කෘත්‍රිම ගර්භාෂවලට මව්වරුන්ගේ භූමිකාව ඉටු කළ හැකි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ජැස්මින් ෆොක්ස්-ස්කෙලි
- Role, බීබීසී
කෘත්‍රිම වැදෑමහ සහ ගර්භාෂවලට නොමේරූ ළදරුවන්ගේ ජීවිත බේරා ගත හැකි නමුත්, ඒවා සම්බන්ධ මිනිස් අත්හදා බැලීම් ආරම්භ කිරීමට පෙර අවධානය යොමු කළ යුතු සදාචාරාත්මක කරුණු මොනවා ද?
එය මිනිස් ළදරුවන් ඔවුන්ගේ මව්වරුන්ගේ ගර්භාෂයෙන් ඉවතට ගෙන ඒ වෙනුවට දියර පිරවූ බහාලුම් (pods) තුළ වැඩීමට සලස්වන ආසාර්ථක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක කතා වස්තුවක් ලෙස හැඟෙනවා විය හැකි ය. එහෙත්, එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියා ළමා රෝහලේ (CHOP) විද්‍යාඥයින්, අතිශය නොමේරූ වීමේ අවදානමක් ඇති ළදරුවන් සඳහා අනුගමනය කිරීමට යෝජනා කරන්නේ නිසැකව ම එය යි.
ඔවුහු "කෘත්‍රිම ගර්භාෂයක්" ලෙස හෝ, නිශ්චිතව සඳහන් කරන්නේ නම්, අලුත උපන් බිළිඳුන්ගේ වර්ධනය සඳහා බාහිර ගර්භාෂ පරිසරයක් (Extend) ලෙස සඳහන් කරන දේ නිර්මාණය කරමින් සිටිති. ගැබ් ගැනීමේ සිට උපත දක්වා කළලයක් වර්ධනය කිරීම Extend මගින් අදහස් නොකරයි. අවශ්‍ය වුව ද එය කළ නොහැක්කකි. ඒ වෙනුවට, ඉන් තම ජීවිත කාලය පුරා ම ඇතිවිය හැකි සෞඛ්‍ය බලපෑම් රාශියකට මුහුණ දෙන, අතිශය නොමේරූ ළදරුවන්ගේ පැවැත්මේ අනුපාතය ඉහළ නැංවීම සඳහා උපකාර කිරීමට අදහස් කෙරේ.
සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න ගැබ් ගැනීමක් සති 40ක් පමණ පවතින අතර, සති 37දී ළදරුවන් පූර්ණ ලෙස වැඩී ඇතැයි සැලකේ. කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී ගර්භණී සමයේදී සංකූලතා ඇති වන අතර එය ඉක්මන් දරු ප්‍රසූතියකට හේතු විය හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වාසනාවකට මෙන්, පසුගිය දශක කිහිපය තුළ නවජ වෛද්‍ය විද්‍යාව අත් කර ගත් විශාල දියුණුවට ස්තූතිවන්ත වන්නට, බොහෝ නොමේරූ ළදරුවන්ගේ දිවි රැකෙන අතර ඉතා අඩු සංකූලතා සහිතව ඔවුහු රෝහලෙන් පිටව යති. ඉතා මෑතක ලබා ගත් දත්ත පෙන්නුම් කරන්නේ, දැඩි සත්කාර ලබා දෙන්නේ නම් සති 22දී උපදින බිළිඳුන්ගෙන් 30%ක් දිවි ගලවා ගන්නා බව ය.
"අවංකව ම, සති 28 සහ සති 27 දරුවෝ පවා සමස්තයක් ලෙස ගත්තා ම ඉතා හොඳින් ඉන්නවා," කැන්සස් සිටි ළමා මර්සි රෝහලේ නවජ ළමා රෝග විශේෂඥවරියක වන ස්ටෙෆනි කුකෝරා පවසයි.
"ඇත්ත වශයෙන් ම සති 22 සිට 23 දක්වා උපත ලබන ළදරුවන්ගේ තත්ත්වය තමයි බරපතළ වෙන්න පුළුවන්. අපිට විශ්වාසයක් තියන්න බැහැ ඒ අයගේ ජීවන තත්ත්වය හොඳ එකක් වේවි ද කියලා."
