ඊශ්‍රායල්-හිස්බුල්ලා ගැටුම සිතියම් ඇසුරෙන්: ලෙබනනයේ සටන් සිදුවන්නේ කොහේ ද?

    • Author, දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම
    • Role, බීබීසී පුවත්

ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානය සමග පවතින ගැටුම හදිසියේ උත්සන්න කරමින් දකුණු ලෙබනනය ආක්‍රමණය කර තිබේ.

ඉකුත් සඳුදා රාත්‍රියේ ඊශ්‍රායල ගොඩබිම් මෙහෙයුම ආරම්භ වූයේ, ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ පිටුබලය ලබන එම සන්නද්ධ කණ්ඩායමේ නායක හසන් නස්රල්ලා ඝාතනය කිරීමෙන් දින කිහිපයකට පසුව ය.

හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇත්තේ, ලෙබනන් බලධාරීන් පවසන පරිදි මිනිසුන් 1,000කට වැඩි පිරිසකට මරු කැඳවා තවත් මිලියනයක පමණ පිරිසක් අවතැන් කළ සති දෙකක කාලයක් පුරා ලෙබනනය වෙත බෝම්බ ප්‍රහාර ගුවනින් එල්ල වූ පසුබිමක ය.

ඊශ්‍රායලයට හිස්බුල්ලා සංවිධානය සමග දශක ගණනාවක ගැටුම් ඉතිහාසයක් ඇති නමුත් ගාසා තීරයේ ක්‍රියාත්මක යුද්ධය වසරක පමණ කාලයක් ඔවුන් අතර මාරාන්තික දේශසීමා ගැටුම් ඇති කිරීමට තුඩු දී තිබේ.

මෙම ගැටුම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ගැනීමට අපි මෙම ලිපියෙහි අන්තර්ගත සිතියම් අඛණ්ඩව යාවත්කාලීන කරන්නෙමු.

ලෙබනනය පිහිටා ඇත්තේ කොතැන ද?

ලෙබනනය යනු උතුරින් සහ නැගෙනහිරින් සිරියාව, දකුණින් ඊශ්‍රායලය සහ බටහිරින් මධ්‍යධරණී මුහුදට මායිම් වන මිලියන 5.5ක පමණ ජනගහනයක් වෙසෙන කුඩා රටකි. එය සයිප්‍රසයේ සිට කිලෝමීටර් 170ක් (සැතපුම් 105) පමණ දුරින් පිහිටා ඇත.

ඊශ්‍රායල් හමුදා සිටින්නේ කොහේ ද?

ඊශ්‍රායල ආරක්ෂක බළකාය (IDF) පවසන්නේ, හිස්බුල්ලා සංවිධානයේ "ත්‍රස්තවාදී යටිතල ව්‍යුහය" අකර්මණ්‍ය කිරීම සඳහා දකුණු ලෙබනනයේ "සීමිත, ප්‍රාදේශීය සහ ඉලක්කගත ගොඩබිම් වැටලීම්" සිදු කරන බව ය.

ඔවුන්ගේ ලෙබනන ආක්‍රමණයේ දෙවන දිනය සම්පූර්ණ වූ ඉකුත් බදාදා ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සටන්කාමීන් ප්‍රථම වරට මුහුණට මුහුණ හමු වූ බව උතුරු ඊශ්‍රායලයේ සිටින බීබීසීයේ නික් බීක් පවසයි.

ඊශ්‍රායල් ආරක්ෂක බළකාය පැවසුවේ, සිය සෙබළුන් විසින් දකුණු ලෙබනනයේ ප්‍රදේශ කිහිපයක "නිශ්චිත ඉලක්කවලට පහර දිය හැකි යුද්ධෝපකරණ සහ සමීප පරාසයක සිට සටන් කිරීම් මගින් ත්‍රස්තවාදීන් තුරන් කර ත්‍රස්තවාදී යටිතල පහසුකම් අකර්මණ්‍ය කරනු ලැබූ," බව ය.

