ථානය අවුරුදු 25න් ඒක කළා," ESPNcricinfo වෙබ් අඩවියේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ලේඛකයෙකු වන සිද්ධාර්ත් මොන්ගා බීබීසී වෙත පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ක්‍රීඩා කරන්නේ, අතිශයින් අසාමාන්‍ය වාතාවරණයක් යටතේය. - ඔවුන් භාවිත කරන ජාතික ධජය සහ ජාතික ගීය 2021 වසරේ තලිබාන්වරුන් විසින් අල්ලා ගන්නා ලද පෙර පැවති ඇෆ්ගනිස්ථාන ජනරජයට අයත් ඒවාය.
එහෙත්, මේ වන විට බලයේ සිටින තලිබාන් රජය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිගන්නා අතර, ඔවුන්ට ගෞරවය ද ලබා දෙයි.
"ඔවුන් (තලිබාන්වරුන්) අපට නිදහසක් දීලා තියෙනවා. පහුගිය අවුරුද්දේ අපි මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දීලා හිටිය වෙලාවේ ඔවුන් අපට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2ක් දුන්නා," ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී නසීබ් ඛාන් බීබීසී වෙත පැවසීය.
අභියෝග පසෙක ලා, ඇෆ්ගනිස්ථානය ලෝක කුසලාන තරගාවලියේදී පෙළහර පෑමට සමත් වූහ. ඒ, ඉන්දීය විශිෂ්ට පිතිකරු සචින් තෙන්දුල්කාර්ගේ දිරිගැන්වීමේ අදහස් දැක්වීමෙන් පැය කිහිපයකට පසු 21 හැවිරිදි ඊබ්‍රාහිම් සඩ්‍රාන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ශතකයක් රැස් කළ පළමු ඇෆ්ගන් ක්‍රීඩකයා බවට පත්වීමෙනි. එසේත් නැත්නම්, ඔවුන් තරගාවලිය ආරම්භයේදී ම එංගලන්තය පරාජය කිරීමෙන් විශාල කැළඹීමක් ඇති වූ අවස්ථාවේය.
සුරංගනා කතාවක් බඳු එම කණ්ඩායමේ නැගී සිටීම තුළින්, ඔවුන් තවදුරටත්, දුර්වල කණ්ඩායමක් හෝ වාසනාවට පමණක් ජය ගන්නා කණ්ඩායමක් නොවන බව තහවුරු වූ බව ඇෆ්ගනිස්ථානයේ හිටපු ක්‍රීඩකයෙකු සහ වත්මන් සහය පුහුණුකරුවෙකු වන රායීස් අහමඩ්සායි පවසයි.
"ඇෆ්ගනිස්ථාන වැසියන් ක්‍රීඩාවට දක්වන ආදරය දේවත්වයට ගොඩක් සමීපයි. ඒ ආදරය අපට මග පෙන්වනවා," ඔහු බීබීසී වෙත පැවසීය.
මොන්ගා පවසන්නේ, 2001 වසරේදී කණ්ඩායම ආරම්භ කරන ලද දා සිට ඇෆ්ගනිස්ථානයට විවිධ අවධීන්හිදී ප්‍රතිවාදීන් සීමා කළ හැකි ආකර්ෂණීය පන්දු යැවීමේ බලඇණියක් පැවති බවය. එහෙත්, ලොකු ම දියුණුව ඇත්තේ ඔවුන්ගේ පිතිකරණයේය.
ඇෆ්ගනිස්ථානයේ පිතිකරුවන් ඉවසිලිවන්ත සහ පරිණතභාවයක් පෙන්නුම් කර තිබේ. ඔවුහු සෙමෙන් සහ ඉවසීමෙන් ඉනිම ගොඩනගමින් ඉලක්ක හඹා ගියහ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
පකිස්ථානයට එරෙහි තරගය සලකා බැලුවහොත් ලකුණු 282ක තරමක් අසීරු ලකුණු සංඛ්‍යාවක් හඹා ගියේ ප්‍රබල පන්දු යැවීමේ අභියෝගයකට මුහුණ දෙමිනි. වේගවත් ආරම්භයකින් පසුව, ෂහිඩි ඉනිමේ මැද භාගයේදී සන්සුන්ව ක්‍රීඩා කළේ අනවශ්‍ය අවදානමක් නොගෙන ලකුණු වේගය පවත්වා ගැනීමට වග බලා ගනිමිනි. ඇෆ්ගනිස්ථානය තරගය ජය ගත්තේ, කඩුලු 8කිනි.
"මෙතන තියෙන සුන්දර දේ තමයි, තරු මට්ටමේ ක්‍රීඩකයින් තුන් හතර දෙනෙක් හොයා ගන්න බැරි, හැමෝම තමන්ගේ දායකත්වය ලබා දෙන කණ්ඩායමක් මේක. ඒ වගේ ම, ඔවුන් ජයග්‍රහණය කළේ, අහම්බෙන් නෙවෙයි. ඔවුන් ඉවසිල්ලෙන් ලකුණු හඹා ගියා," මොංගා පවසයි.