වෛද්‍ය උපකාරය ඇතිව ගර්භාෂයෙන් පිටත ජීවත් විය හැකි කාලය අද්දර (සති 22 සිට 23 දක්වා) උපදින බිළිඳුන් දැඩි සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙති. මෙම ළදරුවන් උපතේදී රාත්තල් 2ට (ග්‍රෑම් 900) වඩා අඩු බරකින් යුක්ත වන අතර දැඩි වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව දරුවා ජීවත් කරවීමට තරම් හෘදය, පෙනහළු, ආහාර ජීර්ණ අවයව සහ මොළය වැනි තීරණාත්මක අවයව වර්ධනය වී නොමැත.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
බොහෝ විට පැන නගින කෙටි කාලීන සංකූලතා අතරට නෙක්‍රොටයිසින් එන්ටරොකොලයිටිස් (NEC) ඇතුළත් වන අතර එය ආන්ත්‍රයික පටක (බඩවැල්) ප්‍රදාහයට ලක් වී මිය යාමට පටන් ගන්නා බරපතළ රෝගයකි. මෙම අවධියේ සිටින ළදරුවෝ ආසාදන, පෙනහළු, වකුගඩු, අක්මාව සහ අනෙකුත් අවයවවලට හානි කළ හැකි රුධිර පීඩනය ජීවිතයට තර්ජනයක් වන ලෙස පහත වැටෙන සෙප්සිස් සහ සෙප්ටික් කම්පන වැනි රෝගවලට ද ගොදුරු වෙති.
මේ අතර, අතිශය නොමේරූ ළදරුවන්ට බලපෑ හැකි දිගුකාලීන ගැටලු අතරට මස්තිෂ්ක ආඝාතය, මධ්‍යස්ථ සිට දරුණු මට්ටම දක්වා ඉගෙනීමේ අපහසුතා, පෙනීම සහ ශ්‍රවණාබාධ සහ ඇදුම ඇතුළත් වේ. ළදරුවන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා නිර්මාණය කර ඇති නවීන තාක්ෂණික උපාංග පවා - ඔක්සිජන් ආධාරක සහ වෙන්ටිලේටර් යන්ත්‍ර - ළදරුවන්ගේ ඉතා සුමට පෙනහලුවලට හානි කළ හැකි ය.
"ඒ මුල් ගර්භණී අවධියේදී පෙනහලු වර්ධනය වෙමින් පවතිනවා වගේ ම ඒවා තරලයකින් පිරිලා තියෙන්න ඕනේ," මිචිගන් විශ්වවිද්‍යාලයේ සී එස් මොට් ළමා රෝහලේ ශල්‍ය සහ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජෝර්ජ් මයිකලිස්කා පවසයි.
"නමුත් ඔවුන් ඉතා අඩු වයසින් ඉපදුනාට පස්සේ අපි ඔවුන්ගේ ශ්වාසනාලයට එන්ඩොට්‍රාකියල් බටයක් (endotracheal tube ) දාලා, පෙනහලුවලට අධික බලයකින් සහ පීඩනයකින් වාතය සහ ඔක්සිජන් ලබා දෙනවා. ඒකෙන් තුවාල සිද්ධ වෙන්න පුළුවන් කියලා හොඳට පෙන්නලා දීලා තියෙනවා."
