ශ්‍රී ලංකාවේ රුක් රෝපණය විද්‍යාත්මක ද? දේශපාලනික ද?

    • Author, ෂර්ලි උපුල් කුමාර
    • Role, BBC සිංහල

ගෙවුණු දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ රුක් රෝපණ ව්‍යපෘති රැසක් ආරම්භ කරන තිබේ. ඒ සෑම ව්‍යාපෘතියකින්ම පාහේ පැළ මිලියනයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රෝපණය කිරීමට සැලසුම්කර තිබිණි. නමුත් ඒ ව්‍යාපෘති යටතේ රෝපණය කළ පැළ කොතරම් ප්‍රමාණයක් ඉතිරි වී තිබේද යන්න විමසා බැලීම වැදගත් ය.

ශ්‍රී ලංකාවේ රුක් රෝපණ ව්‍යපෘතිවල ඉතිහාසය සලකා බැලීමේ දී ඒවා කොතරම් විද්‍යාත්මක ද නොඑසේ නම් දේශපාලනික ද යන්න ගැන මේ ලිපියෙන් අවදානය යොමු කෙරේ. කිනම් අරමුණකින් හෝ පැළ සිටිවීම යහපත් ක්‍රියාවකි. එහෙත් ඒ සඳහා තෝරා ගන්නා පැළ වර්ග කොතරම් දුරට අදාළ දේශගුණ තත්ත්වයට ගැලපෙන්නේ ද, ඒවා රැකබලා ගන්නේ කෙසේ ද යන්න සහ එම ව්‍යාප්ති මගින් සිටුවන ලද පැළ කොතරම් සංඛ්‍යාවක් ගස් බවට පත් වුයේ ද යන්න ගැන විමසා බැලිය යුතුය.

මිලියන ගණනින් පැළ රෝපණය සඳහා ජාතික වැඩසටහන් ආරම්භ වුව ද ඒවා ජාතික සැලැස්මක් අනුව ඉදිරියට යන බවක් පෙනෙන්නේ නැත. පාලකයා වෙනස්වන විට නම් වෙනස් වෙමින් අලුත් ව්‍යාපෘති ආරම්භ කෙරෙන අතර ඔවුන්ගේ පාලන කාලය අවසන්වන විට එම ව්‍යාපෘති ද අවසන් වන බව ඉතිහාසය අධ්‍යනය කිරීමේ දී නිරීක්ෂණය වේ. නැවත වන වගාව, භුමි අලංකරණය, පස සෝදා යෑම වළක්වා ගැනීම වැනි විවිධ අරමුණු සහිතව රුක් රෝපණය සිදුවේ.

2030 දී වන ආවරණය 32% ක් කරන්න ජාත්‍යන්තරයට ප්‍රතිඥාවක්

2030 දී වන ආවරණය 29% සිට 32% දක්වා ඉහළ නැංවීමට ක්‍රියා කරන බවට 2016 දී දේශගුණ විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියට අත්සන් තබමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රතිඥාවක් ලබා දී තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පාලන සමයේ දී ය.

දල ඇස්තමේන්තුවලට අනුව වන ආවරණය 1%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට නම් හෙක්ටයාර 65,000ක නව වන වගාවක් සිදු කිරීමට හෝ ඊට සමාන වපසරියක මුඩුබිම් වනාන්තර ලෙස ප්‍රතිස්ථාපනය වීමට ඉඩ දිය යුතුය. ඒ අනුව 2030 ඉලක්කය ජය ගැනීමට නම් හෙක්ටයාර 195,000ක් අපි වනාන්තර බවට පත්කළ යුතු වෙමු. ඊට අමතර මානව ක්‍රියාකාරකම් නිසා වසරකට අහිමි වන වනාන්තර ප්‍රමානය හෙක්ටයාර 3000ක් පමණ වන අතර ඒවා ද නැවත ප්‍රතිස්ථාපනය කළ යුතුව තිබේ.

