ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දිදුළන ස්ථූපවලින් පිරුණු මැන්ඩලේ 'රන් නගරය' මරණයේ දුර්ගන්ධයෙන් පිරුණු හැටි
- Author, කෙලී නැග්
- වාර්තාකරණය, සිංගප්පූරුව
- Author, බීබීසී බුරුම සේවය
- වාර්තාකරණය, මැන්ඩලේ
තැනින් තැන පිහිටි 'පැගෝඩා' නම් වූ දිදුළන බුරුම ස්ථූපවලින් සහ බෞද්ධ සොහොන් කොත්වලින් යුත් රන් නගරය යනුවෙන් හැඳින්වූ මියන්මාරයේ පැරණි රාජකීය අගනුවර වන මැන්ඩලේ වෙතින් දැන් මළ සිරුරුවල දුර්ගන්ධය හමා එයි.
පසුගිය සිකුරාදා මැන්ඩලේ නගරය ආසන්නයේ හටගත් මැග්නිටියුඩ් 7.7ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවෙන් පසුව මළ සිරුරු කෙතරම් ගොඩගැසී ඇති ද යත්, ඒවා "ගොඩගසා ආදාහනය කිරීමට" සිදුවූ බව නගර වැසියෙක් පැවසීය.
භූ කම්පනයෙන් හා පසුකම්පන මාලාවකින් පසුව සිදුවූ මරණ සංඛ්‍යාව 3,000 ඉක්මවා යද්දී තවත් 4,715 දෙනෙකු තුවාල ලබා ඇති අතර, සිය ගණනක් අතුරුදහන්ව සිටින බව මියන්මාරයේ හමුදා ප්‍රධානියා පැවසීය. මෙම සංඛ්‍යා තවදුරටත් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ.
රටේ වැඩි ම ජනගහනයක් සහිත දෙවන නගරය ලෙස සැලකෙන මෙහි වෙසෙන ජනතාව පවසන්නේ, අඩුවෙමින් පවතින ආහාර සහ ජල සැපයුම් සොයා තමන් නිදිවර්ජිතව රාත්‍රියේ වීථිවල සැරිසරන බව ය.
"මළ සිරුරු ගොඩගසා දමා ආදාහනය කෙරෙන" බව පැවසූ මැන්ඩලේ වැසියාගේ නැන්දණිය භූ කම්පනයෙන් මිය ගොස් තිබේ.
"එයාගේ මළ සිරුර සුන්බුන්වලින් ඉවතට ගන්න පුළුවන් වුණේ දින දෙකකට පසුව මාර්තු 30 වෙනි දා," ජේ යනුවෙන් තමන් හඳුන්වා දුන් 23 හැවිරිදි ශිෂ්‍යාව පැවසුවා ය.
අඩු යටිතල පහසුකම් සහ තැනින් තැන පවතින සිවිල් අර්බුද හේතුවෙන් මියන්මාරයේ සහන සේවාවන්ට දැඩි බාධා එල්ල වී පවතී. එරට හමුදාවට ඇත්තේ, ජාතික ආපදා අවස්ථාවල පරිමාණය සැඟවීමේ ඉතිහාසයකි. කඩාවැටුණු ගොඩනැගිලි සහ හුදෙකලාව පවතින දිස්ත්‍රික්ක කරා සහන කණ්ඩායම් ප්‍රවේශ වූ පසු මරණ සංඛ්‍යාවේ අගයන් තවදුරටත් ඉහළ යා හැකි බව විශ්වාස කෙරේ.
මැන්ඩලේහි මහාඋන්ම්යායි දිස්ත්‍රික්කයෙහි වෙසෙන ජේ පවසන්නේ, ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා තමන් "තෙහෙට්ටුවට පත්ව සිටින බව" හැඟෙන බව ය.
භූ කම්පනයෙන් හානියට පත් තම නිවාසවල ඉතිරි කොටස් පසුකම්පනවලට ඔරොත්තු නොදෙනු ඇතැයි යන බියෙන් බොහෝ නගර වැසියන් කූඩාරම්වලින් පිටත වීථිවල සිටිනු දක්නට ලැබේ.