මෙම දියුණුව අත් කර ගත්තේ, දශක කිහිපයක වෙහෙස වී වැඩ කිරීම, දියුණු දේශීය ක්‍රිකට් ව්‍යුහය හරහා ලැබෙන සහය සහ ජාත්‍යන්තර තරග වැඩි වීම ආදී කරුණු හේතුවෙනි.
පාසල් මට්ටමේ සිට T20 තරගාවලි දක්වා විවිධ මට්ටම්වලදී දක්ෂයින් තෝරා ගැනීමට පළාත් 34ක් පුරා පැතිරුණු ක්‍රිකට් සමාජ දහස් ගණනක් ඇෆ්ගනිස්ථානයේ පවතී. දේශීය තරග පවත්වනු ලබන්නේ, කාබුල්, ජලාලාබාද් සහ ඛෝස්ට් යන නගරවල පිහිටි ක්‍රීඩාංගණ 5ක සහ තවත් කුඩා ක්‍රීඩාංගණ 15කය. වඩාත් ජනප්‍රිය දේශීය තරගාවලිය වන්නේ, කාබුල්හි පැවැත්වෙන කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් යුත් ෂ්පගීසා (Shpageeza) තරගාවලියයි. ඊට නරඹන්නන්ගේ විශාල සහභාගිත්වයක් පවතී.
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 6 දෙනෙක් පමණ පකිස්ථානය, බංග්ලාදේශය සහ කැරිබියන් යන රටවල කුඩා පරිමාණයේ ජාත්‍යන්තර T20 තරගාවලීන්හි ක්‍රීඩා කරති.
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නසීබ් ඛාන් පවසන්නේ, ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ පහසුකම් දියුණු වීමෙන් කණ්ඩායමට විශාල ප්‍රතිලාභයක් ලැබී ඇති බවය.
ක්‍රිකට් ක්‍රීඩකයින් මීට පෙර බොහෝ විට ඉන්දියාවේ හෝ ඩුබායිහි වාසය කරමින් පුහුණුවීම් කළ කාලයේ මෙන් නොව, ඔවුන් සිය නිවෙස්වල වාසය කරමින් "උසස් තත්ත්වයේ" පහසුකම් යටතේ පුහුණුව ලබන බව, ඔහු පවසයි. "ජාත්‍යන්තර තරග නැත්නම්, සෑම ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු ම අපේ දේශීය තරගාවලිවලට සහභාගි විය යුතුයි."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නැවුම්, තරුණ දක්ෂයින් රැසක් ක්‍රිකට් සමාජ ජාලය තුළින් බිහි වන බව අහමඩ්සායි සඳහන් කළේය.
එහෙයින්, 38 හැවිරිදි ක්‍රිකට් දැවැන්තයෙකු වන මොහොමඩ් නබී සමග 18 හැවිරිදි ලාබාලතම ක්‍රීඩකයෙකු වන නූර් අහමඩ් වැනි ක්‍රීඩකයෝ ක්‍රීඩා කරති.
කණ්ඩායමේ නැගීම ඇෆ්ගනිස්ථානය ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන රටක් ලෙස කෙතරම් දුරක් පැමිණ ඇත් ද යන්න පිළිබඳ ලකුණක් බව අහමඩ්සායි පවසයි.
"අපි පිටුවහල් වෙලා ඉන්නකොට ක්‍රිකට් ගැන ඉගෙන ගත්තා. අපේ කණ්ඩායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් හැර වෙන කිසි ම දෙයක් තිබුණෙ නෑ. ඒත්, මේ පරම්පරාව ඇෆ්ගනිස්ථානයේ නිෂ්පාදනයක්. අපි ඔවුන්ව පුහුණු කළේ එහෙදියි."
ඉන්දියාවේ සහ පකිස්ථානයේ මෙන් නොව, ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය ඇති වූයේ මෑතකදීය. එහි මුල් ම ක්‍රීඩකයින් ක්‍රිකට් ක්‍රීඩාව ඉගෙන ගත්තේ, 1979 වසරේ සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමෙන් පසු ඇෆ්ගනිස්ථාන වැසියන් පකිස්ථානයේ සරණාගතයින් ලෙස රැඳී සිටියදීය.
ඔවුන් යළි ඇෆ්ගනිස්ථානයට පැමිණියේ එම ක්‍රීඩාව ද රැගෙනය. එහෙත්, එය පහසු කටයුත්තක් නොවීය. එම කණ්ඩායම ක්‍රීඩා කළේ, වසර ගණනාවක් පැවති යුද්ධය, බෝම්බ පිපිරීම් සහ ඔවුන්ගේ ආදරණීයයන් පැහැර ගැනීම්වලට මුහුණ පාමිනි.
"බය අපෙන් අයින් වුණේ නැහැ. ජීවිත වගේ ම ක්‍රීඩාවේ අනාගතයත් තිබුණේ වැට උඩ," අහමඩ්සායි පවසයි.
