සන්තියාගෝ මාටින්: දේශපාලකයින් වෙනුවෙන් අත දිගහැර මුදල් වැය කරන ඉන්දියාවේ ‘ලොතරැයි රජු’

ලොතරැයි පත් අලෙවි කර ධනේශ්වරයෙකු වූ ඉන්දීය ජාතිකයෙකු වෙත මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබේ. ඒ, ඔහු මතභේදාත්මක අරමුදල් යෝජනා ක්‍රමයක් ඔස්සේ දේශපාලන පක්ෂ සඳහා මුදල් පරිත්‍යාග කරන එරට ප්‍රමුඛතම දානපතියා බවට හෙළි වීමත් සමග ය.
සන්තියාගෝ මාටින්ගේ සමාගම වන Future Gaming and Hotel Services Pvt. Ltd, දේශපාලන පරිත්‍යාගශීලීන්ට නිර්නාමිකව සිටීමට ඉඩ සලසන මෙම අරමුදල් යෝජනා ක්‍රමය යටතේ, 2019 අප්‍රේල් සහ 2024 ජනවාරි අතර කාලය තුළ, ශ්‍රේෂ්ඨාධිකරණය එම යෝජනා ක්‍රමය අවලංගු කර ඔවුන්ගේ නම් ප්‍රකාශයට පත් කරන ලෙස නියෝග කරන තෙක් ඉන්දීය රුපියල් බිලියන 13.68ක් (අමෙරිකානු ඩොලර් මිලියන 165, පවුම් මිලියන 130) වටිනා මැතිවරණ බැඳුම්කර මිල දී ගෙන ඇත. මෙම යෝජනා ක්‍රමය යටතේ පරිත්‍යාග කිරීම නීතිවිරෝධී නොවූවත්, මැතිවරණ බැඳුම්කර, දේශපාලන අරමුදල්වල විනිවිදභාවය නැති කරන බවට චෝදනා එල්ල වී තිබේ.
එතැන් සිට, මාටින්ගේ සමාගම විසින් මිල ගන්නා ලද බැඳුම්කරවලින් ඉන්දීය රුපියල් බිලියන 5කට වඩා වැඩි මුදලක් ඔහු තම ව්‍යාපාරය ආරම්භ කළ දකුණු ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ පාලක පක්ෂය වන ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (ඩීඑම්කේ) පක්ෂයට ගිය බව හෙළිදරව් විය. ඉතිරි ප්‍රතිලාභීන් කවුරුන් ද යන්න තවමත් පැහැදිලි නැත.
මාර්ටින්ගේ ජීවිතය දෙස සමීපව බැලීමේදී, දෛනික වැටුප් ලද කම්කරුවෙකු ලෙස වැඩ කිරීමේ සිට ඉන්දියානු ප්‍රාන්ත කිහිපයක් මෙන් ම, එරට අසල්වැසි රට වන භූතානය පුරා විහිදෙන ලොතරැයි අධිරාජ්‍යයක් පවත්වාගෙන යාම දක්වා, දිළිඳු පැලේ සිට මහ මන්දිරයක් දක්වා විහිදෙන ආකර්ෂණීය කතාවක් හෙළි කරයි.
නමුත් 63 හැවිරිදි මාටින් මතභේදාත්මක චරිතයක් ලෙස ද සැලකේ. ඔහු දේශපාලනික වශයෙන් අපකීර්තියට ලක් වී ඇති අතර ලොතරැයි වංචා ඇතුළු මූල්‍ය අක්‍රමිකතාවලට සම්බන්ධ බවට බලධාරීන්ගේ චෝදනාවලට ලක්ව ඇත.
මැතිවරණ බැඳුම්කර දත්ත ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මාටින් මේ දක්වා කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර නොමැත. බීබීසීය විසින් Future Gaming සමාගම වෙත ඊ-මේල් පණිවිඩයක් ද යොමු කර ඇති අතර මාටින්ගේ බිරිඳ වන ලීමා රෝස් මාටින් වෙත ද පණිවිඩයක් යොමු කරනු ලැබ ඇති නමුත් ඒවාට තවමත් ප්‍රතිචාර ලැබී නැත.