කාලයාගේ ඇවෑමෙන් මෙම තුවාල හේතුවෙන් පෙනහලුවල තන්තුමය පටක සෑදීම සහ බ්‍රොන්කොපල්මනරි ඩිස්ප්ලේෂියා (bronchopulmonary dysplasia) හෝ නිදන්ගත පෙනහලු රෝග ඇති විය හැකි ය. දරුවන් බොහෝ විට රෝහලෙන් පිටව යන්නේ දිගු කාලීන ඔක්සිජන් ආධාරකයක අවශ්‍යතාව ඇතිව වන අතර ඔවුන්ගේ ජීවිත කාලය පුරා ම යාන්ත්‍රික වාතය ඔවුන්ට අවශ්‍ය වනු ඇත. එලෙස වෙන්ටිලේටර් යන්ත්‍රයක් භාවිත කිරීම දෘෂ්ටි විතානයට හානි කිරීමේ ත් ඒ ඔස්සේ අන්ධභාවයට පත් වීමේ අවදානම ත් ඉහළ දමයි. ඇසේ දෘෂ්ටි විතානය පෝෂණය කරන රුධිර නාල උපතට ආසන්න වන තුරු ම සම්පූර්ණයෙන් නොසෑදේ. ඕනෑවට වඩා ඔක්සිජන් ලබා දීම නව, අසාමාන්‍ය රුධිර නාලවල වර්ධනයට හේතු විය හැක, එය අවසානයේ දෘෂ්ටි විතානය වෙන් වීමට හේතු විය හැක.
කෘත්‍රිම ගර්භාෂ සහ වැදෑමහ පිටුපස ඇති අදහස නම්, පෙනහලුවල අවශ්‍යතාවකින් තොරව දරුවා පළමු හුස්ම ගැනීමට සූදානම් වන තෙක් කළලයට ආරක්ෂිත පරිසරයක අඛණ්ඩව වර්ධනය වීමට අවශ්‍ය කාලය ලබා දීම ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම තාක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන කණ්ඩායම් ත්‍රිත්වයකි. පෙනහලු සහ හදවත නිසි ලෙස ක්‍රියා නොකරන පුද්ගලයෙකුට උපකාර කළ හැකි කෘත්‍රිම ජීව ආධාරක ක්‍රමයක් වන extracorporeal membrane oxygenation (Ecmo) නම් දැනට පවතින ප්‍රතිකාර ක්‍රමය ඔවුහු මේ සඳහා ඇසුරු කරති. Ecmo ප්‍රතිකාර ක්‍රමයේදී, රෝගියාගේ ශරීරයෙන් පිටතදී කාබන් ඩයොක්සයිඩ් ඉවත් කර ඔක්සිජන් එකතු කරන යන්ත්‍රයකට රුධිරය පොම්ප කරනු ලැබේ. පසුව ඔක්සිජන් සහිත රුධිරය ශරීරයේ පටක වෙත ආපසු යවනු ලැබේ.
මෙම ක්‍රමය මගින් රුධිරයට හදවත සහ පෙනහලු "මග හැර" යාමට ඉඩ සලසමින්, මෙම අවයවවලට විවේක ගැනීමට සහ සුව වීමට අවශ්‍ය කාලය ලබා දෙයි. වැඩිහිටි ළදරුවන් සඳහා ද Ecmo ක්‍රමවේදය භාවිත කළ හැකි වුව ද, එය අතිශයින් ම නොමේරූ ළදරුවන් සඳහා සුදුසු නොවේ. කණ්ඩායම් තුන ම මෙම තාක්ෂණය කුඩා කිරීමට සහ අනුවර්තනය කිරීමට උත්සහ කරයි.
කෙසේ වෙතත්, මෙම නව නිපැයුමේදී භාවිත වන විවිධ උපාංගවල සියුම් වෙනස්කම් පවතී.
කළල ශල්‍ය වෛද්‍ය ඇලන් ෆ්ලේක්ගේ නායකත්වයෙන් යුත් CHOPහි විද්‍යාඥයෝ, ගර්භාෂයේ ඇම්නියොටික් තරලයට (amniotic fluid) සමාන තරලයක් පිරවූ බහාලුම් (pods) තුළ නොමේරූ ළදරුවන් ගිල්වා තැබීමට සැලසුම් කරති. පසුව ශල්‍ය වෛද්‍යවරුන් දරුවාගේ පෙකණි වැලේ කුඩා රුධිර නාල Ecmo වැනි උපකරණයකට සම්බන්ධ කරනු ඇත. ස්වභාවිකව සිදුවන ආකාරයට ම කළල හදවත භාවිතයෙන් ම ශරීරය වටා රුධිරය පොම්ප කෙරෙනු ඇත.