වර්ෂ 1900 දී ශ්‍රී ලංකාවේ වන වැස්ම 70%කි. 1952 දී එය 48% දක්වා අඩුව වූ අතර 1992 වන විට ශ්‍රී ලකාවේ වන වැස්ම 24% දක්වා පහත වැටිණි. ගොඩනැගිලි ඉදි කිරීම, හේන් ගොවිතැන්, වාරිමාර්ග හා කෘෂිකර්ම ව්‍යාපෘති සහ වෙනත් සංවර්ධන ව්‍යාපෘති නිදහසින් පසු වියළි කලාපයේ වන ගහනය අඩු වීමට ප්‍රධාන වශයෙන් හේතු විය. යටත් විජිත සමයේ දී වන විනාශය වැඩිපුරම වාර්තා වූයේ තෙත් කලාපයෙන් ය.

2020 වන ආවරණ සිතියම අනුව ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් 29.1%ක් ස්වභාවික වන ආවරණය පවතින බව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත එදිරිසිංහ BBC සිංහල සේවයට පැවසුවේය.

'' 2015 දී වනාන්තර 29.2% තිබුණා. ඒක 2020 දී 29% දක්වා අඩු වුණා. දැන් වනාන්තර අඩුවීමේ ශීඝ්‍රතාවය අඩුවෙලා තියෙන්නේ.'' යනුවෙන් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

රාජ්‍ය අනුග්‍රහයෙන් සිංහරාජයෙන් හෙක්ටයාර 2025ක් කැපීම

ලක් මවගේ හරිත සළුව යන විරුදාවලිය ලද ලෝක උරුමයක් වූ සිංහරාජයේ ගස් කැපීම රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදූ වීම ශ්‍රී ලංකාවේ වන අපරාධ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් බව පරිසරවේදීහු පවසති. සිරිමාවෝ බණ්ඩාරනායක නායකත්වය දැරූ සමගි පෙරමුණු ආණ්ඩුව කොස්ගම තුනී ලෑලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය දැව සිංහරාජයෙන් කැපීමට අවසර දෙන ලදී. එහි ප්‍රතිපලයක් ලෙස 1972 - 1977 කාලයේ දී සිංහරාජ වනාන්තරයේ හෙක්ටයාර 2025ක දැව හෙලන ලදී. 'සිංහරාජය බේරාගමු' යන්න 77 බල පෙරළියට සටන් පාඨයක් ද විය.

මෑත ඉතිහාසයේ ද එවැනි සිදුවීමක් 'උතුරු වසන්තය' ව්‍යාපෘතිය නිසා වාර්තා විය. විපත්තුවේ වන සංහාරය ලෙස සමාජ ගත වූ කල්ලාරු රක්ෂිතය කපා යුද්දයෙන් අවතැන්වූවන්ට යැයි පවසමින් නව ජනාවාස ඇති කිරීම එම සිදු වීම වේ. මහින්ද රාජපක්ෂයේ පාලන කාලය තුළ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් චෝදනාවට ලක්විය. එම විනාශයට සමාන පැළ තමන්ගේ වියදමින් රෝපණය කිරීමට අභියාචනාධිකරණය 2020 දී රිෂාඩ් බදුර්දින්ට නියෝග කළ අතර ඔහු ඊට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. එහි තීන්දුව මෙතෙක් ලැබී නැත.

'මනාපයට පැලයක් '

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගම්උදා සංකල්පයට සමගාමීව වන ආවරණය වැඩි කිරීමේ ඔහුගේ සැලැස්ම දියත් කළේය.'සියක් ලක්ෂයක් රුක් සෙවණ යට දස ලක්ෂයක් නිවහන් බිහි කිරීම' ඔහුගේ අරමුණ විය. 2010 දී මහින්ද රාජපක්ෂගේ උපන් දිනය සහ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් විනාඩි 11ක් තුළ පැළ ලක්ෂ 11ක් සිටුවීමේ 'දැයට සෙවණ' වැඩසටහන පරිසර අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් සිදු විය. 2015 දී වනරෝපා සංකල්පය යටතේ ඔක්තෝම්බර් මාසය රුක් රෝපණ මාසය ලෙස නම් කෙරුණි.