ක්‍රියාන්විතයේදී සෙබළුන් අට දෙනෙකු මිය ගිය බව පසුව ඊශ්‍රායල් ආරක්ෂක බළකාය නිවේදනය කළේ ය. 6 දෙනෙකු හිස්බුල්ලා සටන්කාමීන්ගේ අනපේක්ෂිත ප්‍රහාරයකට ලක්ව මිය ගිය බවත් තවත් දෙදෙනකු මෝටාර් ප්‍රහාරයකින් මිය ගිය බවත් වාර්තා වේ.

දේශසීමාව ආසන්නයේ වූ ගම්මානයක සිදුවූ ගැටුම් අතරතුර ඊශ්‍රායල් කමාන්ඩෝ භටයින් වෙත තම සටන්කාමීන් යුද්ධ ටැංකි නාශක මිසයිල ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පැවසීය. කෆීර් කිලා නගරයට ආසන්න ප්‍රදේශවලදී අනෙකුත් භට පිරිස්වල පුපුරණ ද්‍රව්‍ය හා වෙඩි ප්‍රහාරවල ඉලක්ක වූ බවත් ඊශ්‍රායල් මර්කාවා යුද්ධ ටැංකි තුනක් මරුන් අල්-රාස් අසලදී මිසයිල ප්‍රහාරවලින් විනාශ වූ බවත්, ඇඩයිසේ සහ යරූන්හිදී ද ගැටුම් ඇති වූ බවත් ඔවුහු පැවසූහ.

දකුණු ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම ඊශ්‍රායල් හමුදාවන්ට බොහෝ අවදානම්සහගත ය. ගාසා තීරයේ සමතලා වෙරළබඩ තැනිතලා මෙන් නොව, දකුණු ලෙබනනයේ කුඩා සහ විශාල කඳු සහිත භූමි ප්‍රදේශයක් ඇති බැවින් අනපේක්ෂිත ප්‍රහාරයකට ලක් වනු ඇති බවට වන බියෙන් තොරව පහසුවෙන් එහා මෙහා ගමන් කිරීම අසීරු වේ.

2006 දින 34ක් පැවති යුද්ධයේ සිට ඊශ්‍රායලය සමග තවත් පූර්ණ පරිමාණ ගැටුමකට සූදානම් වෙමින් සිටි හිස්බුල්ලා සංවිධානයට කලාපය තුළ උමං ජාලයක් ද ඇතැයි සැලකේ.

ඊශ්‍රායල් ආරක්ෂක බළකාය විසින් දකුණු ලෙබනනයේ ඇතැම් ගම්මානවල වෙසෙන ජනතාවට ඉවත් වන ලෙස නියෝග කරනු ලැබ ඇති අතර, ඉතිරිව සිටින පුද්ගලයින්ට තම නිවෙස් අතහැර "වහා ම අවාලි ගඟේ උතුරු දෙසට යන ලෙස" දන්වා ඇත. එම ගඟ ඊශ්‍රායල දේශ සීමාවේ සිට කිලෝමීටර් 50ක් (සැතපුම් 30) පමණ දුරින් මුහුදට එක් වේ.

දේශසීමාවේ සිට කිලෝමීටර් 30ක් (සැතපුම් 20ක්) උතුරින් පිහිටි ලිටානි ගඟ හරහා දකුණට ගමන් කිරීමට වාහන භාවිත නොකරන ලෙසට ද ලෙබනන් සිවිල් වැසියන්ට ඊශ්‍රායල් ආරක්ෂක බළකාය විසින් අනතුරු අඟවනු ලැබ ඇත.

වසරකට පමණ පෙර ගැටුම උත්සන්න වීමට ප්‍රථම මිලියනයක් පමණ ජනයා දකුණු ලෙබනනයේ ජීවත් වූහ. සැප්තැම්බර් මස අගදී කලාපයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වීම උත්සන්න වූ දා සිට දස දහස් ගණනක් උතුරට පළා යමින් සිටිති.