2017දී, ෆ්ලේක් සහ ඔහුගේ සගයෝ සති 23 සිට 24 දක්වා වයසැති මිනිස් කළලවලට සමාන නොමේරූ බැටළු පැටවුන් අටක් ගෙන මෙම කෘත්‍රිම ගර්භාෂය භාවිතයෙන් සති හතරක් ජීවත් කළහ. මෙම කාලය තුළ බැටළු පැටවුන් සාමාන්‍ය ලෙස වර්ධනය වූ අතර, ලොම් පවා වර්ධනය වනු දැකගත හැකි විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අනෙක් අතට, මිචිගන් විශ්වවිද්‍යාලයේ ජෝර්ජ් මයිකලිස්කාගේ කණ්ඩායම කෘත්‍රිම වැදෑමහ (කළල බන්ධය) ලෙස හඳුන්වන දෙය නිර්මාණය කරමින් සිටියි. මුළු කළලය ම දියරයේ ගිල්වනවාට වඩා, විශේෂයෙන් නිපදවන ලද තරලයකින් ළදරුවාගේ පෙනහලු පිරවීම සඳහා ශ්වසන නල භාවිත කිරීමට ඔවුහු සැලසුම් කරති. ඔවුන්ගේ පද්ධතිය සාම්ප්‍රදායික Ecmo යන්ත්‍රවල මෙන් ජුගුලර් නහර (jugular vein) හරහා හදවතේ සිට රුධිරය ඇදගන්නා නමුත් පෙකණිය නහර හරහා ඔක්සිජන් සහිත රුධිරය ආපසු ලබා දෙයි.
"මට ඕනේ උණේ බොහෝ ළදරුවන්ට පහසුවෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වගේ ම දැනට පවතින නවජ දැඩි සත්කාර ඒකකවල භාවිත කළ හැකි වේදිකාවක්," මයිකලිස්කා පවසයි.
"මේ තාක්ෂණයෙන් වැදෑමහෙන් සිද්ධ වෙන අසංඛ්‍යාත කාර්යයන් ප්‍රතිස්ථාපනය කරන්න අදහස් කරන්නේ නැහැ. ඒකෙදි අවධානය යොමු කරන්නේ, වායු හුවමාරුව කෙරෙහි සහ රුධිර පීඩනය, හෘද ස්පන්දන වේගය සහ භ‍්‍රෑණයේ රුධිර සංසරණය පවත්වා ගෙන යමින් නොමේරූ අවයව ආරක්ෂා කර ඒවාට අඛණ්ඩව වර්ධනය වීමට ඉඩ සැලසීම."
කෘත්‍රිම වැදෑමහ පිළිබඳව මෑතකදී සිදු කළ පරීක්ෂණයකදී, එම යන්ත්‍රය ආධාරයෙන් ජීවත් කරන ලද නොමේරූ බැටළු පැටවුන් ආරක්ෂිතව වෙන්ටිලේටර් යන්ත්‍රයක් වෙත මාරු කිරීමට පෙර දින 16ක් ජීවත් වූහ. මෙම කාලය තුළ ඔවුන්ගේ පෙනහලු, මොළය සහ අනෙකුත් අවයව හොඳින් වර්ධනය විය.
ඔස්ට්‍රේලියාවේ සහ ජපානයේ කණ්ඩායමක් වන තුන්වන කණ්ඩායම, ex vivo uterine environment (Eve) therapy නම් කෘත්‍රිම ගර්භාෂයක් නිර්මාණය කරමින් සිටියි. ඔවුන් අනෙක් කණ්ඩායම් දෙකට වඩා නොමේරූ සහ රෝගී භ‍්‍රෑණ සඳහා ප්‍රතිකාර කිරීම අරමුණු කර ගෙන ඇත.
"අපි දැන් ඉන්නේ ග්‍රෑම් 500ක [බැටළු පැටවෙකුගේ] කළලයක් ගෙන සති දෙකක කාලයක් සඳහා පුළුල් ලෙස සාමාන්‍ය කායික විද්‍යාත්මක තත්ත්වයක් ලෙස මා විස්තර කරන ආකාරයට එය ජීවත් කළ හැකි තැනක," Eve ව්‍යාපෘතිය මෙහෙයවන සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ මහාචාර්ය මැට් කෙම්ප් පවසයි.
