ක්‍රිකට් : ගෞතම් ගම්භීර් ප්‍රේක්ෂකාගාරයට සිය මැදැඟිල්ල පෙන්වුයේ ඇයි?

හිටපු ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන ගෞතම් ගම්භීර්, ඔහු වරින් වර සිදුකරන ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙන් පුවත් මවන්නෙකු බවට පත්ව සිටියි.

ඉකුත් සඳුදා ගම්භීර් නැවත වරක් X (පෙර දී ට්විටර්) සමාජ මාධ්‍යය ඔස්සේ ඉන්දියාව සහ පාකිස්ථානය තුළ විවිධ හෑෂ් ටැග් ඔස්සේ ජනප්‍රිය වන්නට පටන්ගත්තේ ඔහුගේ අවිනීත හැසිරීමක් දැක්වෙන වීඩියෝවක් හුවමාරුවීම හේතුවෙනි.

ගම්භීර් දුරකථන ඇමතුමක රැඳී ක්‍රීඩාංගණයට ඇවිද එමින් සිටින අයුරු හා තවත් පුද්ගලයෙකු ඔහුගේ පිටුපසින් කුඩයක් ඔසවාගෙන එන අයුරු එම වීඩියෝවේ දැක්වෙයි. එම අවස්ථාවේ දී ක්‍රීඩාගාරයේ සිටි ප්‍රේක්ෂකයින් 'කෝලි කෝලි' සහ 'දෝනි දෝනි' යනුවෙන් හඬ නගනු ලබන ආකාරය ද එහි දැක්වේ.

ප්‍රේක්ෂකයින් දිගටම කෝලිගේ සහ දෝනිගේ නම් කියමින් සිටින අවස්ථාවේ දී ගම්භීර් ඔහුගේ අතේ මැදැඟිල්ල ඉහළට ඔසවා පෙන්වන අයුරු එම වීඩියෝවේ දැක්වේ.

එවැනි අභිනයන් ලොව පුරා අවිනීත හා අපහාසාත්මක ලෙස සලකනු ලබන බැවින්, බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයෝ ඒ සිදුවීම විවේචනය කරති.

එම වීඩියෝවේ සත්‍යාසත්‍යභාවය පිලිබඳව නිසි තහවුරු කිරීමක් සිදුකළ නොහැකි වුව ද, ඉකුත් දා පැවති ඉන්දියා - පාකිස්ථාන එක්දින තරගයේ දී වසීම් අක්‍රම් සමග විස්තර විචාරය කරන විට ගම්භීර් සැරසී සිටියේ අදාළ වීඩියෝවේ දැක්වෙන ඇඳුමෙන් බව සඳහන් කළ හැකි ය.

සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ හැසිරීම පිළිබඳ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ගෞතම් ගම්භීර් විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඉන්දියාවේ ANI පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු පැවසුවේ, ක්‍රීඩාගාරයේ ප්‍රේක්ෂකයින් කෝලි සහ දෝනිගේ නම් පැවසීම හේතුවෙන් තමන් මැදැඟිල්ල පෙන්වූ බවට වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව යි.

ඔහු මැදැඟිල්ල පෙන්වීමට හේතුවූයේ ඉන්දියාවට එරෙහිව සිදුකළ ප්‍රකාශයක් බව ගම්භීර් පැවසුවේ ය. ගම්භීර් මාධ්‍යවේදීන් සමග සාකච්ජා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද ANI පුවත් ඒජන්සිය විසින් නිකුත් කර තිබේ.

ගම්භීර්ගේ කරුණු පැහැදිලි කිරීම

ඔහු ක්‍රීඩාංගණය තුළට පැමිණෙන විට දී පාකිස්ථාන ආධාරකරුවන් පිරිසක් ඉන්දියාවට සහ කාශ්මීරයට එරෙහිව සිදුකළ ප්‍රකාශ හේතුවෙන් ඔහු මැදැඟිල්ල පෙන්වූ බව ගම්භීර් පැවසුවේ ය.

සමාජ මධ්‍යයේ හුවමාරු වන දෑ සම්පූර්ණ සත්‍ය නොවන බව ද ඔහු කියා සිටියේ ය.

"මිනිස්සු [සමාජ මාධ්‍යවල] පෙන්වන්නේ ඔවුන්ට පෙන්වන්න ඕන දේ. වෛරල් වීඩියෝවේ යථාර්ථය නම්, කවුරුන් හෝ ඉන්දීය විරෝධී සටන්පාඨ කියමින් කාශ්මීරය ගැන කතා කළොත් එතැන සිටින පුද්ගලයා ප්‍රතිචාර දක්වනව ද, නැතිනම් සිනහවෙලා යන්න යනවා ද?

