2024 T20 ලෝක කුසලානයට ඇමෙරිකාවේ ක්‍රිකට් තණ තීරු සැකසෙන්නේ කොහොමද?

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් මාසයකට අඩු කාලයකි.

ඡායාරූප මූලාශ්‍රය, ICC

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් මාසයකට අඩු කාලයකි.

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය දරනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත්ය.

මෙවර තරගාවලියේ සම සත්කාරකත්වය හිමිවී තිබෙන ඇමෙරිකාව ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පවත්වනු ලබන පළමු අවස්ථාව මෙය වන අතර ඒ සඳහා මේ වන විට ක්‍රීඩාංගණ ඉදිකිරීමේ කටයුතු වෙගවත්ව සිදුවෙමින් පවතී.

ඇමෙරිකාවේ ඉදිවෙන නවතම ක්‍රිකට් පිටියේ තතු

ඇමෙරිකාවේ නැගෙනහිර මෑන්හෑටන් හි ඉදිකෙරෙන මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය එරට තුළ ඉදිවෙන තෙවන ක්‍රිකට් ක්‍රීඩාංගණය වේ.

එම ක්‍රීඩාංගණය නම් කර ඇත්තේ නාසාව් කවුන්ටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසය.

මෙම ක්‍රීඩාංගණයේ දී එකවර ප්‍රේක්ෂකයින් 34,000 දහසකට අසුන් ගැනීමට හැකියාව ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත.

මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු තරගය, පැවැත්වෙනු ලබන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතරය. ඒ එළඹෙන ජුනි 03 වැනිදාය.

ඡායාරූප මූලාශ්‍රය, ICC

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු තරගය ජුනි 03 වැනිදා පැවැත්වෙනු ලබන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතරය

මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු තරගය, පැවැත්වෙනු ලබන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතරය. ඒ එළඹෙන ජුනි 03 වැනිදාය.

මෙවර T20 ලෝක කුසලානයට තරගවදින කණ්ඩායම් 20න් 9ක් ලබන මාසයේ නිව්යෝර්ක් ක්‍රීඩාංගණයේදී වැදීමට නියමිත අතර, ලොවපුරා ක්‍රිකට් ලෝලීන් වඩාත් උනන්දුවෙන් බලා සිටින ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය ද ජූනි 9 වැනිදා එහි පැවැත්වීමට නියමිතය.

සත්කාරක ඇමරිකා එක්සත් ජනපදය, අසල්වැසි කැනඩාව, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය සහ බංගලාදේශය තරගාවලිය සඳහා ඉදිකෙරුණු නාසාව් කවුන්ටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරනු ඇත.

මෙම ක්‍රීඩාංගණයට අමතරව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා සහ ඩලස් හි පිහිටා තිබෙන ක්‍රීඩාංගණ දෙකකදී ද ලෝක කුසලාන තරග පැවැත්වීමට නියමිත ය.

ක්‍රීඩාංගණයේ තණ තීරු සැකසීම

නාසාව් කවුන්ටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරු ඇතිරීම මේ වන විට සිදුකරමින් පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

එම තණ තීරු සැකසීම සිදුකර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් ටර්ෆ් සෝලුෂන්ස් ආයතනය විසිනි.

ඔවුන් ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හිදී පසුගිය වසරේ අග භාගයේ සිට මෙම තණ තීරු සැකසීම ආරම්භ කර ඇති අතර, ක්‍රීඩාංගණය සඳහා සකස් කර ඇති සමස්ත තණ තීරු සංඛ්‍යාව 10කි.

එලෙස සකස් කරන ලද තණ තීරු ට්‍රක් රථ 20ක ආධාරයෙන් නාසා කවුන්ටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය වෙත ෆ්ලොරිඩා හි සිට ප්‍රවාහනය කිරීමෙන් පසු ඒවා ක්‍රීඩාංගණයේ ඇතිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

ක්‍රීඩාංගණය තණ තීරු 04කින් සමන්විත වන අතර අනෙක් තණ තීරු හය පුහුණු කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට නියමිතව ඇත.

මෙම තණ තීරු සැකසීම සහ ඇතිරීම සිදුකරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් ටර්ෆ් සෝලුෂන්ස් ආයතනයේ ප්‍රධාන තණ තීරු සකසන්නා වන ඩේමියන් හෆ් ගේ අධීක්ෂණය යටතේය.

