ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජලයට වැටුණු දරුවා බේරා ගැනීමට ගත් උත්සහයේදී මව, පියා සහ දරුවන් සිව් දෙනාගේ ම ජීවිත අහිමි වූ ඛේදවාචකය
- Author, ෂාසාඩ් මලික්
- Role, බීබීසී උර්දු
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ඇති වූ ගංවතුර තත්ත්වය ආවරණය කිරීම සඳහා අප ඉස්ලාමාබාද් සිට ජීටී පාර ඔස්සේ වසීරාබාද් වෙත ගිය ගමන එතරම් අපහසු නොවිණි. නමුත් පාලමක් තරණය කර වසීරාබාද්-සියල්කොට් මාර්ගයට පිවිසුණු විගස ම දුටු දර්ශනයෙන් ජල ගැලීම් නිසා ඇති වූ විනාශය පැහැදිලි විය.
මෙම අධිවේගී මාර්ගය වටා ඇති ගොඩනැගිලිවල අඩි 8ක් දක්වා උසට ජලය හේතුවෙන් ඇති වුණු සලකුණු දක්නට ලැබිණි. වසීරාබාද් නගරය තුළ යම් දුරකින්, සලකුණු අඩි පහක් දක්වා උසකින් යුක්ත විය.
නගරයේ ගංවතුර තත්ත්වය යම්තාක් දුරකට පහව ගොස් තිබුණත් වීදිවල සහ නිවාසවල කුණු ගොඩ ගැසී තිබිණි.
මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන, අපි පළමුව මුහම්මද් ඉම්රාන් නමැති තරුණයෙකු සිය නිවසේ සිට පියවර කිහිපයක් දුරින් පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සමග ජල ගැලීම්වලට හසු වී මිය ගිය සියල්කොට්හි මජ්රා කලාන් තෙහෙසිල් වෙත යාමට තීරණය කළෙමු.
මජ්රා කලාන් වෙත යාමට මාර්ග තුනකි. සියල්කොට් ගුවන්තොටුපළට යන මාර්ගය වඩා හොඳ වේ යැයි අපි සිතුවෙමු. නමුත් අපි ගුවන් තොටුපළ පසු කර මදක් ඉදිරියට යන විට ගලා ආ ජල ප්‍රවාහය ඉතා වේගවත් වූ බැවින් වාහනයෙන් ඒ හරහා ගමන් කිරීම අපහසු විය.
ඒ වෙත යා හැකි තවත් මාර්ගයක් වූයේ සම්බරීයල් නමැති ගම්මානය හරහා වැටී තිබිණි මාර්ගය යි. එය ද ජලයෙන් යට වී ඇති නමුත් ගැඹුර තරමක් අඩු බවට පැවසිණි.
මෙම මාර්ගයේ පැයක පමණ කාලයක් ඇවිද ගිය අපි ඉම්රාන්ගේ නිවස වෙත ළඟා වුණෙමු. සාමාන්‍ය තත්ත්වයන් යටතේ, ප්‍රධාන මාර්ගයේ සිට මජ්රා කලාන් දක්වා ගමනට ගත වන්නේ මිනිත්තු දහයකට වඩා අඩු කාලයකි.
ජල ගැලීම් හේතුවෙන් මග දිගේ බොහෝ ගොඩනැගිලි කඩා වැටී තිබිණි. අවට ගම්මානවල පාසල් ගොඩනැගිලිවලට ද හානි වී තිබිණි.
අප ඉම්රාන්ගේ නිවසට යන විට, ඔහුගේ පියාට සහ මාමාට සිය ශෝකය ප්‍රකාශ කිරීමස සඳහා ගම්වාසීහු පැමිණෙමින් සිටියහ.
ඉම්රාන්ගේ මාමා වන අර්ෂාඩ් මහමුද් අප හා පැවසුවේ, ඉම්රාන් ඔහුගේ මහගෙදර සිට මදක් දුරින් නව නිවසක් ඉදිකර ඇති බවත්, ඔහුගේ පියා ද එහි වාසය කළ බවත් ය.
අගෝස්තු 28 වන දින තද වැසි ඇද හැළුණු බව ඔහු පවසයි. "චෙනාබ්වල තිබුණ අධික ජල ගැලීම් තත්ත්වය නිසා ගමේ මුස්ලිම් පල්ලියෙන් ආනතුරු අඟවමින් නිවේදන නිකුත් කරපු නිසා ඉම්රාන් එයාගේ බිරිඳ සහ දරුවන්ගෙන් හතර දෙනෙක් අරගෙන තරමක් උස් තැනක පිහිටලා තිබුණු එයාගේ මහ ගෙදරට යන්න පිටත් උණා."