"මමත් ඇතුළුව ගොඩක් අය මාර්ගවල බිම ඇණ තියාගෙන හයියෙන් කෑ ගහනවා දකින්න පුළුවන්," යැයි ජේ කියා සිටියාය.
කෙසේ වෙතත්, දිවි ගලවාගත් පුද්ගලයින් තවමත් නගරයෙන් හමු වෙයි. නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති සංඛ්‍යාවට වඩා සැබෑ මරණ සංඛ්‍යාව බොහෝ ඉහළින් තිබෙන බව විශ්වාසය යි.
රූපවාහිනිය ඔස්සේ පසුගිය අඟහරුවාදා ප්‍රචාරය වූ ප්‍රකාශයකින් හමුදා ප්‍රධානී මින් අවුං ලේයිං කියා සිටියේ, මරණ සංඛ්‍යාව 3,000කට වඩා වැඩි වනු ඇති බව ය. නමුත්, ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සිකුරාදා පැවසුවේ, භූ කම්පනය හටගත් ප්‍රදේශය සහ එහි ප්‍රබලත්වය ගත් කල මියගිය පුද්ගලයින් ගණන 10,000 ඉක්මවනු ඇති බව ය.
මෙම ව්‍යසනය හේතුවෙන් විශේෂයෙන් දරුවෝ දැඩි කම්පනයට ලක්ව සිටිති.
එහි වෙසෙන ගිහි දේශකවරයෙක් බීබීසී වෙත පැවසුවේ, තමන් ජීවත් වන අවට ප්‍රදේශය එක්වන ම සුන්බුන්වලින් යට වනු දැකීමෙන් පසුව තම අට හැවිරිදි පුත්‍රයා පසුගිය දින කිහිපයේදී ම හිටිහැටියේ කඳුළු වගුරුවමින් වැළපීමට පටත් ගත් බව ය.
"භූමි කම්පාව වෙනකොට එයා උඩ තට්ටුවේ නිදන කාමරයේ හිටියා. මගේ බිරිඳ ඔහුගේ බාල සහෝදරිය ළඟ හිටියේ. සුන්බුන් පුතාගේ ඇඟට වැටෙන්න ඇති," යනුවෙන් රුආතේ යන තම මුල් නම පමණක් හෙළි කළ ඔහු කියා සිටියේ ය.
දකුණුදිග මැන්ඩලේහි පිගිටාගොන් ප්‍රදේශ වාසියෙකු වන ඔහු පැවසුවේ, "කඩාවැටුණු ගොඩනැගිලිවලින් මළ සිරුරු ගෙන එන ආකාරය තමන් දුටු" බව ය.
"ඒක ගොඩක් කනගාටුදායක සිද්ධියක්. ස්වාභාවික සහ මිනිස් ක්‍රියාකාරකම්වලින් හටගත් ආපදා බොහෝමයකින් මියන්මාරය බැටකා තියෙනවා. ඔක්කොම කට්ටිය ගොඩක් වෙහෙසට පත්ව සිටිනවා. බලාපොරොත්තු සුන්වූ හා අසරණ බවක් අපට දැනෙනවා," යැයි ඔහු කීය.
භූමිකම්පාවේ බලපෑමෙන් මහල් හයක් කඩා වැටුණු තට්ටු දොළහකින් සමන්විත ස්කයි විලා (Sky Villa) නම් වූ ගොඩනැගිලි සංකීර්ණය ආසන්නයෙහි වෙසෙන භික්ෂුවක බීබීසීය වෙත පැවසුවේ, සුන්බුන් අතරින් ඇතැම් පුද්ගලයින් බේරාගත් නමුත්, පසුගිය පැය 24ක කාලයේදී "සොයාගැනීමට හැකි වූයේ මළ සිරුරු පමණක්" බව ය.