කොළඹ, මිරිහානේ පුද්ගලික නිවස පිහිටි පරිශ්‍රයේ පැළයක් සිටුවමින් ගෝඨාභය රාජපක්ෂ 2020 දී 'හැදෙන රටට – වැඩෙන ගසක්' තේමාව යටතේ පැළ දස ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළේය. එමෙන්ම සෞභාග්‍යයේ දැක්ම යටතේ 2030 වන විට වන ආවරණය 30% බවට පත් කිරීම ඉලක්කය විය. ඒ අනුව හරිත ශ්‍රී ලංකා වැඩසටහන යටතේ 'සෑම අයෙක් - එක් පැළයක්' යන තේමාව යටතේ පැළ මිලියන 75ක් රෝපණය කිරීමට සැලසුම් සකස් විය.

තමන් ලබාගන්නා සෑම මනාපයක් වෙනුවෙන්ම පැළයක් බැගින් සිටුවන බවට නීතිඥ උදය ගම්මන්පිල 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී පොරොන්දුවක් ලබා දුන්නේය. ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මනාප 136,331 ලබා ගැනීම වෙනුවෙන් ඊට අදාළ පැළ සිටුවීම 2021 නොවැම්බර් මාසයේ දී මුතුරාජවෙලින් ආරම්භ කළේය.

මීට අමතරව පුද්ගලික ආයතන හා සංවිධාන මෙන්ම රාජ්‍ය මට්ටමින් තවත් බොහෝ රුක් රෝපණ ව්‍යාපෘති දියත්කර තිබේ. නමුත් ඒවා ගැන පසු විපරම් කිරීමේ විධිමත් වාර්තාවක් මේ ලිපියට තොරතුරු සම්පාදනයේ දී හමු වූයේ නැත.

2024 ලෝක පරිසර දිනය නිමිත්තෙන් ප්‍රධාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහභාගිත්වයෙන් සිංහරාජයේ, කුඩව ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර තිබිණි. කෙසේ නමුත් අයහපත් කාලගුණය නිසා කුඩව උත්සවය අවසානයේ දී අවලංගු විය.

''ජනාධිපති කුඩවට ගිහින් පැළ තුනක් හිටවන්න සැලසුම් කරලා තිබුණා. ඒ පැළ ජනාධිපති අතින් හිටවන නිසා නිරෝධායනය කරන්න කොළඹ ගෙනල්ලා විශාල මුදලක් වැය කළා. පැළ හිටවන තැන්වලට යන්න ලොකු මුදලක් වැය කරලා පාරවල් කාපට් කළා. ඒ විතරක් නෙමෙයි, මේ පැළ තුන හිටවන්න රජයේ නිලධාරීන් සහ වාහන කොයිතරම් සිංහරාජයේ කැරකුනා ද? දේශපාලනඥයෝ බොහෝ වේලාවට කරල තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට පරිසරහිතකාමී යෝජනා දාලා පරිසරය ගැන හිතන අයගේ ඡන්ද ගන්න එක. ඊට පස්සේ බලය ලැබුණොත් අයවැයෙන් පැළ හිටවන්න සල්ලි වෙන්කරනවා. විද්‍යාත්මක වන වගාව වෙනුවට ඊට පස්සේ බොහෝවිට කරන්නේ ඒ සල්ලිවලින් කජු පැළ, පොල් පැළත් හිටවන එක. වන වගාවට වෙන්කරන මුදලින් සැබෑ අරමුණ කොයිතරම් ඉටුවෙනවා ද කියන එක ප්‍රශ්නයක්'' යනුවෙන් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පර්යේෂක සජීව චාමිකර BBC සිංහල සේවයට පැවසුවේය.

