බංග්ලාදේශයේ පාසලකට ජෙට් යානයක් කඩා වැටීම: මෙතෙක් දන්නා කරුණු

හමුදා ජෙට් යානයක් පාසලකට කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු මිය යාමෙන් පසු බංග්ලාදේශය අද දිනයේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, කෝ ඊව්
    • Role, බීබීසී, සිංගප්පූරුව

හමුදා ජෙට් යානයක් පාසලකට කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු මිය යාමෙන් පසු බංග්ලාදේශය අද දිනයේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඩකා අගනුවර මයිල්ස්ටන් විද්‍යාලයට F-7 ජෙට් යානයක් කඩා වැටීමෙන්, විපතට පත් වූවන්ගෙන් බොහෝ දෙනෙක් පන්ති නිම වී පිටතට පැමිණි සිසුන් වූහ.

පුහුණු අභ්‍යාසයක් සඳහා ගුවන්ගත වීමෙන් පසු ජෙට් යානය යාන්ත්‍රික දෝෂයකට ලක්ව ඇති බව වාර්තා වන අතර, මිය ගිය පුද්ගලයින් අතර යානයේ නියමුවා ද සිටින බව ආරක්ෂක අංශ පැවසූ අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ද පැවසීය.

මෙම අනතුර දශක ගණනාවකට පසු බංග්ලාදේශයේ සිදුවූ මාරාන්තික ගුවන් අනතුරක් වන අතර, ඒ පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වෙමින් පවතී. එම අනතුර පිළිබඳව මෙතෙක් අප දන්නා කරුණු මෙසේ ය.

A crime scene barrier tape cordons off the area as Bangladesh Air Force personnel inspect the crash site a day after a training jet crashed into a school in Dhaka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එෆ්-7 මාදිලියේ ජෙට් යානයක් මෙම පාසලට කඩා වැටීමෙන් මරණයට පත්වූ හෝ තුවාල ලැබූ පිරිස අතරින් වැඩි පිරිසක් පන්තිවලින් පිටතට පැමිණ සිටි සිසුන් වූහ

ජෙට් යානය කඩා වැටුණේ කෙසේ ද?

පුහුණු ගුවන් යානය ඩකාහි බංග්ලාදේශ ගුවන් හමුදා කඳවුරකින් දේශීය වේලාවෙන් පස්වරු 1:06 ට (GMT 07:06) ගුවන්ගත වී ටික වේලාවකට පසු උත්තරාහි අසල්වැසි ප්‍රදේශයකට කඩා වැටී තිබිණි.

බංග්ලාදේශ ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, F-7 ජෙට් යානය යාන්ත්‍රික දෝෂයකට ලක්ව ඇති බවත්, නියමුවා වන පියාසර ලුතිනන් එම්. ටවුකිර් ඉස්ලාම් එය අඩු ජනාකීර්ණ ප්‍රදේශයකට ගෙන යාමට උත්සහ කර ඇති බවත් ය. ඔහු මිය ගිය අය අතර විය.

එම විද්‍යාලයේ ගුරුවරයෙකු වන රෙසෝල් ඉස්ලාම් බීබීසී බංග්ලා වෙත පැවසුවේ, යානය ගොඩනැගිල්ලේ "ඍජුව ම" ගැටෙනු දුටු බව ය.

තවත් ගුරුවරයෙකු වන මසුඩ් තාරික් රොයිටර් පුවත් සේවයට පැවසුවේ, තමාට පිපිරීමක හඬක් ඇසුණු බව ය: "මම ආපසු හැරී බලන කොට, මට පෙනුණේ ගින්නක් සහ දුම විතරයි... මෙතන බොහෝ භාරකරුවන් සහ ළමයින් සිටියා."

අනතුරෙන් පැය කිහිපයකට පසු එම ස්ථානයේ ඡායාරූපවලින් පෙනී ගියේ, හදිසි සේවා සේවකයින් විශාල පිරිසක් දිවි බේරුණු පුද්ගලයින් සොයා ගැනීම සඳහා පිළිස්සුණු සුන්බුන් වෙන් කරන ආකාරය යි.

Bangladesh Air Force personnel inspect the crash site a day after a training jet crashed into a school in Dhaka on July 22, 2025

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෙට් යානය බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි මයිල්ස්ටන් පාසලට කඩා වැටිණි

වින්දිතයින් කවුද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වින්දිතයින්ගෙන් වැඩි දෙනෙක් පෙර පාසල් සිට ජ්‍යෙෂ්ඨ ද්විතීයික මට්ටම් දක්වා සිසුන් 2,000ක් පමණ සිටින පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වන මයිල්ස්ටන් විද්‍යාලයේ ඉගෙනුම ලබන්නෝ වූහ.

එරට සෞඛ්‍ය අමාත්‍යංශය සඳුදා පැවසුවේ, මිය ගිය පුද්ගලයින් අතරින් අමව වශයෙන් 17 දෙනෙකු ළමුන් වන බව ය.

10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු වන ෆර්හාන් හසන් බීබීසී බංග්ලා වෙත පැවසුවේ, විභාගයක් අවසන් කර ගොඩනැගිල්ලෙන් පිටව ගිය අවස්ථාවේදී ගුවන් යානය ගොඩනැගිල්ලට කඩා වැටෙනු දුටු බව ය.

"මගේ හොඳම යාළුවා, මාත් එක්ක විභාග ශාලාවේ හිටපු කෙනා, එයා මගේ ඇස් ඉස්සරහ ම මැරුණා," ඔහු පැවසීය.

"ඒ වගේ ම ඉස්කෝලෙ ඇරෙන වෙලාව නිසා පොඩි දරුවන් අර ගන්න දෙමව්පියෝ පාසල ඇතුළේ හිටගෙන සිටියා... ගුවන් යානය දෙමව්පියන්වත් රැගෙන ගියා."

