ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝක ටෙස්ට් ශූරතාව: අවසන් මහා තරගයට පිවිසීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව ඉටුවෙයි ද?
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී මේවන විට පැවැත්වෙයි.
වෙනත් ටෙස්ට් තරගාවලියකට වඩා මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට පිවිසීම සඳහා මෙම තරගාවලියේ තරග දෙකම ජයග්‍රහණය අතිශය තීරණාත්මක වීම හේතුවෙනි.
අවසන් මහා තරගයට පිවිසීමට නම් ශ්‍රී ලංකාව මෙම ටෙස්ට් තරග දෙකම අනිවාර්යෙන් ජයගත යුතුව තිබේ.
මෙම තරගාවලියේ තීරණය ඉන්දීය කණ්ඩායමට ද අතිශය වැදගත්වීම විශේෂත්වයකි.
2021 – 2023 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහන අනුව ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයේ සිටින අතර දෙවැනි ස්ථානයේ සිටින්නේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමයි.
ශ්‍රී ලංකාව සිටින්නේ 3 වැනි ස්ථානයේය.
ඉන්දියාවට එරෙහිව ඉන්දෝර් හි පැවති තුන්වන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගනිමින් ඔස්ට්‍රේලියාව ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට මේ වන විටත් සුදුසුකම් ලබා තිබේ.
ඉන්දියාව, තරගාවලිය 2-1ක් ලෙස ඉදිරියෙන් සිටියද , ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවුවද, අවසන් මහා තරගයේ තම ස්ථානය මෙතෙක් තහවුරු කර ගෙන නොමැත.
ICC ලෝක ටෙස්ට් ශූරතා දෙවන අදියරේ ආකෘතිය කුමක්ද ?
වත්මන් තරගාවලි චක්‍රය 2021 ජූලි සිට 2023 ජූනි දක්වා ක්‍රියාත්මක වෙයි.
මෙහිදී හොඳම ටෙස්ට් කණ්ඩායම් නවයෙන් සියලු කණ්ඩායම් තරගාවලි හයක් බැගින් ක්‍රීඩා කළ යුතු වෙයි.
මෙහිදී තරග - තුනක් තම රටේදී සහ තරග තුනක් වෙනත් රටකදී ක්‍රිඩා කළ යුතු වෙයි. ලකුණු සටහනේ ප්‍රතිශත පදනමින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත.
2021 – 2023 ලෝක ටෙස්ට් ශූරතාවලියේ එම ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 3 වැනි ස්ථානයේය.
මෙවර ලකුණු ක්‍රමය වෙනස් වන්නේ කෙසේද?
පළමු තරග වාරයේ මෙන් සෑම තරග මාලාවකටම එකම ලකුණු සංඛ්‍යාවක් ලබා දීමට වඩා සෑම තරගයකටම එකම ලකුණු සංඛ්‍යාවක් මෙවර කණ්ඩායමකට හිමිවනු ඇත. තරගයක් ජයග්‍රහණය කළහොත් කණ්ඩායමකට ලකුණු 12ක් හිමිවන අතර , ජය පරාජයෙන් තොරව නිමාවන තරගයකදී ලකුණු 4ක් සහ සම තත්ත්වයකට පත්වන විට ලකුණු 6ක් හිමිවේ.
මෙය සිදු කර ඇත්තේ තරගාවලියේ දීර්ඝ බව නොතකා ටෙස්ට් තරග ජයග්‍රහණයක් සඳහා එකම ලකුණු සංඛ්‍යාවක් ලබා දීමෙන් ලකුණු ක්‍රමය සරල කිරීම සඳහා ය.
දිනූ මුළු ලකුණු හෝ ප්‍රතිශත ලකුණු අනුව කණ්ඩායම් සුදුසුකම් ලබයිද?
කණ්ඩායම් විසින් ක්‍රීඩා කරන තරග සංඛ්‍යාවේ අසමතුලිතතාවය ප්‍රමිතිගත කිරීම සඳහා ජයග්‍රාහී ලකුණු ප්‍රතිශතය මත කණ්ඩායමක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්න ඉන්දියාවට ඇති අවස්ථා මොනවාද ?
