ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාව රෝහින්ග්‍යා සංක්‍රමණිකයින්ගේ ගමනාන්තයක් වෙයි ද?
මියන්මාරයේ රෝහින්ග්‍යා සංක්‍රමණිකයින් 115 දෙනෙකු රැගත් යාත්‍රාවක් මුලතිව් මුහුදු තීරයට පැමිණීම අහම්බයක් හෝ මුහුදේ අතරමං වීමෙන් සිදුවූවක් නොවන බවට තොරතුරු හෙළිවෙමින් තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල කියා සිටියේ, ඉදිරි දිනවලදී රෝහින්ග්‍යා සංක්‍රමණිකයින් ලක්ෂයක් මෙරටට පැමිණිය හැකි බවට තොරතුරු ලැබී ඇති බව ය.
එම අනවසර සංක්‍රමණිකයින් පැමිණීම සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා බීබීසී සිංහල වෙත සඳහන් කළේ ය.
මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට ඉකුත් දෙසැම්බර් 19 වන දා රෝහින්ග්‍යා සංක්‍රමණිකයින් 115 දෙනෙකු රැගත් මෙම බෝට්ටුවක් පැමිණ තිබිණි.
නාවික හමුදාව අදාළ බෝට්ටුව ත්‍රිකුණාමලය වෙත රැගෙන යාමෙන් අනතුරුව අධිකරණ නියෝග යටතේ පුද්ගලයින් 103 දෙනෙක් දෙසැම්බර් 23 වන දා මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබූහ.
රෝහින්ග්‍යා සංක්‍රමණිකයින් රැගත් මෙම යාත්‍රාවේ දරුවන් 45 දෙනෙක්, කාන්තාවන් 24 දෙනෙක් හා පිරිමි පුද්ගලයින් 46 දෙනෙක් සිටියහ.
"ඔවුන් මුදල් ගෙවලා තමයි මේ ජාවාරමට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔවුන් එරට මුදලින් ලක්ෂ 500ක් පමණ ගෙවලා තියෙනවා. ඊට අමතරව මේ ගමනාගමනය සඳහා ඒ රටේ මුදලින් ලක්ෂ 800ක් පමණ සංවිධායකයින්ට ගෙවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසියෙන් විමර්ශනයක් කරගෙන යනවා.
"ඔවුන් සරණාගතයින් ලෙස හඳුනාගන්නේ නම් ඒ අනුව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන්නත් අපි සූදානම්. මේ වෙනකොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් කෑමබීම ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා අපි දීලා තියෙනවා."
"දැනට පොලීසිය පවත්වාගෙන යන විමර්ශන අනුව සහ බුද්ධි අංශ වාර්තා කරලා තියෙන කරුණු අනුව මෙවැනි අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අපේ රටේ සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනාගන්නවා," යනුවෙන් අමාත්‍ය ආනන්ද විජේපාල ජනවාරි 8 වන දා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
පිටුවහල් නොකරන්නැයි ජනපතිට ඉල්ලීම්
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මෙම සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කර ඇත.
මෙම සරණාගතයින් යුද ගැටුම් පවතින මියන්මාරයට යළි පිටුවහල් නොකරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
රිෂාඩ් බදියුදීන් ඉල්ලා ඇත්තේ, අදාළ රෝහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හා සරණාගත නීතිය අනුව කටයුතු කරන ලෙස යි.
මෙම පිරිස සිරකරුවන් ලෙස නොසිතා කටයුතු කරන ලෙසත් සරණාගතයින් ලෙස සලකා කටයුතු කරන ලෙසත් ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ගමනාන්තය ශ්‍රී ලංකාව ද?
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල බීබීසී සිංහල වෙත පැවසුවේ, එක් සංක්‍රමණිකයෙකු එරට මුදලින් ලක්ෂ 8ත් ලක්ෂ 20ත් අතර මුදලක් ජාවාරම්කරුවන්ට ගෙවා ඇති බව ය.
බීබීසී සිංහල සේවය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ, මෙම සංක්‍රමණිකයින්ගේ ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ ද? යන්න පිළිබඳව යි.
"මං හිතන්නේ මෙහෙ ගමනාන්තයට වන්නට ඇති. බෝට්ටු 3ක් පිටත් වෙලා තියෙනවා. එකක් මෙහෙ අවිල්ලා තියෙනවා. අනෙක් ඒවා බංගලාදේශය හෝ වෙන කොහෝ හරි යන්න ඇති"
මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, මම සංක්‍රමණිකයින් සිටින කඳවුරුවලදී මෙම ගමන සංවිධාන කිරීම සඳහා මුදල් එකතු කර ඇති බව ය.