"එහි සිටි පුද්ගලයින් අතරින් දෙදෙනකු හෝ තිදෙනෙක් ඉන්දියාවට එරෙහිව සටන් පාඨ කියමින් සිටියා," ඔහු ප්‍රකාශ කළේ ය.

"ඉන්දියාව, කාශ්මීරය සහ මරණ සම්බන්ධයෙන් කතා කරනකොට එය ස්වභාවිකව සිදුවන දෙයක්. මගේ රටට එරෙහිව පවසන දෙයක් අසන්න මට බැහැ."

ඉන්දියාවට එරෙහිව යමක් පවසන විට, තමා එය අසා සිනා සී එම ස්ථානයෙන් පිටවයන්නෙකු නොවන බව මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

"ඔබ පැමිණියේ තරගය නැරඹීමට නම් එහිදී දේශපාලන අදහස් දැක්වීමේ කිසිදු අවශ්‍යතාවක් නැහැ. කාශ්මීරයේ ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ කිසිදු අවශ්‍යතාවක් නැහැ. ඒ වගේම ඉන්දියාව සම්බන්ධයෙන් වැරදි අදහස් දැක්වීමට උවමනා නැහැ. ඔබේ රටට සහාය දක්වන්න. ඒ වගේම එහි ඉන්දියාවට සහාය දක්වන ප්‍රේක්ෂකයින් ද සිටියා," මාධ්‍යවේදීන් අමතමින් ගම්භීර් ප්‍රකාශ කළේ ය.

"ඉන්දු - පාකිස්ථාන තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් තමන්ගේ රටට සහ ක්‍රීඩකයින්ට සහාය දක්වනවා හැර අන් අය සම්බන්ධයෙන් වැරදි දේ පැවසීම අනවශ්‍ය යි," ඔහු පැවසුවේ ය.

'එය බොළඳ මවාපෑමක්'

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ද ඇතැමුන් ඔහුට දොස් පැවරීම සිදුකරන අතරම තවත් පිරිසක් ඔහුට සහාය දක්වා සිටියි.

ඇතැම් ඉන්දියානුවන් විශ්වාස කරන්නේ 'කෝලි කෝලි' යනුවෙන් කෑ ගැසූ ප්‍රේක්ෂකයින්ට ගෞතම් සත්‍ය වශයෙන්ම මැදැඟිල්ල පෙන්වූ බව යි. ඒ, කෝලි සහ ගම්භීර් අතර පවතින සබඳතාව එතරම් යහපත් නොවන බැවිනි.

මෙම නොමනා හැසිරීම නිසා ගම්භීර් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ඇතැම් පුද්ගලයින් ප්‍රකාශකර සිටියි.

X (පෙර දී ට්විටර්) පරිශීලකයින් මිලියන 1.2ක් සිටින මාධ්‍යවේදී සාක්ෂි ජෝෂි, ගෞතම් ගම්භීර්ගේ හැසිරීම දැක්වෙන වීඩියෝ පටය පිළිබඳව සටහනක් තබමින්: "භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රී, හිටපු ක්‍රිකට් ක්‍රීඩක, විස්තර විචාරක ගෞතම් ගම්භීර් විරාත් කෝලිගේ රසිකයින්ට මැදැඟිල්ල පෙන්වූවා. එය කැමරාවේ සටහන්ව තිබෙන අයුරු සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට එයට හේතුව ලෙස ඔහු සිය ජාත්‍යාලය ගැන පවසනවා. පුද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් තමන්ගේ රට භාවිතා කිරීම ඔවුන්ගේ දෛනික සිරිතක් බවට පත්ව තිබෙනවා."

රීයා අග්‍රහාරි නම් පරිශිලකයෙකු ප්‍රකාශ කර තිබුණේ, "මෙම අවස්ථාවේ කෝලි සහා දෝනි වුණත් ගෞතම් ගම්භීර් එක්ක එකඟවෙයි. ජාතියක් ලෙස අප ඔවුන් අගය කළ යුතු යි. කිසිම දේශප්‍රේමියෙක් ඉන්දියාව ගැන නරක දෙයක් ඉවසන්නේ නැහැ. අපි ගම්භීර් සමග සිටිනවා," යනුවෙනි.

