ආක්‍රමණශීලී විදේශීය මත්ස්‍ය විශේෂ හතරක් තහනම් කිරීමට තීරණයක්: තහනමට ලක්වන මත්ස්‍ය විශේෂ මොනවා ද?

Piranha fish (Pygocentrus nattereri) are seen in the zoological garden in Dehiwala, Sri Lanka, on November 5, 2023.

ඡායාරූප මූලාශ්‍රය, Photo by Thilina Kaluthotage / NurPhoto via Getty Images

ශ්‍රී ලංකාවේ දේශීය ජලජ පරිසර පද්ධතියට සහ ස්වදේශික මත්ස්‍ය සම්පතට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී විදේශීය මත්ස්‍ය විශේෂ හතරක් ආනයනය, ළඟ තබා ගැනීම, අභිජනනය සහ විකිණීම තහනම් කිරීමට පියවර ගැනීමට නියමිත බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, (සැප්. 15) දින පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ අනන්‍ය වූ ජලජ පරිසර පද්ධතිය සහ දේශීය මත්ස්‍ය සම්පත ආරක්ෂා කිරීම රජයේ ප්‍රධාන වගකීමක් බව ය.

"ඒ අතර ම, රටට විදේශ විනිමය ගෙන එන විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ශක්තිමත් කිරීමත් අපේ අරමුණයි. මේ අංශ දෙක ම සමබරව කළමනාකරණය කරමින්, පරිසරයට හානි කරන ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ තහනම් කිරීමට අපි තීරණය කළා," ඔහු පැවසීය.

මෙය කිසිසේත් ම විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට එරෙහිව ගත් පියවරක් නොව, එය තිරසර ලෙස ඉදිරියට ගෙන යාමට ගත් තීරණයක් බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එමෙන් ම, දැදුරු ඔයේ පැතිර යන ආක්‍රමණශීලී මත්ස්‍ය ගහනය පාලනය කිරීමට ප්‍රජා සහභාගීත්වයෙන් දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.

දැඩි නීති පැනවෙන මත්ස්‍ය වර්ග මොනවා ද?

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස පෙන්වා දුන්නේ මත්ස්‍ය වර්ග 4ක් සඳහා දැඩි නීති පැනවීමට නියමිතය බව ය.

ඒ අනුව,

  • පිරානා (Piranha),
  • නයිෆ් ෆිෂ් (Knife Fish),
  • ඇලිගේටර් ගාර් (Alligator Gar) සහ
  • රෙඩ් ලයින් ස්නේක්හෙඩ් හෙවත් ජයන්ට් ස්නේක්හෙඩ් (Redline Snakehead / Giant Snakehead)

යන මත්ස්‍ය විශේෂ සඳහා මෙම තහනම බලපැවැත්වෙනු ඇත.

මෙම නව නියෝග ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි සෙනසුරාදා (සැප්. 20) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද මෙම මාධ්‍ය හමුවේදී සඳහන් විය.

මෙම මසුන් ඇති කරන්නන් සඳහා විශේෂ දැනුම් දීමක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නව නීති හේතුවෙන් දැනට මෙම මසුන් ඇති කරන්නන් බියට පත් වී ඔවුන් සතු මසුන් ස්වභාවික ජල පද්ධතිවලට මුදා නොහරින ලෙස ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය පැවසීය.

"ඒ වෙනුවට, ඔබ සතු මසුන් පිළිබඳව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) වෙත වහා ම දැනුම් දෙන්න. එම මසුන් කළමනාකරණය සඳහා අපි සහය වෙනවා," ඔහු සඳහන් කළේ ය.

අපනයනය සඳහා යොමු කිරීම, අධිකාරිය වෙත භාර දීම, විශේෂ බලපත්‍ර මත ළඟ තබා ගැනීම ආදී කළමනාකරණ පියවර එහිදී ගැනීමට නියමිත ය.

ඒ අනුව අපනයනය සඳහා යොමු කිරීමේදී අපනයනකරුවන් සමග සම්බන්ධ වී, නීතිය ක්‍රියාත්මක වීමට පෙර එම මසුන් විදේශ රටවලට අපනයනය කිරීමට අවස්ථාව සලසා දීම සිදුවන අතර අධිකාරිය වෙත භාර දීමේදී අපනයනයට අවස්ථාවක් නොමැති නම්, එම මසුන් නැක්ඩා ආයතනය වෙත භාර දීමට ඉඩ සැලසේ.

භාර දෙනු ලබන මසුන් විනාශ නොකොට, බලයලත් ප්‍රදර්ශනාගාර වැනි සුදුසු ස්ථානවල ඔවුන්ගේ ස්වභාවික ජීවිත කාලය අවසන් වන තුරු රැකබලා ගැනීමට කටයුතු යොදන බව සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.

තව ද ඉතා සීමිත අවස්ථාවන්හිදී, විනෝදාංශයක් ලෙස මෙම මසුන් තවදුරටත් ළඟ තබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා, නියාමනයකට යටත්ව බලපත්‍රයක් නිකුත් කිරීමේ හැකියාව පිළිබඳව ද සොයා බලන බව ඔහු පැවසීය.

"මේ ආදරයෙන් ඇතිදැඩි කළ සතුන්ගෙන් ඔබට හෝ රටට හානියක් නොවන ලෙස වෙන්වීමට අපි උදව් කරනවා. ඒ නිසා කලබල නොවී අප දැනුවත් කරන ලෙස නැවතත් ඉල්ලා සිටිනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.

'දැදුරු ඔය Fishing Tournament 2025' සංරක්ෂණ මෙහෙයුම

දැනටමත් දැදුරු ඔය ජලාශයේ වසර දෙකක් වැනි කෙටි කලක් තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති 'ජයන්ට් ස්නේක්හෙඩ්' මත්ස්‍ය ගහනය පාලනය කිරීමේ අරමුණින්, "දැදුරු ඔය Fishing Tournament 2025" නමින් විශේෂ මසුන් ඇල්ලීමේ තරගයක් සහ සංරක්ෂණ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය පවසයි.

සැප්තැම්බර් 20 වන සෙනසුරාදා දින පැවැත්වෙන මෙම වැඩසටහන ධීවර අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ පැවැත්වෙනු ඇත.