"මෙය ඉතා ඉක්මනින් අවසන් වේ යැයි මා සිතනවා. තවමත් මළ සිරුරු සීයකට වඩා වැඩි ප්‍රමාණයක් ගොඩනැගිල්ල ඇතුළෙ තියෙනවා," ඔහු පැවසීය.
මැන්ඩලේ නගරයට ආසන්නව පිහිටි ආදාහනාගාර සියල්ල ම පිරීගොස් ඇති අතර, මළ සිරුරු දමන මලු මෙන් ම, ආහාර සහ පානීය ජල සැපයුම් ද වේගයෙන් අඩුවෙමින් පවතින බව බලධාරීහු පවසති.
නගරය පුරා ම වීථිවල දක්නට ලැබෙන්නේ, පොඩිවී ගිය 'පැගෝඩා' ස්ථූප සහ රන් කොත්වල සුන්බුන් ය. රන්පත් නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක් සහ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වූ මැන්ඩලේ නගරය ද පසුගිය වසරවලදී මියන්මාරයේ (පෙර බුරුමය යනුවෙන් හැඳින්වූ) අනෙකුත් ප්‍රදේශ මෙන් ම දුගීභාවයෙහි ශීඝ්‍ර වර්ධනයක් අත්දුටුවේ ය.
පසුගිය සතියේ හටගත් භූ කම්පනයෙහි ප්‍රබලත්වය තායිලන්තය සහ චීනයට ද බලපෑ නමුත්, එහි බලපෑම මියන්මාරයට ඉතා දැඩිව එල්ල වූයේ, සිවිල් යුද්ධයකින් හා දුර්වල වූ ආර්ථිකයකින් බැටකමින් සිටිද්දී 2021දී කුමන්ත්රණයකින් බලයට පැමිණි හමුදාව පිළිබඳව ජනතාවගේ දැඩි කලකිරීමක් ද පවතින අතරවාරයේදී ය.
සතියක් පුරා දිවෙන ජාතික ශෝක කාලයක් යටතේ පසුගිය අඟහරුවාදා මියන්මාරය විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීය. ජාතික ධජය අඩකුඹු කොට, මාධ්‍ය ප්‍රචාර නවතා දමා තම ගෞරව දක්වන්නැයි ජුන්ටා පාලනය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
භූ කම්පනය සිදුවීමට පෙර පවා මිලියන 3.5ක පමණ පිරිසක් එරට අවතැන්ව සිටියහ.
බොහෝ තරුණ පිරිස් ද ඇතුළුව තවත් දහස් ගණනක් විදේශයන්ට පලා ගියේ බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීමෙන් බේරීමට ය. එමනිසා, සහන සැලසීමේ කටයුතු සහ පසුව රට නැවත ගොඩ නැගීමේ ක්‍රියාවලිය සඳහා සිටින්නේ සීමිත ජනතාවකි.
එරට හමුදා පාලනයට උපකාර කරන රුසියාව සහ චීනය මෙන් ම තවත් රටවල් ද මියන්මාරයට ආධාර සහ විශේෂඥ සහය එවා ඇත.
නමුත් සහන බෙදාහැරීම ඉතා මන්දගාමීව සිදුවන බව ජේ පැවසුවා ය.
"(සහන කණ්ඩායම්) එක දිගට දින හතරක් තිස්සේ වැඩ කරමින් ඉන්නවා. ඔවුන් වෙහෙසට පත්ව සිටින බව මම හිතනවා. ඔවුන්ටත් යම් විවේකයක් අවශ්‍ය යි."
"නමුත්, සිදු වී ඇති හානිය ඉතා විශාල නිසාත්, අපට ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයක් නිසාත් මෙවැනි අතිවිශාල විනාශයක් කාර්යක්ෂමව කළමනාකරණය කර ගැනීම සහන සේවකයින්ට අමාරු කටයුත්තක්," ඔහු පැවසීය.