වාර්තා පවසන්නේ, මාටින් 1961 වසරේ ඉන්දියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ අන්දමන් දූපත්වල උපත ලබා ඇති බව ය. නව යොවුන් වියේදී ඔහු වර්තමාන මියන්මාරයේ දෛනික වැටුප් ලබන කම්කරුවෙකු ලෙස සේවය කර ඇති බවට විශ්වාස කෙරේ. 1980 ගණන්වලදී ඔහු නැවත ඉන්දියාවට පැමිණ තමිල් නාඩුවේ තේ කඩයක රැකියාවක නිරත විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තමිල් නාඩු ජනගහනයේ සියලු ම කොටස් අතර, විශේෂයෙන් ම දුප්පතුන් අතර ලොතරැයි පත් ජනප්‍රිය වීම ඔහුව පුදුමයට පත් කළේ ය. එය ඔහු කෝටිපතියෙකු බවට පත් කළ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙළඹී ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මාටින් කොයිම්බතූර් නගරයේ ඔහුගේ පළමු වෙළෙඳසල විවෘත කළ අතර වසර කිහිපයක් ඇතුළත තරගකරුවන් දෙදෙනෙකු අභිබවා යමින් තමිල් නාඩුවේ විශාලතම ලොතරැයි පත් විකුණුම්කරු බවට පත්විය.
මාටින් "ඉලක්කම් දෙකක" ලොතරැයි පත්වල අලෙවිය ඉහළ නැංවීය. එම සූරන ලොතරැයි පත්වල අඩංගු ඉලක්කම් ද්විත්වය ඔහුගේ සමාගම විසින් පහසුකම් සපයනු ලබන රූපවාහිනී සජීවී විකාශනයකින් හෙළිදරව් කරන ජයග්‍රාහී අංක සමග ගැනුම්කරුට ක්ෂණිකව පරීක්ෂා කිරීමට ඉඩ සැලසීය.
නම හෙළි නොකරන කොන්දේසියක් මත බීබීසීය සමග අදහස් දැක්වූ දේශපාලන නිරීක්ෂකයෙකු සිහිපත් කළේ, "ප්‍රමාණයෙන් ඉතා කුඩා රූපවාහිනී යන්ත්‍ර" ඔස්සේ ලොතරැයි දිනුම් ඇදීම නැරඹීමට මිනිසුන් කුඩා කඩ සාප්පු ඉදිරිපිට පිරී ඉතිරී ගිය ආකාරය යි.
ක්ෂණික දිනුම් ඇදීම අලෙවිය ඉහළ යාමට හේතු වූ බව ත් බොහෝ අය විනාශ මුඛයට ඇද දැමූ බව ත් විචාරකයෝ පවසති.
මාටින්ගේ ලොතරැයි පත් වැඩි කල් නොගොස් අසල්වැසි කර්නාටක සහ කේරළ ප්‍රාන්තවල වෙළෙඳපොළට ද ඇතුළු වූ අතර පසුව ඔහු උතුරු සහ ඊසානදිග ඉන්දියාව දක්වා සිය ව්‍යාපාරය ව්‍යාප්ත කළේ ය.
2001 වසරේදී rediff.com සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී මාටින් පැවසුවේ, තමා දිනකට ලොතරැයි පත් මිලියන 12ක් අලෙවි කළ බව ය. ඒ වන විට ඔහුගේ සමාගම ලොතරැයි පත් බෙදා හැරීම සඳහා ප්‍රාන්ත ආණ්ඩු කිහිපයක් සමග ගිවිසුම් ද ඇති කරගෙන තිබිණි.
මාටින් සෑම දිනක ම දැවැන්ත මුදලක් ගෙවූ බව එම ලිපියේ සඳහන් විය. එනම්, තමිල් නාඩු රජයට විකුණුම් බදු ලෙස ඉන්දීය රුපියල් 350,000ක්, ඊසානදිග සිකිම් ප්‍රාන්ත රජයට අත්තිකාරම් වශයෙන් රුපියල් 759,000ක් ලෙස ඔහුගේ ව්‍යාපාරයේ දැවැන්ත සාර්ථකත්වයක් පෙන්නුම් කරන මුදලක් ගෙවූ බවට එහි සඳහන් විය.
