ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
උත්තරාඛණ්ඩ් උමඟ කඩා වැටීම: දින 17කට පසු සිරවී සිටි කම්කරුවන් 41 දෙනා මුදාගැනෙයි
නොවැම්බර් 12 වැනිදා සිට උතුරු ඉන්දියාවේ උත්තරාඛණ්ඩ් ප්‍රාන්තයේ උමං මාර්ගයක සිරවී සිටි කම්කරුවන් 41 දෙනා ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් මුදාගෙන තිබේ.
දින 17ක් තිස්සේ උමඟ තුළ සිරවී සිටි මේ කම්කරුවන් ඊයේ රාත්‍රියේ (නොවැ 28) මුදාගනු ලැබුණි.
ඒ අසල සිදුවූ නායයෑමක් හේතුවෙන් සුන්බුන් රැසක් කඩා වැටීමෙන් පසු, මේ උමඟ ඉදිකරමින් සිටි කම්කරුවන් එය තුළ සිරවිය.
කඩා වැටුණු උමඟේ සුන්බුන් හරහා ඇතුළු කරන ලද සෙන්ටිමීටර 90ක විෂ්කම්භයෙන් යුත් පයිප්පයක් හරහා මේ කම්කරුවන් එක් පුද්ගලයා බැගින් මුදාගනු ලැබූ අතර, සෞඛ්‍ය පරීක්ෂාවන් සඳහා රෝහලට රැගෙන යනු ලැබුණි. නමුත් කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.
ලෝහ දඬු කැපීමට සිදුවීම මුදා ගැනීමේ ප්‍රයත්නයන්ට නැවත නැවතත් බාධා කළ අතර, ලිහිල් පස සහ දැඩි පාෂාණ විසින් කැණීමේ ප්‍රගතිය මන්දගාමීකර තිබුණි.
පසුගිය සිකුරාදා (නොවැ 24), පැය කිහිපයක් තුළ කම්කරුවන් පිටතට ගැනෙනු ඇතැ යි නිලධාරීන් කියා සිටිය ද, අනතුරුව විශාල විදුම් යන්ත්‍රයක් උමඟ තුළ දී කැඩී ගියේ ය.
මේ කම්කරුවන්ට ඔක්සිජන්, ආහාර සහ ජලය වෙනම පටු නලයක් හරහා සපයනු ලැබුණි.
මෙම අනතුර සිදුවූයේ ඉන්දීය වේලාවෙන් ඉරිදා අලුයම 5:00ට පමණ වන අතර සිල්ක්‍යාරා නමැති මෙම උමග කඩා වැටී ඇත්තේ, එහි ආරම්භක කෙලවරේ සිට මීටර් 200ක් පමණ දුරින් කම්කරුවන් ඒ තුළ සිටියදී බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී අර්පන් යදුවන්ෂි බීබීසී හින්දි වෙත පැවසීය.
උත්තර්කාෂි දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සිල්ක්‍යාරා උමං මාර්ගය උත්තරාඛණ්ඩ්හි තිබෙන සුප්‍රසිද්ධ වන්දනා ස්ථාන සමග පවතින සම්බන්ධතා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ෆෙඩරල් රජය දියත් කළ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කොටසකි. හිමාල කඳු වැටිය සහ ග්ලැසියර කිහිපයක් පිහිටා ඇති කඳුකර ප්‍රාන්තයක් වන මෙය හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ස්ථාන කිහිපයක නිවහන වේ.
ඒ ආසන්නයේ සිදු වූ නාය යාමක් හේතුවෙන් උමග මතට විශාල ප්‍රමාණයේ සුන්බුන් පතිත වීම එය කඩාවැටීමට හේතු විය. ගොඩගැසුණු සුන්බුන් හේතුවෙන් සේවකයන් වෙත ලබා දුන් ඔක්සිජන් සැපයුම ඇනහිටිණි.