"ඒක ඉතා හොඳ ජයග්‍රහණයක්, නමුත් අනෙක් පැත්ත බලද්දී, මෙම කළලවල වර්ධනය අසාමාන්‍ය යි."
කෘත්‍රිම වැදෑමහ/ගර්භාෂ භාවිතයෙන් සිදු කරන ලද බොහෝ පරීක්ෂණ සඳහා යොදා ගෙන ඇත්තේ නිරෝගී බැටළු කළල වන අතර එම පැටවුන් ඉවතට නොගත්තේ නම්, ගර්භණී කාලය සම්පූර්ණ වීමෙන් අනතුරුව සාමාන්‍ය ලෙස උපත ලැබීමට ඉඩ තිබිණි. ගැටලුව වන්නේ, මව හෝ කළලය තුළ ඇති වන සෞඛ්‍ය සංකූලතා නිසා අතිශයින් ම නොමේරූ ළදරුවන් බොහෝ විට කලින් උපත ලැබීම ය. එබැවින් ඔවුන්ට ප්‍රතිකාර කිරීම වඩා ත් අපහසු වේ.
"අපි තරමක් රෝගී තත්වයක හිටපු කළල සමග සිදු කළ එක් අත්හදා බැලීමක, ඒ සතුන් කළමනාකරණය කිරීම වඩා ත් දුෂ්කර වුණා," කෙම්ප් පවසයි.
"ඒ සත්තුන්ගේ වර්ධනය තවත් අවුල් වගේ ම රුධිර පීඩනය සහ සංසරණය සාමාන්‍ය තත්ත්වයක තබා ගැනීම තවත් දුෂ්කරයි. ඒ නිසා, ඔව්, අපි යම් හොඳ ප්‍රගතියක් ලබමින් ඉන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ දේවල් තවත් ගොඩක් තියෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එසේ නම්, රෝහල්වල කෘත්‍රිම වැදෑමහ සහ ගර්භාෂ අපට කෙතරම් ඉක්මනින් දැකගත හැකි වනු ඇති ද? CHOP බොහෝ විට මෙම නිපැයුම් ක්‍රියාවලියේ ඉදිරියෙන් ම සිටිනු ඇත. මෙම කණ්ඩායම මෑතකදී ෆෙඩරල් ඖෂධ පරිපාලනය (FDA) වෙත අයැදුම් කළේ, Extendහි මානව අත්හදා බැලීම් ආරම්භ කිරීමට අවසර ලබා ගැනීම සඳහා ය. අනෙක් අතට, මයිකලිස්කා බලාපොරොත්තු වන්නේ, තම කණ්ඩායම අලුත උපන් දරුවෙකුගේ කුඩා රුධිර වාහිනී සමග සාර්ථකව කටයුතු කිරීම සඳහා ඔවුන්ගේ පද්ධතිය තවදුරටත් කුඩා කිරීමෙන් පසුව වසර තුන හතරක පමණ කාලයකදී මිනිස් සායනික අත්හදා බැලීම් කරා ගමන් කිරීමට ය.
කෙසේ වෙතත්, කෙම්ප් තවමත් සිතන්නේ කෘත්‍රිම ගර්භාෂ තුළ කළල වර්ධනය වන ආකාරය පිළිබඳ අපගේ දැනුමේ මූලික හිඩැස් ඇති අතර ඒවා අප අත්හදා බැලීම්වලට යාමට පෙර පිරවිය යුතු බව ය.
"අපි හිතනවා ඉතා කුඩා කළලයකට සාමාන්‍ය ආකාරයෙන් තමන්ගේ ම වර්ධනය මෙහෙයවීමේ හැකියාවක් නොමැති බව ඉතා පැහැදිලියි කියලා සහ රෝගී වූ විට ඒ තත්ත්වය උත්සන්න වෙනවා කියලත්," කෙම්ප් පවසයි.
"ඒ නිසා අපි උත්සහ ගන්නවා සාමාන්‍ය වර්ධන ක්‍රියාවලීන් මෙහෙයවීම සඳහා වැදෑමහ කොහොම ද දායක වෙන්නේ කියන එක තේරුම් ගන්න. මේ ගැන තමයි අපි කටයුතු කරමින් ඉන්නේ. සරලව කිව්වට ඒක සංකීර්ණ වැඩක්."