"මම සාර්ථක වුණේ ගැනුම්කරුගේ සිතුම් පැතුම් සහ වෙළෙඳාමේ තියෙන උපක්‍රම ග්‍රහණය කර ගත්ත නිසා" ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය.
නමුත් මාර්ටින් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට මුහුණ දී සිටින බව ද ලිපියේ සඳහන් විය. ඔහුට එරෙහිව ලැයිස්තුගත කර ඇති චෝදනා අතර අලෙවි නොවූ ලොතරැයිවලින් ත්‍යාග මුදල් ලබා ගැනීම සහ වංචාසහගත ලෙස දිනුම් ඇදීම් ඇතුළත් විය. මාර්ටින්ගේ සගයන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ, ඔහුගේ ප්‍රතිවාදීන් ඔහුගේ ව්‍යාපාරය විනාශ කිරීමට දේශපාලනඥයන් සමග එකතු වී සිටින බවට චෝදනා කරමිනි.
2003 වසරේදී තමිල් නාඩුවේ එවකට මහ ඇමතිනිය වූ ජේ ජයලලිතා ලොතරැයි පත් අලෙවිය තහනම් කළේ, ලොතරැයි නිසා මිනිසුන් මූල්‍යමය වශයෙන් විනාශයට පත්වන බවට ලැබුණු වාර්තා අනුව ය. ඉන් මාටින්ට විශාල පහරක් එල්ල විය.

2011 වසරේදී ජයලලිතා නැවතත් බලයට පත් වූ අවස්ථාවේදී ඔහු ඇප ලබා නිදහස් වීමට පෙර ඉඩම් කොල්ලයක් සම්බන්ධ නඩුවකට අත්අඩංගුවට පත් වී මාස කිහිපයක් සිරගතව පසු විය.
මාටින්ගේ සමාගමට කේරළ ඇතුළු ප්‍රාන්තවල ලොතරැයි වංචා සම්බන්ධයෙන් ද නඩු ක්‍රියාත්මක වේ. 2023 වසරේදී ඉන්දියාවේ මූල්‍ය අපරාධ ඒකකය පැවසුවේ, සිකිම් ප්‍රාන්තයේ ලොතරැයි වංචාවට අදාළ නඩුවකදී ඔහුට සහ ඔහුගේ සගයින්ට අයත් දේපළ සෝදිසි කිරීමෙන් පසු රුපියල් බිලියන 4.5ක් වටිනා වත්කම් සහ බැංකු තැන්පතු අත්පත් කර ගත් බව ය.
මෙම නියෝගයට එරෙහිව මාටින්ගේ අභියාචනය එම වසරේදී ම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඔහුට එරෙහි කිසිදු නඩුවකින් ඔහු තවමත් වරදකරුවෙකු වී නැත.
මාටින් මෙම චෝදනා ගැන මාධ්‍යයට වෙත අදහස් දක්වා නොමැති නමුත් ඔහුගේ සමාගමේ වෙබ් අඩවිය පවසන්නේ, ව්‍යාපාර කටයුතු කොතැනක සිදු කළ ද Future Gaming සමාගම "නීති සහ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන බවට ප්‍රසිද්ධ" බව ය.
එම වෙබ් අඩවියට අනුව, මාටින් තම ව්‍යාපාරය දේපළ වෙළෙඳාම්, ආගන්තුක සත්කාර සහ වානේ වැනි අංශ ඔස්සේ විවිධාංගීකරණය කර ඇත.
මැතිවරණ බැඳුම්කර හෙළිදරව් වීමට පෙර සිට ම මෙම ව්‍යාපාරිකයා දේශපාලන පක්ෂ සමග සම්බන්ධකම් පැවැත්වූ බවට පුවත් මැවිනි.
2007 වසරේදී කේරළ ප්‍රාන්තයේ දේශපාලනික අපවාදාත්මක සිදු වීමක් ඇති වූයේ, එවකට කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන අමාත්‍ය වීඑස් අචුතානන්දන් තම පක්ෂයේ පුවත්පත මාටින්ගෙන් ඉන්දීය රුපියල් මිලියන 20ක පරිත්‍යාගයක් ලබා ගැනීමට එරෙහිව හඬ නැගීමත් සමග ය. අවසානයේ පක්ෂය එම මුදල් ආපසු ලබා දුන්නේ ය.