හසන් නස්රාල්ලා මෙන් ම ඉරානයේ ඉහළ ම අණදෙන නිලධාරියෙකු ද ඝාතනය කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස අඟහරුවාදා රාත්‍රියේ ඊශ්‍රායලය දෙසට ඉරානය විසින් දියත් කරන ලද බැලස්ටික් මිසයිල 180කට වැඩි සංඛ්‍යාවෙන් අතිමහත් බහුතරයක් වැළැක්වීමෙන් දිනකට පසු ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ ක්‍රම බදාදා යළිත් ක්‍රියාත්මක විය.

ඊශ්‍රායල් ආරක්ෂක බළකායට අනුව, දකුණු ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලය දෙසට රොකට් 240කට වැඩි ගණනක් දවස පුරා එල්ල වී ඇත.

ඊශ්‍රායලයේ දකුණු ලෙබනන් ආක්‍රමණය ආරම්භ වූයේ, ඊශ්‍රායල් හමුදාව පවසන පරිදි එරට දකුණු ප්‍රදේශයේ, නැගෙනහිර බෙකා නිම්නයේ සහ බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශවල සිටි හිස්බුල්ලා සාමාජිකයින් ඉලක්ක කරගෙන එල්ල කළ දරුණු ගුවන් ප්‍රහාරවලින් සති දෙකකට පමණ පසුව ය.

ඊශ්‍රායලය පවසන්නේ, තමන් ආයුධ ගබඩා සහ පතොරම් සඟවා ඇති ස්ථාන ඇතුළු හිස්බුල්ලා කඳවුරුවලට පහර දෙන බව ය. නමුත් ලෙබනන් බලධාරීන් පවසන්නේ, ඊශ්‍රායල් ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමුන් 100කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ය.

දකුණු ලෙබනනයෙන් පළා යාමට උත්සහ කරන ලෙබනන් සිවිල් වැසියන් සඳහා, උතුරු දෙසට ගමන් කිරීමට ඇති ප්‍රධාන මාර්ගය වන්නේ, රටේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා දිවෙන වෙරළබඩ මාර්ගය යි. නමුත් එම මාර්ගයේ ප්‍රදේශ පසුගිය දිනවල ගුවන් ප්‍රහාරවලට ලක් විය.

හිස්බුල්ලා සංවිධානය විසින් මෑතකදී එල්ල කරන ලද රොකට් ප්‍රහාර බහුතරයක් උතුරු ඊශ්‍රායලයේ ප්‍රදේශ ඉලක්ක කරගෙන එල්ල විය. නමුත් ඇතැම් රොකට් ප්‍රහාර දකුණට ප්‍රදේශය වෙත එල්ල වී ඇති අතර එමගින් වෙරළබඩ නගරයක් වන හයිෆා ආසන්නයේ පිහිටි නිවාසවලට හානි සිදුවිය.

බේරූට් වෙත එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාර ඉලක්ක වන්නේ, දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් ගණනක් සිටින සහ ශක්තිමත් හිස්බුල්ලා පැවැත්මක් ඇති ජනාකීර්ණ ප්‍රදේශයක් වන ඩහියේ වෙත ය.

ඊශ්‍රායලය දැන් ලෙබනනය, ගාසා, ඉරාකය, සිරියාව සහ යේමනය යන රටවල ක්‍රියාත්මක වන ඉරානය, සිරියාව සහ ඉරානයේ පිටුබලය ලබන කණ්ඩායම් ඇතුළු කලාපයේ රටවල් කිහිපයක සන්නද්ධ හමුදා සහ රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් සමග යුද්ධ ගැටුම්වල නියැළී සිටී.

ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරය නවතම උණුසුම් තත්ත්වය නිර්මාණය වීමට තුඩු දුන්නේ ය.

මීළඟට කුමක් සිදුවේ ද යන්න අපැහැදිලි නමුත් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම ප්‍රහාරය ඉරානය "වන්දි ගෙවිය යුතු විශාල වැරැද්දක්" ලෙස විස්තර කර තිබේ.