ඉරාක ගින්න: නීනවාහි මංගල උත්සවයක ඇතිවූ ගින්නකින් අවම වශයෙන් 100 දෙනෙකු මරුට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උතුරු ඉරාකයේ මංගල උත්සවයක දී ඇතිවූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඉරාකයේ උතුරු නීනවා පළාතේ අල්-හම්දානියාහි අඟහරුවාදා (සැප් 26) සවස පැවති මංගල උත්සවයකට සිය ගණනක් ජනයා සහභාගී වී සිටිය දී එම ස්ථානය පුරා මෙම ගින්න පැතිරගොස් තිබිණි.
ගින්නට හේතුව කුමක්දැ යි මෙතෙක් අනාවරණය වී නැති නමුත්, මූලික තොරතුරුවලින් පෙන්වා දෙන්නේ ගිනිකෙළි දැල්වීමෙන් පසු එම ගින්න හටගෙන ඇති බව ය.
එම ස්ථානයේ තිබී ඇති ගිනිගන්නාසුලු පුවරු නිසා ගින්න තවත් තීව්‍ර වන්නට ඇති අතර, එය සිවිලිමේ කොටසක් ද ගිනිගෙන කඩා වැටීමට හේතු වී තිබේ.
"ගින්නක් හටගත් විට මිනිත්තු කිහිපයක් ඇතුළත කඩා වැටෙන, ගිනිගන්නාසුලු, අඩු වියදම් ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගින්න නිසා ශාලාවේ කොටස් කඩා වැටී තිබෙනවා,"යි ඉරාක සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය පැවසූබව, එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන INA විසින් උපුටා දැක්වීය.
මියගිය හා තුවාල ලැබූවන් අතර මනාලිය හා මනාලයා සිටියි ද යන්න අපැහැදිලි ය.
ඔවුන් ගින්නෙන් මියගොස් ඇතිබව ඉරාක මාධ්‍යවල මුල් වරට පළවූ වාර්තාවල සඳහන්ව තිබූ නමුත්, යුවළ ජීවතුන් අතර සිටින අතර පිළිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බව නීනා ප්‍රවෘත්ති ඒජන්සිය (INA) පසුව වාර්තා කළේ ය.
නීනා පළකළ ඡායාරූපයක ගිනි නිවන භටයින් විශාල පිරිසක් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ආකාරය දිස්විය. සමාජ මාධ්‍යවල ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පළ කර තිබූ ඡායාරූපවල උත්සව ශාලාව තුළ පිළිස්සී ගිය කොටස් දක්නට ලැබිණි.
බදාදා (සැප් 27) අලුයම දිවි ගලවාගත් අය සෙවීම සඳහා ගිනි නිවන භටයන් ගොඩනැගිල්ලේ සුන්බුන් මත ගමන් කර අයුරු, රොයිටර්ස් වාර්තාකරුවෙකු විසින් එහි සිට රූගත කරන ලද වීඩියෝවක සටහන් වී තිබුණි.
එරට වේලාවෙන් රාත්‍රී 10:45ට (ලංකා වේලාවෙන් බදාදා පාන්දර 01:15ට) පමණ ගොඩනැගිල්ල ගිනිගත් අවස්ථාවේ දී, සිය ගණනක් ජනයා එහි ප්‍රීතිවෙමින් සිටි බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පැවසූහ.
"හෝල් එකෙන් එළියට ගිනිදැල් එන හැටි අපි දැක්කා. සමහර අයට එළියට පැනගන්න පුළුවන් වුණා. බැරි වුණ අය හිරවුණා. එළියට පැනගන්න පුළුවන් වුණු අය පවා හිටියේ දැඩි කම්පනයකින්," ගින්නෙන් දිවි ගලවාගත් 34 හැවිරිදි ඉමාඩ් යොහානා රොයිටර්ස් පුවත් සේවය වෙත පැවසුවා ය.
මංගල උත්සවයට පැමිණ හිඳ ගින්නෙන් අත පිළිස්සුණු අමුත්තෙකු වන රනියා වාඩ්, මනාලිය හා මනාලයා සෙමින් නර්තනයේ යෙදී සිටි අවස්ථාවේ "ගිනිකෙළි සිවිලිම දෙසට ආ බව ත් මුළු ශාලාව ම ගින්නෙන් දැවී ගිය" බව ත් පැවසුවා ය.
"අපිට මුකුත් පෙනුණේ නැහැ," 17 හැවිරිදි ඇය AFP පුවත් සේවයට පැවසුවා ය. "අපි හුස්ම හිරවුණා. එළියට යන්නේ කොහොම ද කියලවත් අපි දැනගෙන හිටියේ නෑ."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ගින්නෙන් පුද්ගලයන් 113 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු කර ඇතැ යි නීනවාහි නියෝජ්‍ය ආණ්ඩුකාර හසන් අල්-අලාක් රොයිටර්ස් පුවත් සේවයට පැවසූ අතර, අවම වශයෙන් 100 දෙනෙකු මියගොස් 150 දෙනෙකු තුවාල ලබා ඇතිබව එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.
තුවාල ලැබූවන් නීනවා පුරා පිහිටි රෝහල් වෙත යොමු කර ඇතැ යි ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා INA වෙත පැවසීය.
එහෙත් මරණ හා තුවාල ලැබූ සංඛ්‍යාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි බව ත්, එය තව දුරටත් ඉහළ යා හැකි බව ත් ඔහු පැවසීය.
තුවාල ලැබූවන්ට උපකාර පිණිස රුධිරය පරිත්‍යාග කිරීම සඳහා, ප්‍රදේශයේ මෝසුල් අගනුවරට නැගෙනහිරින් පිහිටි හම්දානියාහි ප්‍රධාන රෝහලට විශාල පිරිසක් පැමිණ සිටියහ.
ඉරාකයේ අග්‍රාමාත්‍යවරයා, "මෙම අවාසනාවන්ත සිදුවීමෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස" ඔහු නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව, මීට පෙර ට්විටර් ලෙස හැඳින්වූ Xහි පළකළේ ය.