අනතුරින් මිය ගිය සිසුන් අතර අට හැවිරිදි දරුවෙක් ද විය."මගේ ආදරණීය බෑණා දැන් ඉන්නෙ මෝචරියේ," ඔහු පැවසුවේ, තම බාල සොහොයුරාගේ අත මත අත තබාගෙන, පිරිමි ළමයාගේ පියා, "මගේ පුතා කොහෙ ද?" කියා නැවත නැවතත් කීවේය.

යානය කඩා වැටුණු ගොඩනැගිල්ලේ පහේ සිට හත දක්වා ශ්‍රේණි සඳහා පන්ති පැවැත්වෙන බව එහි ගුරුවරයෙකු ඩකා ට්‍රිබියුන් වෙත පවසා තිබිණි.

"පාසල දවල් එකට විතර ඉවර වුණාට, බොහෝ සිසුන් පෞද්ගලික ක්‍රීඩා පුහුණුවීම්වලට සහභාගි වෙන්න බලා හිටියා," ගුරුවරයා පැවසීය.

මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 170 දෙනෙකු තුවාල ලබා ඇති අතර, උත්තර ආධුනික් වෛද්‍ය විද්‍යාල රෝහලේ රාජකාරියේ නියුතු වෛද්‍යවරයෙකු පැවසුවේ, තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනෙකු අවුරුදු 10ත් 15ත් අතර වයස්වල පසුවන්නන් බවත්, බොහෝ දෙනෙකු පිළිස්සීමට ලක්ව ඇති බවත් ය.

පිළිස්සුම් තුවාල සහිතව 50කට වැඩි පිරිසක් රෝහල්ගත කර ඇති අතර, බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පිළිස්සුම් හා ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ ජාතික ආයතනයේ වෛද්‍යවරයෙක් පැවසීය.

A boy covered in bandages, lying on a hospital bed. A woman in a yellow dress sits on the bed beside him and watches him.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පිළිස්සුම් තුවාල සහිතව 50කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇත

මෙවැනි ගුවන් අනතුරු කොතරම් සුලභ ද?

බංග්ලාදේශය තුළ ගුවන් අනතුරු සාපේක්ෂව දුර්ලභ ය.

බංග්ලාදේශය අවසන් වරට දැවැන්ත ගුවන් අනතුරක් අත්විඳ ඇත්තේ, 1984 වසරේදී ය. බංග්ලාදේශයේ ජාතික ධජය දරන Biman ගුවන් යානය ඩකා ගුවන් තොටුපළ අසලට ගොඩබෑමේදී වගුරු බිමකට කඩා වැටීමෙන් එහි සිටි 49 දෙනා ම මිය ගියහ.

2018 වසරේදී, නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළකට ගොඩබෑමට උත්සහ කිරීමේදී US-Bangla ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 51 දෙනෙක් මිය ගියහ.

2008 වසරේදී තවත් F-7 පුහුණු ජෙට් යානයක් ඩකා නගරයෙන් පිටතදී කඩා වැටීමෙන් නියමුවා මිය ගියේ ය.

A view of the destruction at Milestone School and College after a Bangladesh Air Force training jet crashed into the campus in Dhaka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, F-7 BGI පුහුණු ජෙට් යානය ගුවන්ගත වී මද වේලාවකට පසු තාක්ෂණික දෝෂයකට ලක් වූ බව වාර්තා වේ

දැන් සිදුවන්නේ කුමක් ද?

රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නන් තවමත් ජීවිත අවදානමෙන් සම්පූර්ණයෙන් මිදී නොමැති අතර, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතී.

සඳුදා දිනයේදී පිළිස්සුම් හා ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ ජාතික ආයතනය, තම ආදරණීයයන් සොයා ගැනීමට උත්සහ කරන පවුලේ සාමාජිකයින්ගෙන් මෙන් ම තුවාල ලැබූවන්ට රුධිරය පරිත්‍යාග කිරීමට පෝලිම් ගැසුණු පුද්ගලයින්ගෙන් පිරී තිබිණි. දේශපාලනඥයින් ගණනාවක් ද විපතට පත් වූවන් බැලීමට රෝහලට පැමිණෙනු දක්නට ලැබිණි.

The mother (C) of an injured student weeps inside a hospital after an Air Force training jet crashed into a school in Dhaka on July 21, 2025

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තම ආදරණීයයන් පිළිබඳ තොරතුරු දැන ගැනීමට උත්සහ කරමින් පවුලේ සාමාජිකයෝ රෝහල්වලට රොක් වූහ

අනතුරෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා හදිසි දුරකතන අංකයක් හඳුන්වා දී ඇති බව බංග්ලාදේශ අන්තර්කාලීන රජයේ නායක මුහම්මද් යූනුස් X හි සටහන් තැබී ය.

හඳුනාගත හැකි අයගේ සිරුරු ඔවුන්ගේ පවුල්වලට භාර දෙන බවත්, අනෙක් අයගේ සිරුරු DNA පරීක්ෂණ මගින් හඳුනා ගන්නා බවත් යූනුස් පැවසීය.

වෛද්‍ය කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ සැලසීම සඳහා රෝහල්වලට අනවශ්‍ය ලෙස එක්රැස් වීමෙන් වළකින ලෙස ද ඔහු මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

සිද්ධියට හේතුව සොයා බැලීමට සහ "සියලු ආකාරයේ සහය සහතික කිරීමට" "අවශ්‍ය පියවර" ගන්නා බව ඔහු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත් කර ඇති බව බලධාරීන් පවසා තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු අසල්වැසි රටවල නායකයින් ද ශෝකය පළ කර තිබේ.