- ඔස්ට්‍රේලියාවට එරෙහි 4 වැනි ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමෙන් ඉන්දියාවට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ප්‍රවේශ වීමට ඉඩ ලැබෙනු ඇත. ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව, ශ්‍රී ලංකාවේ (PCT 53.33%) ලකුණු ප්‍රතිශතය අභිබවමින් (PCT 60.29%) ක ලකුණු ප්‍රතිශතයක් සමඟින්, සුවපහසු ලෙස ඉදිරියෙන් සිටියි.
- ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලය කුමක් වුවත් ඔස්ට්‍රේලියාවට එරෙහිව අද ( මාර්තු 09 වැනිදා) අහමදාබාද්හීදී ආරම්භ වන 4 වැනි ටෙස් තරගය ජයග්‍රහණ කළ හොත් ඉන්දියාවට අවසන් මහා තරගයේ තම ස්ථානය හිමිවනු ඇත.
- ඉන්දියාව 4 වැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළහොත් සහ ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහි තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ලැබීමෙන් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.එසේ නොමැති වුවහොත් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ ම රැඳෙනු ඇත.
- ඔස්ට්‍රේලියාවට එරෙහි 04 වැනි ටෙස්ට් තරගයෙන් ඉන්දියාව පරාජය වුවහොත් ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව ඉවත් විය හැකිය හැකි නමුත් එවැනි තත්ත්වයක් උද්ගත වීමට නම්, ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග දෙකම ජයග්‍රහණය කළ යුතුය.
- සමස්තයක් ලෙස ගත් කළ, නවසීලන්ත ටෙස්ට් තරගාවලියෙන් තරග 2-0ට වඩා අඩු ප්‍රතිඵලයක් ලබා ගතහොත් ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ශූරතා අවසන් ගණනය කිරීම් වලින් ඉවත් වීමට හේතු වනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නවසීලන්ත අභියෝගය ජයගත හැකිද?
නවක ක්‍රීඩකයින් වැඩි දෙනෙකු සහභාගිවන මෙම තරග සංචාරය ශ්‍රී ලංකාවට අභියෝගාත්මක වනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වන්නේ මාස 8 පමණ පසුවය.
ටෙස්ට් තරග දෙකකින් යුත් මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔස්ට්‍රේලියාව සමග ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ ක්‍රීඩා කර ඇති ටෙස්ට් ක්‍රිකට් තරග 19කින් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත්තේ තරග 2ක් පමණි.
ICC ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්තය 5 වැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 7 වැනි ස්ථානයේය.
මෙම ටෙස්ට් තරගාවලිය සඳහා නායක දිමුත් කරුණාරත්නට අමතරව, ඇන්ජලෝ මැතිව්ස් , දිනේෂ් චන්දිමාල් වැනි පරිණත ක්‍රීඩකයෝ ද ක්‍රිඩා කරති.
එකම සැලසුම අවසන් මහා තරගයට පිවිසීමයි...
නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම සමග පැවැතිවෙන ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගෙන ලෝක ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම තම කණ්ඩායමේ එකම සැලසුම බව ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ක්‍රයිස්චර්ච් හී පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා පිලේ සියලු ක්‍රීඩකයන් ශාරීරිකව හා මානසිකව හොද සූදානමකින් සිටින බවය.
“මේක අපට හොද අවස්ථාවක්. අපේ ක්‍රීඩකයන් සියයට සියයක් තරගාවලියට සූදානමින් සිටිනවා. මෙහේ මේ දිනවල රස්නය ටිකක් තියෙන නිසා තණතිලි දඟ පන්දු යවන්නන්ට හොද වෙයි කියා හිතනවා. අප වෙනදා එන්නේ දෙසැම්බර් කිට්ටු වෙලා. නමුත් මෙවර මාර්තු වෙද්දී පැමිණියේ. මේ දවස්වල නවසීලන්තයේ කාලගුණය වෙනස්. රදල්ලේ පුහුණුවී පැමිණීම යම් වාසියක්“ දිමුත් සඳහන් කළේය.
