ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ හොඳම ඉනිම කාගෙද?
ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ආරම්භ කිරීමට නියමිතව තිබියදී, ලොව හොඳම ටෙසට් ඉනිම පිළිබඳ කතා බහක් මතුව තිබේ.
ESPNcricinfo හි ප්‍රකාශයට පත් කරන ලද Golden Willow 25 නම් සංශෝධිත ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාවේ කුසල් ජනිත්ගේ ටෙස්ට් ඉනිම වසර 146 ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ හොඳම ටෙස්ට් ඉනිම ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ලෝක ටෙස්ට් ක්‍රිකට් කිරුළ කාටද?
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවත්වනු ලබන ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (ජුනි මස 07 වැනිදා) පස්වරු 3ට ලන්ඩන් නුවර පිහිටි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ කිරීමට නියමිතව තිබේ.
අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියා සහ ඉන්දිය කණ්ඩායම් අතරයි.
තරගය අද සිට (ජුනි 07 වැනිදා සිට 11 වැනිදා) දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
යම් හෙයකින් කාලගුණයෙන් බාධාවක් එල්ල වුවහොත් ඒ වෙනුවෙන් ජුනි මස 12 වෙනිදා අතිරේක දිනයක් වෙන් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
අවසන් මහ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුවොත්, ලකුණු සම වුවොත් හෝ වර්ෂාව නිසා තරගය අත්හැරීමට සිදුවුවහොත් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සම ශුරයින් ලෙස නම් කෙරනු ඇත.
ICC ටෙස්ට් ශුරතාව ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක ත්‍යාග මුදලක් හිමිවනු ඇත.
අනු ශුරයින් සඳහා වෙන් කර ඇති ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් අට ලක්ෂයක් වේ.
ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවන අදියර වූ මෙය 2021 අගෝස්තු 4 වන දින ආරම්භ විය.
පළමු වරට පැවති ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය ජයග්‍රහණය කළේ නවසීලන්තයයි.
ඒ, ඉන්දියාව කඩුලු 08 කින් පරාජයට පත් කරමින්ය.
ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ හොඳම ඉනිම
වසර 146 ක ඉතිහාසයකට හිමිකම් කියන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය පුරාවට එංගලන්තය, ඔස්ට්‍රේලියාව,නවසීලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඇතුළු රටවලින් දක්ෂ පිතිකරුවන් රැසක් බිහිවිය.
ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන්, බ්‍රයන් ලාරා, රිකි පොන්ටින්, ඕස්ට්‍රේලියාවේ වෝ සහෝදරයින් දෙදෙනා වන ස්ටීව් වෝ සහ මාර්ක් වෝ, ඇලන් බෝඩර්, සයිඩ් අන්වර්, සනත් ජයසුරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, මාවන් අතපත්තු වැනි පිතිකරුවන් ප්‍රවීණ පිතිකරුවන් පිළිබඳ සියලු දෙනා ගේ මතකය දිව යයි.
මෙවර ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවය සඳහා තරග කරන ඔස්ට්‍රේලියාව සහ ඉන්දීය කණ්ඩායම් දෙකහිම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන පිතිකරුවෝ සිටිති.
එය එසේ වුවද වසර 146 ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ හොඳම ටෙස්ට් ඉනිම ලෙස ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී රැස් කරන ලද ලකුණු 153 ඉනිම නම් කර තිබේ.
ඒ, ESPNcricinfo වෙබ් අඩවියේ පළකර ඇති ලිපියකට අනුවයි.
ESPNcricinfo හි ප්‍රකාශයට පත් කරන ලද Golden Willow 25 නම් සංශෝධිත ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාවේ කුසල් ජනිත්ගේ ටෙස්ට් ඉනිම පළමු ස්ථානය හිමිකර ගෙන තිබේ.
කුසල් ජනිත් පෙරේරා විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව 2019 වසරේ, වාර්තා කළ එම ඉනිම ලෝක ප්‍රකට විස්ඩන් සඟරාව විසින් ද 2010 දශකයේ වාර්තා වූ දෙවන හොඳම ටෙස්ට් ඉනිම ලෙස නම් කර ඇත.
පන්දු 200 කට මුහුණ දුන් කුසල් ජනිත්ගේ එම ඉනිමට, හයේ පහරවල් 05ක් සහ හතරේ පහරවල් 12ක් ඇතුළත් විය.
කුසල්ගේ ඉනිම හොඳම ටෙස්ට් ඉනිම් අතරට එක්වුයේ ඇයි ?
දකුණු අප්‍රිකාව සතු වූ ප්‍රබල පන්දු යැවීමේ බල ඇණිය හමුවේ කුසල් ජනිත් වාර්තා කළ මෙම ඉනිම හොඳම ටෙස්ට් ඉනිම් අතරට ඒමට ප්‍රධාන කරුණක් විය.
ඩේල් ස්ටේන්, කගීසෝ රබාඩා, වර්නන් ෆිලෙන්ඩර්, කේෂව් මහරාජ් වැනි ප්‍රබල පන්දු යවන්නන් හමුවේ කුසල් ජනිත් අවසන් කඩුල්ල සඳහා විශ්ව ප්‍රනාන්දු සමග ලකුණු 78ක සබඳතාවයක් පවත්වමින් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය.
ලෝක ටෙස්ට් ශුරතාවයේ නිලධාරි මඩුල්ලට ලාංකිකයෙක්
අද ආරම්භ වන ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහ තරගය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර ඇති නිලධාරී මඩුල්ල සඳහා ශ්‍රී ලාංකිකයෙක් ද ඇතුලත් වනවා.
ඒ අනුව තරගයේ සිව් වෙනි විනිසුරු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කරනු ඇත.
දෙපිලම කරට කර
අද ආරම්භ වන ටෙස්ට් ශුරතා අවසන් මහ තරගය සඳහා ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව මනා සුදානමක පසුවන බව කණ්ඩායම් දෙකේ නායකයින් වන පැට් කමින්ස් සහ රෝහිත් ෂර්මා පැවසූහ.
ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව අංක එකේ පිතිකරුවා ලෙස මාර්නෙස් ලැබෂේන් පත්ව සිටින අතර අංක 03 ස්ථානයේ පසුවන්නේ ස්ටීව් ස්මිත්ය.
හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ඉන්දියාවේ රවීචන්ද්‍රන් අෂ්වින් ICC පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවේ.
එමෙන්ම ICC ශ්‍රේණිගත කිරීම් අනුව හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෝ ලෙස පළමු සහ දෙවන ස්ථානවල පිළිවෙලින් ඉන්දීය පිලේ රවින්ද්‍ර ජඩේජා සහ රවීචන්ද්‍රන් අෂ්වින් පසුවෙති.
ශ්‍රී ලංකාවට ටෙස්ට් පිටියේ හිමි තැන කොතැනද ?
ඉකුත් මැයි මස 02 වෙනිදා අවසන් වරට නිකුත් කරන ලද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාව 07 වන ස්ථානයේ පසුවේ.
එහි පළමු තැන ඉන්දියාව හිමිකර ගෙන ඇති අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවයි.
එංගලන්තය තුන්වැනි ස්ථානයේ පසුවන අතර හතරවන ස්ථානයේ සිටින්නේ දකුණු අප්‍රිකාවයි.
නවසීලන්තය පස්වැනි ස්ථානයේ පසුවන අතර පාකිස්ථානය 6 වැනි ස්ථානයට පත්ව තිබේ.