නුඩ්ල්ස් පිඟානට ඔට්ටු අල්ලන සිරකරුවෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇමරිකාවේ බන්ධනාගාර තුළ සිරකරුවන් අතර සිගරට් සහ දුම්කොළ පරදවමින් මුදල් වෙනුවට භාවිතා වන වටිනාම හුවමාරු භාණ්ඩය බවට 'රාමේන්' නුඩ්ල්ස් පත්ව ඇති බව නව සමීක්ෂණයකින් හෙළි වෙයි.
මෙම වෙනසට හේතුව ඇමරිකානු බන්ධනාගාර තුළ සිරකරුවන්ට සපයන ආහාර ප්‍රමාණය සහ එහි ගුණත්වය දිනෙන් දින පිරිහෙමින් පැවතීම බවට කරුණු හෙළි වී ඇති බවයි සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ.
බන්ධනාගාර සමීක්ෂණය මෙහෙයවූ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මයිකල් ගිබ්සන් වයිට් කියා සිටියේ රාමෙන් නූඩ්ල්ස් පැකට්ටු ඉතා ලාභ, රසවත් සහ කැලරි ප්‍රමාණයෙන් ඉතා ඉහළ ආහාරයක් වන බැවින් බන්ධනාගාර තුළ ඉතා විශාල වටිනාකමක් ලබන හුවමාරු භාණ්ඩයක් බවට මෙම නූඩ්ල්ස් පැකට් පත්ව ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මයිකල් ගිබ්සන්ගේ සමීක්ෂණය ඇමරිකාවේ පිරිමින් සඳහා වෙන්වූ බන්ධනාගාරයක සිරකරුවන් හැටකට ආසන්න පිරිසක් සහ බන්ධනාගාර නිලධාරීන්ගෙන් ලබා ගත තොරතුරු මත පමණක් පදනම් වී තිබුණද ඇමරිකාවේ අනෙකුත් බන්ධනාගාර තුළද මෙවැනිම තත්වයක් පවතින බවටයි කතුවරයා ඉඟි පළ කරන්නේ.
ඇමරිකානු බන්ධනාගාර තුළ ක්‍රියාත්මක වන දුම්කොළ සහ සිගරට් තහනම මෙම නව නූඩ්ල්ස් ඉල්ලුමට හේතු වී නැති බව සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
භාණ්ඩ හුවමාරු ආර්ථිකයක්
සිරකරුවන්ගෙන් ලද තොරතුරු අනුව බන්ධනාගාරය තුළ ඇඳුම්, සෞඛ්‍යාරක්ෂක නිෂ්පාදන පමණක් නොව සිර කුටි පිරිසිදු කිරීම, ඇඳුම් සේදීම වැනි සේවා ලබා දීම සඳහාත් මුදල් වෙනුවට 'රාමේන්' නූඩ්ල්ස් පැකට්ටු හුවමාරු වන බව හෙළි වී තිබේ.
ඊට අමතරව බන්ධනාගාරය තුළ පැවැත්වෙන සූදු ක්‍රීඩා සහ පාපන්දු ක්‍රීඩා වෙනුවෙන් ඔට්ටු ඇල්ලීමටත්, මුද්දර සහ ලියුම් කවර ලබා ගැනීමටත් මුදල් වෙනුවට භාවිතා වන්නේ 'රාමේන්' නූඩ්ල්ස් බවයි සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2012 වසරේ ඇමරිකානු බන්ධනාගාර වෙනුවෙන් රජය වියදම් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් කෝටි පන්දහස් දෙසිය හතළිහකි.
කෙසේ වෙතත් 1980 සහ 2013 වසර දෙක ඇතුළත කාලයේ ඇමරිකාවේ බන්ධනාගාරගත කෙරෙන සිරකරුවන් ප්‍රමාණය 343% කින් ඉහළ ගොස් ඇතත් ඒ අනුපාතයට සරිලන අයුරින් බන්ධනාගාර නඩත්තුව සඳහා රජයෙන් මුදල් ලබා දී නැති බවයි සංඛ්‍යාලේඛණ පෙන්වා දෙන්නේ.
දශක ගණනාවක් මුළුල්ලේ ඇමරිකාවේ සිර කරුවන්ට බන්ධනාගාරයෙන් ලබා දෙන ආහාර ප්‍රමාණය ක්‍රමානුකූලව පහළ දමා ඇති බව පවසන සමීක්ෂණයට සහභාගී වූ සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියේ වත්මන් තත්වය දිගින් දිගටම පැවතුනොත් ඉතා විශාල ගැටලුවකට ඇමරිකානු බන්ධනාගාර පද්ධතිය පත් වීමට ඉඩ ඇති බවයි.
සිරකරුවන්ගේ පැවැත්මට මෙම ආහාර හිඟය බළපාන අකාරය සම්බන්ධයෙන් තවදුරටත් විධිමත් අධ්‍යන සහ සමීක්ෂණ පැවැත්විය යුතුව ඇති බවයි ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මයිකල් ගිබ්සන් වයිට් පෙන්වා දෙන්නේ.