''තණ පතනවල ගස් ඉන්දන්න යෑම වැරදි වැඩක්''

ශ්‍රී ලංකාවේ රුක් රෝපණය සම්බන්ධයෙන් ඇති අත්දැකීම් ගැන BBC සිංහල සේවය උද්භිද විද්‍යාඥ, මහාචාර්ය සිරිල් විජේසුන්දරගෙන් විමසීමක් කළේය.

''ලංකාවේ අපි හඳුනාගත් ශාක කලාප තියෙනවා. අපි පැළ හිටවනවා නම් තෝරා ගන්න ඕනා අදාළ ශාක කලාපයට ගැලපෙන ශාක වර්ග. උදාහරණයක් විදියට තෙත් කලාපයේ වැවෙන ගස් වියළි කලාපයේ හිටෝලා හරියන්නේ නෑ. නමුත් මම දැකලා තියෙනවා මී, කුඹුක් වගේ ගස් නුවරඑළියේ හිටවලා තියෙනවා. ඒ ප්‍රදේශවලම ස්වභාවිකව වැවෙන ඒවා තමයි අපි හරිනම් හිටවන්න ඕනා. අපේ රටේ වනවගා ව්‍යාපෘති වලදී බොහෝ වෙලාවට වෙන්නේ ළඟ තියෙන පැළ තවානක ඒ වෙලාවේ ගන්න තියෙන පැළ ගන්නවා මිසක් ඊට සුදුසු පැළ ගන්න එක නෙමෙයි. ඒක විශාල පාරිසරික වැරද්දක්.'' යනුවෙන් මහාචාර්ය සිරිල් විජේසුන්දර පැවසුවේය.

''අනිත් එක මිරිස් පැළ වගේ පොඩි පැළ ඉන්දාලා හරියන්නේ නෑ. මීටරයක්වත් උස වෙන්න ඕනා. ඒ පැළයට ආධාරකයක් හදන්න ඕනා. පැළ කොටුවක් හදලා ආවරණය කරන්න ඕනා. පැළයක් ඉන්දන්න කලින් නියම ප්‍රමාණයට වලක් හාරලා, අවශ්‍ය පෝෂ්‍යදායි දේවල් එකතු කරන්න ඕනා. අනික් කාරණය තමයි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ වනාන්තර තමයි වැදගත්ම පරිසර පද්ධතිය කියලා. උදාහරණයක් විදියට ලංකාවේ තියෙනවා පතන තෘණ භූමි. බිබිල, නිල්ගල වගේ සැවනා බිම් තියෙනවා. සමහරු හිතාගෙන ඉන්නේ තෘණ භූමිවල ගස් ඉන්දන්න ඕනා කියලා. තණ පතනවල ගස් ඉන්දන්න යෑම වැරදි වැඩක්. ඒවා විශාල සේවාවක් ඉටු කරන පරිසර පද්ධති.'' යනුවෙන් මහාචාර්යවරයා වැඩිදුරත් විස්තර කළේය.

රුක් රෝපණය ගැන අවබෝධයක් සහිතව ක්‍රියාත්මක වන සංවිධාන ද තිබේ. නමුත් බොහොමයක් කෙසේ හෝ පැළයක් සිටුවීම යන අරමුණට පමණක් සිමා වන බව නිරීක්ෂණය වේ.

වන සංරක්ෂණ දෙපතමේන්තුව සතු පැළ තවාන් ද තිබේ. ඒවායේ පැළ අලෙවිය මෙන්ම රුක් රෝපණ ව්‍යාපෘති සඳහා නොමිලේ පැළ ලබා දීම ද සිදු කෙරේ.

තම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත කරන රුක් රෝපණ ව්‍යාපෘති සඳහා දේශගුණ තත්ත්වයන්ට ඔරොත්තු දෙන පැළ යොදා ගන්නා බවත් වන ආවරණය වැඩි කිරීමේ ඉලක්කය ජයගත හැකි බවත් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

කෙසේ නමුත් එම ඉලක්කය සැබෑ ලෙසම ජය ගත්තේ ද යන වග ලාංකිකයන්ට පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවට ද දැනුම් දීමට පැරිස් සම්මුතිය අනුව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් බැඳී සිටී.