ඕනෑ ම ආධාරයක් පිළිගන්නා බව හමුදා ජුන්ටාව කියා සිටිය ද, භූකම්පනය බලපෑ සමහර ප්‍රදේශවලට යාම තමන්ට අභියෝගයක් වූ බව සහන සේවකයෝ පවසති.
භූ කම්පනයේ අපිකේන්ද්‍රය වූ සෙගයිං ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මාධ්‍ය වාර්තා කරන අන්දමට, තම ස්වේච්ඡා සේවකයින්ගේ විස්තර ලබා දීම සහ ගෙනයන ද්‍රව්‍ය පිළිබඳ වාර්තා කිරීම වැනි සීමාවන් හමුදා බලධාරීන් විසින් සහන සංවිධාන වෙත පනවනු ලැබ තිබේ.
හියුමන් රයිට්ස් වොච් සහ ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ද ඇතුළුව සංවිධාන ගණනාවක් ම ජුන්ටා පාලනයෙන් ඉල්ලා ඇත්තේ, විපතට පත් ප්‍රදේශ කරා යාම සඳහා සහන සේවකයින්ට කඩිනමින් අවකාශය සලසා දෙන ලෙසට ය.
"දහස් ගණනක් මරණයට පත්වෙමින් හා තුවාල ලබමින් සිදුවූ භයංකාර ව්‍යසනයකින් පසුවත් මියන්මාරයේ හමුදා ජුන්ටාව භීතිය පතුරුවනවා," යැයි හියුමන් රයිට්ස් වොච් හි ආසියානු කලාපීය නියෝජ්‍ය අධ්යක්ෂ බ්‍රියෝනි ලෝ පවසයි.
"ජුන්ටාව තම දරුණු අතීත ක්‍රියාකාරකම්වලින් මිදී, භූ කම්පනයෙන් බලපෑම් එල්ල වුණ ප්‍රදේශවල ජීවිත අවදානමට ලක්ව සිටින අයට ඉක්මනින් මානුෂීය ආධාර ලැබෙන බවට සහතික විය යුතු යි," යනුවෙන් ද ඇය කියා සිටියාය.
ව්‍යසනයෙන් රට බැටකද්දී ගම්මාන කරා තවදුරටත් ගිනිඅවි ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ජුන්ටාව දැඩි දෝෂදර්ශනයට ලක්ව සිටී. සගෙයිංහි සැලකිය යුතු ප්‍රදේශයක් ජුන්ටාවට එරෙහි කණ්ඩායම්වල පාලනයට නතුව පවතී.
ප්රජාතන්ත්රවාදී සිවිල් කණ්ඩායම් ජාලයකින් සමන්විත People's Defence Forces (PDF) හි ප්‍රධානියෙකු බීබීසීය වෙත පැවසුවේ, හමුදාව ගොඩබිම් ප්‍රහාර එල්ල කරන බව ය.
නමුත්, තමන් ප්‍රතිප්‍රහාර එල්ල නොකරන බව සටන්කරුවන් 300 දෙනෙකුට නායකත්වය දෙන මින් නායින් නම් අණදෙන නිලධාරියා කීය. විපක්ෂයේ ජාතික සමගි රජය භූ කම්පනයෙන් පසුව ප්‍රකාශයට පත්කළ දෙසතියක සටන් විරාමයක් අනුව යමින් තමන් කටයුතු කරන බව ද ඔහු පැවසීය.
ජුන්ටාවට එරෙහි ජනවර්ග තුනකින් සැදුම්ලත් Three Brotherhood Alliance ද පසුගිය අඟහරුවාදා මාසයක සටන් විරාමයක් නිවේදනය කළේ, සහන කටයුතුවලට පහසුකම් සැලසීම සඳහා බව පවසමිනි.
මේ අතර, බීබීසී බුරුම සේවය වාර්තා කරන්නේ, කචින් සහ ෂාන් ප්‍රාන්තවලට ඩ්‍රෝන ප්‍රහාර සහ ගුවනින් බෝම්බ එල්ල කර ඇති බව ය.
අතිරේක වාර්තාකරණය - රෙබෙකා හෙන්ෂ්කි