දිමුත් කරුණාරත්න සඳහන් කළේ, “අපි මෙහේ ඇවිත් එක දවසයි ක්‍රීඩා කළේ. මැච් එකට ගියාම මුල් ඕවර් දෙක තුනේදී විශ්වාසය ඇති කර ගන්නා විදිහේ සැලසුමකට යා යුතුයි. නමුත් ඒක ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. මේ අභියෝගය හැම ක්‍රීඩකයෙකුටම තියෙනවා. පීඩනයත් සමග සෙල්ලම් කරනකොට යම් සීමිත ඉඩකඩක් තුල ක්‍රීඩා කරන්න වෙනවා. ආරම්භක පිතිකරුවෙකු ලෙස මා මෙහිදී සාර්ථකවී තියෙනවා. ඒ නිසා මෙතෙක් ගත්ත තීරණ ඒ විදිහටම කරනවා“
කණ්ඩායමේ සංයුතිය...
ටෙස්ට් තරගාවලිය සඳහා වේග පන්දු යවන්නන් තිදෙනකු හා දඟ පන්දු යවන්නෙකු යොදා ගැනීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායමේ අවධානය යොමු වී ඇත.
“ධනංජයට අමතරව තව දඟ පන්දු යවන්නෙකු යොදවා ගැනීමට අපේක්ෂා කරනවා. තණතිලිවල තණකොළ ටිකක් වැඩියි. නමුත් අපට වාසිදායක කරගත යුතුයි” දිමුත් සඳහන් කළේය.
කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු හා විශ්ව ප්‍රනාන්දු වේග පන්දු යවන්නෝ ලෙස ක්‍රීඩා කරති.
දිමුත් කරුණාරත්න සඳහන් කළේ, “ඉස්සෙල්ලාම පළමු තරගය දිනන්න අවශ්‍යයයි. ඒ වෙනුවෙන් සියලුම ක්‍රීඩකයන් මහන්සි වෙනවා. නිශාන් හොදින් පන්දුවට පහර දෙනවා. නමුත් පිතිකරු සංයුතිය අනුව ඔහුට පළමු තරගයේ අවස්ථාව අඩුයි. යම් විදිහක ක්‍රීඩක ආදේශයක් කරන්න වුණොත් නිශාන් මුල් පෙළේ පිතිකරුවෙකු ලෙස දෙවැනි තරගයේදී ක්‍රීඩා කරයි. දික්වැල්ල කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කරනවා. ඔහු අවසන් පිතිකරුවන් අතර ලකුණු ලබා ගැනීමේ දක්ෂයෙක්. නිශාන් මධුෂ්කත් පිතිකරුවෙකු හා කඩුලු රකින්නෙකු ලෙස සිටිනවා.”
නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම
- දිමුත් කරුණාරත්න – නායක
- ඕෂද ප්‍රනාන්දු
- කුසල් මෙන්ඩිස්
- ඇන්ජලෝ මැතිව්ස්
- ධනංජය ද සිල්වා
- දිනේෂ් චන්දිමාල්
- නිරෝෂන් දික්වැල්ල
- ප්‍රභාත් ජයසූරිය
- කසුන් රාජිත
- ලහිරු කුමාර
- අසිත ප්‍රනාන්දු
නවසීලන්ත නායක ටිම් සවුති පැවසුවේ, “මම හිතන්නේ ශ්‍රී ලංකාව තවමත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ දඩයමක යෙදී සිටින්නේ. එම තත්ත්වයට එන්න ඔවුන් පසුගිය වසර දෙක තුළ විශිෂ්ට ලෙස ක්‍රීඩා කළා. ශ්‍රී ලංකාව ඉතා හොඳ කණ්ඩායමක් බව අපි දන්නවා.”