"වතුර මට්ටම හරි ඉක්මනින් ඉහළ යන නිසා ගෙදරින් එළියට යන්න එපා," යැයි පියා තම පුතාට පැවසූ බව අර්ෂාඩ් මහමුද් පවසයි. එයට ඉම්රාන් පිළිතුරු දුන්නේ, "තාත්තේ! පාරවල් දෙකක් එහායින්නේ ගෙදර තියෙන්නේ. මම ඉක්මනට එතනට එන්නම්," යනුවෙනි.
ඉම්රාන් තම දරුවන් දෙදෙනෙකු වඩාගෙන සිටි අතර ඔහුගේ බිරිඳ එක් දරුවෙකු උරහිස මත තබාගෙන ගමන් කළා ය. වැඩිමහල් දරුවා ඉම්රාන් සමග ඇවිදිමින් සිටියේ ය. බාල පුතු සිටියේ ඉම්රාන්ගේ පියා සමග ය.
වීදියේ ජලය අඩි තුනකට වඩා ඉහළ ගොස් තිබිණි. එක වර ම ඉම්රාන්ගේ පුතුගේ පය ලිස්සා ගියේ ය. ඔහු බේරා ගැනීමට ඉම්රාන් ගිය නමුත් දෙදෙනා ම ජලයේ ගසාගෙන ගොස් තිබිණි.
ඉම්රාන්ගේ උරහිස මත ගමන් කළ ඔහුගේ දියණිය ද වතුරට වැටිණි. ඉම්රාන්ගේ බිරිඳ තම සැමියා සහ දරුවන් බේරා ගැනීමට ඉදිරියට ගිය විට, ඇයගේ උරහිස මත සිටි තුන් හැවිරිදි දැරිය ද ජලයට වැටිණි.
"තත්ත්වය හරි ඉක්මනට වෙනස් වුණා. පොඩි වේලාවකින් වතුර අඩි තුනේ ඉඳන් අඩි පහක් වෙනකම් ඉහළ ගියා," අර්ෂාඩ් මහමුද් පැවසීය.
ඉම්රාන්ගේ පියා උදව් ඉල්ලා කෑ ගැසීමට පටන් ගත්තේ ය. වීදියේ සිටි තරුණයෙකු වතුරට පැන තිබුණේ ඔවුන් මුදා ගැනීමේ අරමුණිනි. නමුත් සුළු මොහොතකින් එම තරුණයා ද නොපෙනී ගියේ ය.
මෙම තරුණයාට ඉම්රාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් බේරා ගැනීමට නොහැකි විය. නමුත් වාසනාවකට මෙන් ඔහුගේ අත මාර්ගයේ තිබූ ගසක පැටළුණු අතර, ඔහු එහි එල්ලී දිවි ගලවා ගත්තේ ය. පසුව ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් ඔහුව බේරා ගැනිණි.
අර්ෂාඩ් මහමුද්ට අනුව, ජලය බැස ගොස් පැය කිහිපයකට පසු ඉම්රාන්ගේ සහ ඔහුගේ බිරිඳගේ මළ සිරුරු සොයා ගත් අතර, පසු දා මිණිබිරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගන්නා ලදී. "දවස් දෙකකට පස්සේ එක දරුවෙකුගේ මළ සිරුරක් හමු වුණා. අනෙක් මිණිබිරියගේ මළ සිරුර තාම හොයාගෙන නැහැ."
අර්ෂාඩ් මහමුද් පවසන්නේ, ඉම්රාන්ගේ පවුලේ දැන් ජීවතුන් අතර සිටින්නේ එක් පුතෙකු පමණක් බව ය. "මේ පස් හැවිරිදි දරුවා දිනකට කිහිප වතාවක් ම ආච්චි සහ සීයාගෙන් අහනවා අම්මලා සහ සහෝදර සහෝදරියන් කොහෙද සහ එයාලා තාමත් ගෙදර ආවේ නැත්තේ ඇයි ද කියලා."
නමුත් මෙම දරුවාගේ ප්‍රශ්න හමුවේ ඔවුන් නිරුත්තර ය.