ඒ වන විට අචුතානන්දන ප්‍රාන්තයේ නීති විරෝධී ලොතරැයි අලෙවිය මර්දනය කිරීම ආරම්භ කර තිබිණි.
"ඔහුගේ තර්කය වුණේ, සාමාන්‍ය ජනතාවට විශාල මුදලක් අහිමි වෙමින් තිබුණු බව ත්, ලොතරැයිවලින් සිදුවූ පාඩුව දරාගත නොහැකිව සියදිවි නසාගෙන පවා මිය ගිය බොහෝ පිරිසක් සිටින බව ත්" යනුවෙන් අචුතානන්දන්ගේ උපදේශකයෙකු වූ ජෝසෆ් මැතිව් බීබීසීයට පැවසීය.
2011 වසරේදී, මාර්ටින්, මැක්සිම් ගෝර්කිගේ 'Mother' නවකතාව පදනම් කරගෙන දමිළ භාෂා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන ලද අතර, එහි පිටපත ලියනු ලැබ තිබුණේ, ඩීඑම්කේ පක්ෂයේ නායක සහ හිටපු තමිල් නාඩු මහ ඇමති එම්. කරුණානිධි විසිනි. වාර්තා පවසන්නේ, චිත්‍රපටයේ පිරිවැය රුපියල් මිලියන 200ක් පමණ වූ නමුත් එයට වැඩි වශයෙන් ඍණාත්මක ප්‍රතිචාර ලැබුණු බව ය.
2019 වසරේදී, තමිල් නාඩුවේ වත්මන් මහ ඇමති වන එම්කේ ස්ටාලින්, 'Junior Vikatan' නම් ජනප්‍රිය සඟරාවට එරෙහිව අපහාස නඩුවක් ගොනු කළේ, මාටින් සමග ඩීඑම්කේ පක්ෂය සඳහා පරිත්‍යාගයක් ලෙස "රුපියල් බිලියන 5ක ගනුදෙනුවක් ගැන සාකච්ඡා කළ" බවට චෝදනා කරමින් පුවතක් පළ කිරීමෙන් පසුව ය. ස්ටාලින් මෙය ප්‍රතික්ෂේප කරමින්, එය "Vikatan සඟරාවේ මනඃකල්පිත සිතුවිල්ලක්" ලෙස හඳුන්වමින් මාර්ටින් කිසි දිනෙක තම පක්ෂයට පරිත්‍යාගයක් නොකළ බව ද පැවසීය.
ප්‍රාන්තයේ ලොතරැයි තහනම් කර ඇති පසුබිමක තමිල් නාඩුවේ ඩීඑම්කේ පක්ෂයේ ප්‍රතිවාදීන්ට සහ දේශපාලන නිරීක්ෂකයින්ට මාර්ටින්ගෙන් පක්ෂයට පරිත්‍යාග ලැබුණේ මන්දැයි ප්‍රශ්න කිරීමට දැන් මැතිවරණ බැඳුම්කර දත්ත හේතු වී තිබේ. ඩීඑම්කේ ප්‍රකාශකයෙකු වෙත බීබීසීය යොමු කළ පණිවිඩ සඳහා ප්‍රතිචාර නොලැබුණු නමුත් පක්ෂය පවසා ඇත්තේ, තම රජය මාටින්ගේ සමාගමට කිසිදු සහනයක් ලබා දී නොමැති බව ය.
මාටින්ගේ පවුලේ සාමාජිකයෝ ද විවිධ දේශපාලන පක්ෂ සමග සබඳතා පවත්වති. ඔහුගේ බෑණා භාරතීය ජනතා පක්ෂයට එරෙහි කොන්ග්‍රසය ප්‍රමුඛ විපක්ෂ සන්ධානයේ කොටසක් වන විඩුතලෙයි සිරුතයිගල් කච්චිහි (Liberation Panthers Party) සාමාජිකයෙකි. ඔහුගේ බිරිඳ ලීමා භාරතීය ජනතා පක්ෂයේ මිත්‍ර පක්ෂයක් වන ඉන්දීය ජනනයග කච්චි (Indian Democratic Party) සමග එක් වී ඇත.