සදාචාරාත්මක කරුණු ද ඇත. මෑතකදී පළ වුණු ලිපියක, ස්ටෙෆනි කුකෝරා තර්ක කරන්නේ, සුවිශේෂී ආකාරයේ ආචාරධාර්මික අභියෝග නිර්මාණය කරන වෙනස් තාක්ෂණයන් අතර සියුම් වෙනස්කම් ඇති බව ය. නිදසුනක් වශයෙන්, EVE සහ CHOP කණ්ඩායම් දෙකෙහි ම කෘත්‍රිම ගර්භාෂ සඳහා පෙකණි වැලට කැනියුලාවක් සවි කිරීම අවශ්‍ය වන බැවින්, උපතින් පසු පෙකණි ධමනිය ඉක්මනින් වැසී යන බැවින්, ළදරුවන් මවගේ සිට උපාංගය වෙත වහා ම මාරු කළ යුතු ය. එසේ නොමැති නම්, යෝනි මාර්ගයෙන් දරු ප්‍රසූතියක් සිදු කළ හැකි මව්වරුන්ට ඉක්මනින් සිසේරියන් සැත්කමක් කිරීමට සිදුවනු ඇත.
"සිසේරියන් සැත්කමක් කලින් කරද්දී, ඒක නියමිත ගර්භණී කාලයේදී කරන විධියට ඒක කරන්න බැහැ," කුකෝරා පවසයි.
"ඒකෙදි ගර්භාෂයේ මාංශපේශී තට්ටුව හරහා කැපුමක් යොදනවා. ඒක අනාගත ගැබ්ගැනීම් කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි යි. ඒ කියන්නේ, බබා නියමිත කාලය දක්වා ගර්භාෂයේ සිටීවි ද සහ යෝනි මාර්ගයෙන් දරුවා බිහි කළ හැකි ද යන්න පිළිබඳව."
යෝනි මාර්ගයෙන් සිදුවන උපතකට සාපේක්ෂව මෙම ක්‍රියා පටිපාටිය හා සම්බන්ධ අවදානම් තත්ත්ව ඇති අතර එහිදී ඒ පිළිබඳව දැනුවත් කර කැමැත්ත ලබා ගන්නේ ද යන ගැටලු මතු කරයි
"මම හිතන්නේ ඒවායින් විශාලතම එකක් තමයි මෙම අත්හදා බැලීම ගැන අපි අනාගතයේ දෙමාපියන් වෙන්න ඉන්න අය එක්ක කතා කරන්නේ කොහොම ද කියන එක." කුකෝරා පවසයි.
"මෙම දුක්ඛිත තත්ත්වයට මුහුණ දෙන අම්මෙක් ගැන ඔබට හිතන්න පුළුවන්. සති 22දී දරුවෙක් ලැබිලා ඒ දරුවා ඉන්න දුර්වල තත්ත්වය ගැන උපදෙස් ලැබුණු. ඒ වගේ ම පරීක්ෂා නොකළ ත් අලුත් ප්‍රතිකාරයක් ගැන උනන්දු වෙන. අම්මලා තාත්තලා තමන්ගේ බිළිඳා වෙනුවෙන් ඕනෑ ම දෙයක් කරාවි."
ළදරුවෙකු වහා ම Extend පද්ධතියට මාරු කිරීමේ තවත් ගැටලුවක් වන්නේ, සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රමයේදී එම දරුවා කෙසේ ජීවත්වනු ඇති ද යන්න තක්සේරු කිරීමට අවස්ථාවක් නොමැති වීම ය.
"Extend පද්ධතියට යන්නේ කවුරුන් ද යන්න තීරණය කිරීමට ගර්භණී වයස හැර ඔබට වෙනත් දත්ත නැහැ – මොකද, දරුවා තවමත් ඉපදී නැති නිසා, ඔවුන්ගේ තත්ත්වය කොහොම වේවි ද කියලා දන්නේ නැති නිසා," මයිකලිස්කා පවසයි.
