ලිබියානු හිටපු නායක ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් වෙඩි තබා ඝාතනය කර ඇති බවට වාර්තා

සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆිගේ සහෝදරිය ලිබියානු මාධ්‍යයට පැවසුවේ ඔහු ලිබියානු-ඇල්ජීරියානු දේශසීමාව ආසන්නයේදී මිය ගිය බවයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

    • Author, නික් ස්ප්‍රින්ගේට් සහ මායා ඩේවිස්
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ලිබියානු ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, පියාගේ උරුමක්කාරයා ලෙස පුළුල් ලෙස සැලකූ 53 හැවිරිදි සයිෆ් අල්-ඉස්ලාම්ගේ මරණය අඟහරුවාදා (පෙබරවාරි 3) ඔහුගේ දේශපාලන කණ්ඩායමේ ප්‍රධානියා විසින් තහවුරු කරන ලදී.

ඔහුගේ නීතිඥවරයා AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ "සිව් දෙනෙකුගෙන් යුත් කමාන්ඩෝ" ඒකකයක් සින්ටාන් නගරයේ ඔහුගේ නිවසේදී මෙම ඝාතනය සිදු කළ බවයි. නමුත් ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පැහැදිලි නැත.

ඔහුගේ සහෝදරිය ලිබියානු රූපවාහිනියට පැවසුවේ ඔහු ඇල්ජීරියාව ආශ්‍රිත ලිබියානු දේශ සීමාව අසල දී මිය ගිය බවයි.

සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි දිගු කලක් තිස්සේ එරට 'වඩාත් ම බලගතු සහ බිය උපදවන පුද්ගලයා' ලෙස සැලකුණි. ඔහුගේ පියා වන කර්නල් ගඩාෆි 1969 සිට ලිබියාව පාලනය කළ අතර 2011 දී ජනතා නැගිටීමකින් බලයෙන් පහ කර මරා දමන ලදී.

1972 දී උපත ලැබූ ඔහු, 2000 වසරේ සිට ගඩාෆි පාලනය බිඳ වැටෙන තෙක් ලිබියාව බටහිර රටවල් සමග ඇති කර ගත් සබඳතාවන්හි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

ඔහුගේ පියා බලයෙන් පහ කිරීමෙන් පසු, රාජ්‍ය විරෝධී විරෝධතා කුරිරු ලෙස මර්දනය කිරීමේ දී ප්‍රධාන භූමිකාවක් ඉටු කළ බවට චෝදනා ලැබූ සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි, සින්ටාන් නගරයේ ප්‍රතිවාදී සටන්කාමී කණ්ඩායමක් විසින් වසර හයකට ආසන්න කාලයක් සිරගත කරන ලදී.

2011 දී විපක්ෂ විරෝධතා මර්දනය කිරීමේ දී ඔහු කළ බවට චෝදනා එල්ල වන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඔහුට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය විය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2015 දී, එක්සත් ජාතීන්ගේ සහාය ලත් ආණ්ඩුවේ පාලනය යටතේ පවතින, රටේ බටහිර ප්‍රදේශයක් වන ට්‍රිපොලි හි අධිකරණයක් විසින් මර්දනය සම්බන්ධ ඔහුගේ භූමිකාව වෙනුවෙන් ඔහුට මරණ දඬුවම නියම කරන ලදී.

නමුත් වසර දෙකකට පසු පොදු සමාවක් යටතේ නැගෙනහිර ටොබෲක්හි සටන්කාමී කණ්ඩායමක් විසින් ඔහුව නිදහස් කරන ලදී.

ගඩාෆි බලයෙන් පහකිරීමෙන් පසු, ලිබියාව විවිධ සටන්කාමී කණ්ඩායම් විසින් පාලනය කරනු ලබන ප්‍රදේශවලට බෙදී ගොස් ඇති අතර වර්තමානයේ එය ප්‍රතිවාදී ආණ්ඩු දෙකක් අතර බෙදී ඇත.

ඔහුගේ පියා නායකයා ලෙස කටයුතු කළ කාලය තුළ, ඔහු ප්‍රතිපත්ති සකස් කළ අතර රජයේ නිල භූමිකාවක් නොතිබුණ ද ඉහළ පෙළේ සාකච්ඡා මෙහෙයවීය. ඔහුගේ පියා න්‍යෂ්ටික අවි වැඩසටහන අතහැර දැමීමට හේතු වූ කරුණු ද ඊට ඇතුළත් ය.

එවැනි ගිවිසුම් මගින් මෙම උතුරු අප්‍රිකානු රට මත තිබූ ජාත්‍යන්තර සම්බාධක ඉවත් කරන ලද අතර, සමහරු සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි සැලකුවේ වෙනස්වන ලිබියාවක ප්‍රතිසංස්කරණවාදී සහ පිළිගත හැකි ප්‍රතිරූපය ලෙසයි.

තම පියාගෙන් බලය උරුම කර ගැනීමට අවශ්‍ය බව ගඩාෆි සැමවිට ම ප්‍රතික්ෂේප කළ අතර, පාලන බලය යනු "උරුම කර ගැනීමට ගොවිපලක් නොවේ" යැයි පැවසීය.

කෙසේ වෙතත්, 2021වසරේදී දී ඔහු ජනාධිපති ධුරයට තරග කරන බව නිවේදනය කළත්, එම මැතිවරණය දින නියමක් නොමැතිව කල්දමා තිබේ.