ඡායාරූප මූලාශ්‍රය, ICC

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම තණ තීරු සැකසීම සහ ඇතිරීම සිදුකරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් ටර්ෆ් සෝලුෂන්ස් ආයතනයේ ප්‍රධාන තණ තීරු සකසන්නා වන ඩේමියන් හෆ් ගේ අධීක්ෂණය යටතේය

මෙම තණ තීරු සැකසීම සහ ඇතිරීම සිදුකරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් ටර්ෆ් සෝලුෂන්ස් ආයතනයේ ප්‍රධාන තණ තීරු සකසන්නා වන ඩේමියන් හෆ් ගේ අධීක්ෂණය යටතේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවියට අදහස් දක්වමින් ඩේමියන් හෆ් පැවසුවේ මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඇමෙරිකාවේ පැවැත්වෙන තරග වලදී පිත්ත සහ පන්දුව අතර හොඳ තරගයක් දැක බලා ගැනීමට අවස්ථාවක් උදාවනු ඇති බවය.

"හොඳ විස්සයි20 තණතීරුවක් ලැබී ඇති කියා අපි බලාපොරොත්තු වෙනවා. එහි හොඳ වේගයක්, හොඳ ඉපිලීමක් වගේම එල්ල කරන පහරවල් සඳහා වටිනාකමක් එකතු වෙයි."

"ඔබට අවශ්‍ය වන්නේ පිතිකරුවන් පිටිය පුරා පහරවල් ක්‍රීඩා කරනවා දකින්න හැකිවීමයි. අපගේ අභිලාෂය වූනේ ඒ සඳහා වූ තණතීරු සැකසීමයි." ප්‍රධාන තණ තීරු සකස් කරන්නාවූ ඩේමියන් හෆ් පැවසීය.

තණ තීරුවේ හැසිරීම කොයි වගේද කියලා කියන්න බැහැ

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඇමෙරිකාවේ ඉදිකෙරෙන මෙම ක්‍රීඩාංගණවල තණ තීරුවේ හැසිරීම කුමන ආකාරයක් ගනු ඇත්ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහගෙන් විමසීමක් කරන ලදී.

ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ඇමෙරිකාවේ පවතින කාලගුණික තත්ත්වය මත තණ තීරුවේ හැසිරීම කුමන ආකාරයක් ගනී ද යන්න පැවසිය නොහැකි බව ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොෂාන් අබේසිංහ,

"මේ වගේ ලොකු ඉවෙන්ට් එකක් ඇමෙරිකාවේ පවත්වන පළමු අවස්ථාව මේකයි."

"ගොඩක් තරග ක්‍රීඩා කරන්නේ බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල වුනාට ඇමෙරිකාවේදිත් තරග කිහිපයක් පැවැත්වෙනවා."

"අපිට ඇමෙරිකාවේ කාලගුණයත් එක්ක තණ තීරු කොයි විදිහට හැසිරෙයිද කියලා අපිට කියන්න බැහැ."

"හැබයි එක දෙයක් කියන්න පුළුවන්. ඒ විස්සයි 20 තරගාවලියක් නිසා පුළුවන් තරම් ICC එකෙන් උත්සහ කරයි පිතිකරුවන්ට ලකුණු තියෙන හොඳ තණ තීරු ලබා දෙන්න."

"මොකද T20 තරගවලදී වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ පන්දු යවන්නන් කඩුලු දවා ගන්න එකට වඩා පිතිකරුවන්ට හොදින් ලකුණු ලබා ගන්න පුළුවන් තණ තීරු ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙනවා ඇත්තේ."

"මේ තණ තීරු හදන්නේ බොහොම අත්දැකීම් තියෙන අය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මගින් පත්කරපු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේත් හදනවා."

"ඒ තණ තීරු හොඳ ගුණාත්මක මට්ටමක පවතීවි කියලා අපි බලාපොරෝත්තු වෙනවා."

"ඕනෑම තණ තීරුවක් පදම් කිරීමට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තමයි තණ තීරුව ගැන අපිට දෙයක් හිතා ගන්න පුලුවන් වෙන්නේ."

"හොඳට මතක තියා ගන්න ඕන එකම දේ තමයි මේ තණ තීරුව අලුත් එකක් කියන එක." ඔහු පැවසීය.