1990දී තලිබාන්වරුන් පළමු වරට බලයට පත්වීමෙන් පසුව ද, පිරිමි ක්‍රිකට් ක්‍රීඩාව නතර කළේ නැත. - වෙනත් ක්‍රීඩා සමග සන්සන්දනය කිරීමේදී ක්‍රිකට් ක්‍රීඩකයෝ "වඩාත් ආචාරශීලී ඇඳුමක් භාවිත කළා," මොංගා පවසයි.
ක්‍රීඩකයන් සිය රට තුළ කීර්තිමත් පුද්ගලයන් බවට පත් වී ඇති වර්තමානයේ, ප්‍රචාරක පුවරු මත ඔවුන්ගේ පෝස්ටර් සහ පිටියේ ඔවුන්ගේ දක්‍ෂතා, කවදා හෝ විශිෂ්ට පා දඟ පන්දු යවන රෂීඩ් ඛාන් මෙන් පන්දු යැවීමට සිහින දකින අහමඩ්සායිගේ පුත්‍රයා ද ඇතුළු තරුණ ඇෆ්ගනිස්ථානුවන්ගේ සිත් තුළ තැන්පත් වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
අනාගතය පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ කණ්ඩායමේ දියුණුව සම්බන්ධයෙන් දුර්ලභ සතුටක් ලබන ඉන්දියාවේ සිටින දහස් ගණන් ඇෆ්ගනිස්ථානුවන්ට මෙම හැඟීම වඩාත් සුවිශේෂී වනු ඇත.
"අපේ වගේ හෙම්බත් වුණ රටකට වුණත්, ක්‍රිකට් තියෙන තැන බලාපොරොත්තුවක් ඇති වෙනවා," වසර තුනකට පෙර ඉන්දියාවට සංක්‍රමණය වූ ෆර්ෂිඩ් මොහොමඩ් පවසයි.
ළමා අවධියේදී ක්‍රිකට් පිළිබඳව කිසිවක් නොදත් මොහොමඩ් මෙන් නොව, ඔහුගේ 16 හැවිරිදි පුත්‍රයා එම ක්‍රීඩාව ගැන මේ වන විටත් සියල්ල දනී.
"ඇෆ්ගනිස්ථානය ගැන කතා කරනකොට, මගේ දරුවන් දන්නේ එහි විනාශය සහ දුක ගැන විතරයි. ලෝක කුසලානය අපේ බලාපොරොත්තුවේ කිරණයි," මොහොමඩ් පවසයි.
කණ්ඩායමට ඊළඟට කුමක් සිදු වේ ද යන්න පැවසීම අසීරුය. පැහැදිලිව ම, ඔවුන්ට ජාත්‍යන්තර තරගාවලිවලට ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. එහෙත්, කාන්තා කණ්ඩායමක් නොමැති වීම සහ ක්‍රිකට් ක්‍රීඩාව කාන්තාවන් අතර ප්‍රවර්ධනය කිරීමට සැලැස්මක් නොමැති වීම හේතුවෙන් බොහෝ රටවල ක්‍රිකට් පාලක මණ්ඩල ඔවුන් සමග ක්‍රීඩා කිරීමට ඉදිරිපත් නොවනු ඇති බව මොංගා පවසයි.
තලිබාන් පාලනය යටතේ කාන්තා අයිතීන් මර්දනය කිරීම ලෝකයේ දරුණුතම මර්දනයකි. එරට කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂාව පතා ඔස්ට්‍රේලියාවට පළා ගියේය.
"ඒත්, එක දෙයක් ස්ථිරයි, ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාවට නිවැරදි අමුද්‍රව්‍ය ලැබී තිබෙනවා. ක්‍රිකට්වලට ආදරය කරන තරුණ ජනගහනයක් ඉන්නවා. ක්‍රීඩාවෙන් ගොඩ නැගෙන ජීවිතයක් තියෙනවා," මොංගා පවසයි.
අඟහරුවාදා (නොවැම්බර් 7) තරගයෙන් පසුව, ඇෆ්ගනිස්ථානය ප්‍රසාද ලකුණු 8 ක් ලබා ඇත. ඔවුන්ට දකුණු අප්‍රිකාව සමග තවත් එක් තරගයක් අද (නොවැම්බර් 10 වැනිදා) පැවැත්වේ.
"කණ්ඩායම ගැන මම ආඩම්බර වෙනවා... දකුණු අප්‍රිකාවට එරෙහිව වඩාත් ශක්තිමත් විදිහට අපේ උපරිමය කරන්න උත්සහ කරනවා," නායක ෂහිඩි පවසා තිබේ.
පැහැදිලිව ම, ඇෆ්ගනිස්ථානය තවත් ප්‍රාතිහාර්යයක් වෙනුවෙන් බලාපොරොත්තු තබා තිබේ - එහෙත්, ප්‍රවේශම් විය යුතු බව දකුණු අප්‍රිකාව දනී. ඕනෑ ම දෙයක් සිදුවිය හැකි බව දුර්වලයන් බව කී ඇෆ්ගනිස්ථානය මේ වන විට ඔප්පු කර තිබේ.