සම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම සඳහා හොඳින් ප්‍රතිචාර දැක්විය ළදරුවන්ට ඒ වෙනුවට පරීක්‍ෂා නොකළ, අවදානම පිළබඳව එතරම් තක්සේරු කර නොමැති නව තාක්ෂණයකින් ප්‍රතිකාර කළ හැකි බව මෙයින් අදහස් විය හැකි ය. කෙසේ වෙතත්, මයිකලිස්කා විශ්වාස කරන්නේ, සති 22-23 ගර්භණී වයසේදී, මරණයට පත් වීමේ අවදානම ඉහළ හා රෝගාබාධවලට ගොදුරු වන බව දන්නා බොහෝ නොමේරූ ළදරුවන්ට Extend ප්‍රතිකාර ක්‍රමය ප්‍රයෝජනවත් වනු ඇති බව ය.
පෙකණි ධමනියෙන් නොව ජුගුලර් නහරයෙන් රුධිරය ලබා ගන්නා බැවින්, මයිකලිස්කාගේ කෘත්‍රිම වැදෑමහ මත ළදරුවන් තැබීමට වෛද්‍යවරුන්ට වැඩි කාලයක් ලැබේ. මෙය වෛද්‍යවරුන්ට රෝගී ළදරුවන් පමණක් පරීක්ෂණයේ ප්‍රතිකාර සඳහා මාරු කිරීමේ අරමුණින්, උපතින් පසු ළදරුවන්ගේ "අවදානම් මට්ටම තක්සේරු" කිරීමට ඉඩ සලසනු ඇත. ළදරුවන්ට ප්‍රථමයෙන් සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම මගින් ප්‍රතිකාර කළ හැකි අතර, ඔවුන් ඊට යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් පසුව කෘත්‍රිම වැදෑමහ වෙත මාරු කළ හැකි ය. අනෙක් තාක්ෂණයන් දෙක මෙන් නොව, මව්වරුන්ට තම දරුවන් යෝනි මාර්ගයෙන් ප්‍රසූත කළ හැකි ය.
කුමන තාක්‍ෂණයක් පළමුව පරීක්‍ෂණ කරා ළඟා වුව ද, පරීක්‍ෂණවලට පළමුව සහභාගිවන්නන් සාම්ප්‍රදායික ප්‍රතිකාර භාවිතයෙන් හොඳ ප්‍රතිඵලයක් සහිතව ජීවත් වීමට ඉතා අඩු අවස්ථාවක් ඇති සති 24ට පෙර උපත ලැබූ ළදරුවන් විය හැකි ය.
"මම හිතන්නේ තාක්‍ෂණය නොමේරූ ළදරුවන් සම්බන්ධ විෂය ක්‍ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරයි. ඒ වගේ ම කෘත්‍රිම වැදෑමහ සහ Extend ප්‍රවේශයන් සායනික භාවිතයේදී එක්ව කටයුතු කරාවි," මයිකලිස්කා පවසයි.
"නමුත් එහි, ආරක්ෂාව පිළිබඳ මූලික අත්හදා බැලීමකදී තක්සේරු කළ යුතු අවදානම්සහගත තත්ත්වයන් නැතුවා නොවෙයි. මම හිතන්නේ, මෙම තාක්ෂණය ආරම්භයේදී යොදා ගන්න ඕනේ, ජීවත් වීමට අඩු ඉඩක් ඇති දරුවන් සඳහා. මේ තාක්ෂණයේ අවදානම් සහ කාර්යක්ෂමතාව තීරණය කළාට පස්සේ නොමේරූ ළදරුවන් දක්වා ඒක ව්‍යාප්ත කරන්න පුළුවන්."
මෙම තාක්ෂණික ක්‍රම තුන ම සාර්ථක වුවහොත්, එය අනපේක්ෂිත ලෙස නොමේරූ දරු ප්‍රසූතියන්ට මුහුණ දෙන දෙමාපියන්ට තම බිළිඳා ජීවත් කිරීමට බලාපොරොත්තුවක් ලබා දෙනු ඇත.