"එගොල්ලන්ව කැන්වසින් කරලා අරන් එන එකක් තමා තියෙන්නේ. බුද්ධි අංශ වාර්තා කරනවා."
ජාවාරමට සම්බන්ධ අය ලංකාවේ ඉන්නවා ද?
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ, මෙම ජාවාරමට සම්බන්ධ කවුරුන් හෝ මෙරට සිටී ද යන්න පිළිබඳව බුද්ධි අංශ මගින් විමර්ශනයක් කරන බවය.
"ඔස්ට්‍රේලියාවට මිනිස්සුන්ට යන්න දෙන්නේ නැහැ නේ. දැන් මේක සරණාගතයින් නම් අපි ජාත්‍යන්තර මානූෂීය නීතිය, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසමේ නීතිරීතිවලට එකඟව අපිට ඒ අයට මානුෂියව ආධාර සපයන්න වෙයි. නමුත් සැලසුම් කරලා කවුරු හරි ලංකාවට ගෙනල්ලා නම් බලන්න වෙයි."
අමාත්‍යවරයා කියා සිටියේ, "ඒ අයට අදහසකුත් ඇති වෙලා තියෙනවා. මෙහෙ හරහා ඇවිල්ලා යුරෝපා රටවලට යන්න පුළුවන් කියලා. අසයිලම් ඉල්ලලා. කලින් මෙහෙ රඳවාගෙන ඉන්න පිරිසක් ඉන්නවා නේ."
"අපිට සමාජ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ලොකු පිරිසක් රඳවා ගන්න පරිසරයක් අපිට නැහැ," ඔහු පෙන්වා දුන්නේ ය.
"ඔවුන් එක්ක තව ගොඩක් දේවල් එනවා. සරණාගතයෝ හරි, නීතිවිරෝධී සංක්‍රමණිකයින් හරි කිව්වාට ගොඩක් දේවල් එනවා මෙහෙට. ජාතික ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. සමහර අය විවිධ දේවල් කිව්වට. තියෙන තොරතුරු අනුව නේ තීන්දු තීරණ ගන්න වෙන්නේ."
"අපි ආණ්ඩුවක් හැටියට හිතලා තියෙනවා, නීතිවිරෝධී සංක්‍රමණකයින් වළක්වන්න තීන්දු අරන් තියෙනවා. අපි උත්සහ කරනවා ඒකට," මහජන ආරක්ෂක අමාත්‍යවරයා බීබීසී සිංහල වෙත අවධාරණය කළේය.
අවධාරණය කළේය.
"මෙහේ කවුරු හරි ජාවාරමට සම්බන්ධ අය ඉන්නව ද කියලා තමා බලන්න තියෙන්නේ. කටඋත්තර අනුව පරීක්ෂා කරමින් ඉන්නවා. විමර්ශනයක් කෙරෙනවා. බුද්ධි අංශ යොදවලා තියෙනවා."
"තොරතුර තියෙන්නේ ලක්ෂයක් එන්න සැලසුම් කරලා තියෙනවා කියලා."
"අපි දැනුම් දීලා තියෙනවා මියන්මාර් රජයට ඔවුන්ගේ පුරවැසියන් මෙහෙට නීතිවිරෝධීව පැමිණෙනවා කියලා. ඔවුන් ප්‍රතිචාරයක් දැක්වලා නැහැ," මහජන ආරක්ෂ අමාත්‍යවරයා පැවසීය.
"සරණාගතයින් එන ක්‍රමයක් තියෙනවා. නමුත් කවුරු හරි ගිහිල්ලා සල්ලි අරන් තියෙනවා නම් ජාවාරම්කරයෝ තමා එක කරන්නෙ," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව මොක ද කියන්නේ?
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය බීබීසී සිංහල වෙත පැවසුවේ, මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නාවික හමුදාවට විශාල වගකීමක් පැවරී ඇති බව ය.
"ලැබෙන බුද්ධි තොරතුරුත් එක්ක අදාළ පියවර ගන්නවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මුහුදෙන් එන හින්දා අපිට ලොකු වගකීමක් තියෙනවා අනිවාර්යෙන් ම. ඒකෙ වගකීම අනිවාර්යෙන් ම නිසියාකාරව අපිට තියෙන නීතිරාමුව, ප්‍රතිපත්ති අන්තර් ජාතික නීතිය ඔය ඔක්කොට ම යටත්වෙලා හරියට කරන්න තමා බලාපොරාත්තු වෙන්නේ."
"නාවික හමුදාව සලැසුම්සහගතව කටයුතු කරන්න ලැස්ති වෙලා ඉන්නවා. හැබැයි කිසි ම වෙලාවක නීතිවිරෝධී නැහැ. හරියට ම අන්තර් ජාතික සහ ලංකාවේ නීතියට අනුකූලව කටයුතු කරනවා," නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.