නමුත් අවිශේක් ගෝයල් නම් පරිශීලකයෙකු මෙසේ ප්‍රකාශ කර තිබුණි: "ඔහුගේ ප්‍රතිචාරය ගැන විමසූ විට ඔහු කියා සිටියේ සමහර පාකිස්ථාන රසිකයන් ඉන්දියාවට එරෙහි සටන් පාඨ කීම ගැන ඔහු කෝපයට පත් වූ බව යි. ලැජ්ජයි මේ බොළඳ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම ගැන. දෝනි දෝනි, කෝලි කෝලි යන පාඨ පමණක් හඬ නගන බව ක්‍රිකට්ලෝලීන්ට පැහැදිලිවම අසන්නට ලැබුණා. ඔබට වඩා දෙයක් දෝනි සහ කෝලි රට වෙනුවෙන් කර තිබෙනවා. ගම්භීර් ඔහුගේ පෞද්ගලික වෛරය/මමත්වය තම නිවස තුළ තබා ගත යුතු යි, අප අතර වෛරයේ බීජ වපුරන්න එපා.”

බොහෝ X (පෙර දී ට්විටර්) සමාජ මාධ්‍ය පරිශීලකයින් ගෞතම් ගම්භීර්ගේ වචන විශ්වාස කරන බව සටහන් කර ඇත. අදාළ පාකිස්ථාන ජාතිකයා එම වීඩියෝව සංස්කරණය කර හඬ එකතු කර ඉදිරිපත් කර ඇති බව ඔවුහු පවසති.

කෝලි, දෝනි කියලා යනුවෙන් පැවසීම 'ඉන්දියා-විරෝධි' වුණේ කවදාදැ යි ඇතැම් පුද්ගලයින් හාස්‍යයට මෙන් විමසා තිබුණි.

ගම්භීර් සහ කෝලි අතර ඇතිවූ මතභේදය

කෙසේ වෙතත්, ගෞතම් ගම්භීර් ඔහුගේ ප්‍රකාශයක් නිසා මතභේදයට තුඩුදුන් පළමු අවස්ථාව මෙය නොවේ. ඔහු මීට පෙර ඔහුගේ පාකිස්ථාන විරෝධී හැසිරීම් සඳහා ප්‍රසිද්ධවී ඇති අතර, ෂහීඩ් අෆ්රිඩි සමග සරදම් කරගැනීම ක්‍රිකට්ලෝලීන් ද හොඳින් හඳුනයි.

මේ සිද්ධියේ දී බොහෝ රසික රසිකාවියන් ෂහීඩ් අෆ්රිඩිගේ පැරණි වීඩියෝවක් නැවත පළකර තිබේ.

එම වීඩියෝවේ සඳහන් වන්නේ 'ගෞතම් ගම්භීර් යනු ඉන්දීය කණ්ඩායමේ කවුරුත් අකමැති ක්‍රීඩකයෙකැ’යි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පවසන බවයි. එයට හර්බජන් සිං ද සිනාසෙයි.

නමුත් මෙහිදී විරාත් කෝලි සහ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සමග ගම්භීර්ගේ ඇති අමිහිරි සබඳතාවේ ප්‍රතිරාවය වැඩිපුර ඇසෙන්නේ ඔවුන්ගේ නම කියූ හඬ වීඩියෝවේ පැහැදිලිවම ඇසෙන බැවිනි.

"ජනතාව කෝලි කෝලි පවසනා අයුරු සෑම කෙනෙකුටම හොදින් ඇසෙන නමුත් ඔහු (ගෞතම් ගම්භීර්) සිය වැරැද්ද වසා ගැනීමට දේශප්‍රේමය එයට ගෙනැවිත් තිබෙනවා," රොෂාන් රෝයි නම් පරිශීලකයෙක් සඳහන්කර තිබේ.

මේ වසරේ මැයි මාසයේ බැංගලෝර් සහ ලක්නව් අතර පැවති IPL තරගයේ දී ගම්භීර් සහ කෝලි අතර ඇති වූ උණුසුම් විවාදය ද ක්‍රිකට් ලෝලීන්ගේ මතකයේ රැඳී තිබේ.

එදින තරගයෙන් පසු බැංගලෝර් ක්‍රීඩක විරාත් කෝලි සහ ලක්නව් උපදේශක ගෞතම් ගම්භීර් අතර යළි මතභේදාත්මක තත්ත්වයක් ඇතිවුණි.

ඔවුන් දෙදෙනා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් විසින් එකිනෙකාගෙන් වෙන් කරන ලද අතරම ඔවුන්ට එරෙහිව IPL සංවිධායකයින් දඩ මුදලක් ද පැනවීය.