බලධාරීන් පැවසුවේ, ඉරිදා රාත්‍රියේ වෝකි ටෝකි භාවිත කරමින් සිරවී සිටින පුද්ගලයින් සමග සන්නිවේදනය කිරීමට හැකි වූ බව ය.
ඉදිකිරීම් කටයුතු සඳහා උමං මාර්ගයට ජලය සැපයීමට එළන ලද නළ මාර්ගයක් මේ වන විට සේවකයන්ට ඔක්සිජන්, ආහාර සහ ජලය සැපයීම සඳහා යොදා ගන්නා බව ද ඔවුහු පැවසූහ.
ගලවා ගැනීමේ නිලධාරීහු කැණීම් යන්ත්‍ර සහ අනෙකුත් බර යන්ත්‍ර යොදා ගනිමින් සුන්බුන් ඉවත් කරමින් සිටිති. අනතුර සිදුවූ ස්ථානයේ වීඩියෝවල දැක්වෙන්නේ, ගලවා ගැනීමේ නිලධාරීන්ගේ උපදෙස් පරිදි ජේසීබී යන්ත්‍ර මගින් මඩ සහ ගල් ඉවත් කරන අයුරු ය.
"අපි උමග ඇතුළට මීටර් 15ක් [අඩි 49ක්] පමණ ගමන් කර තිබෙනවා. අපි පැත්තකින් තමයි උමග ඇතුළට යන්නේ," උත්තර්කාෂි නගරයේ උසස් පොලිස් නිලධාරියෙකු වන ප්‍රශාන්ත් කුමාර් සඳුදා ඒඑන්අයි ප්‍රවෘත්ති ඒජන්සිය වෙත පැවසීය.
සුන්බුන් ඉවත් කිරීමට කාලය ගතවන බැවින් අඟහරුවාදා රාත්‍රියේ (නොවැම්බර් 14) හෝ බදාදා (නොවැම්බර් 14) වන විට කම්කරුවන් බේරා ගැනීමට බලාපොරොත්තු වන බව බලධාරීහු පවසති.
ජාතික සහ ප්‍රාන්ත ආපදා සහන කණ්ඩායම්, කම්කරුවන් බේරා ගැනීම සඳහා එක්ව කටයුතු කරන අතර එම මෙහෙයුම් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය පුෂ්කර් සිං ධාමි විසින් අධීක්ෂණය කරනු ලැබේ.
ධාමි පවසා ඇත්තේ, තමා අගමැති නරේන්ද්‍ර මෝදිට කතා කළ බව ත්, ඔහු කම්කරුවන් බේරා ගැනීමට හැකි සෑම උපකාරයක් ම ලබා දුන් බව ත් ය.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කම්කරුවෙකු වන රාම් සුන්දර් සිං බීබීසී හින්දි සේවයට පැවසුවේ, තමා සහ රාත්‍රී වැඩ මුරයේ සිටි සගයන් කිහිප දෙනෙකු උදෑසන වැසිකිළිය යාම සඳහා උමගෙන් පිටව ගිය බව ය. නැවත එම ස්ථානයට පැමිණි විට ඔවුන් දැක ඇත්තේ, උමග කඩා වැටෙන ආකාරය යි.
උමග තුළ සිරවී සිටින බොහෝ කම්කරුවෝ උත්තර් ප්‍රදේශ්, බිහාර් සහ බටහිර බෙංගාලය වැනි වෙනත් ප්‍රාන්තවලින් පැමිණි අය වෙති. [ඔවුන් මුදා ගන්නා තුරු] එළියේ නොඉවසිල්ලෙන් බලා සිටින ඔවුන්ගේ සගයන් බීබීසී හින්දි වෙත පැවසුවේ, ඉරිදා (නොවැම්බර් 12) ඔවුන් සියලු දෙනා හින්දූන්ගේ ආලෝකයේ උත්සවය වන දිවාලි උත්සවය එක්ව සැමරීමට බලා සිටි බව ය.