අල් පචීනෝ: අවුරුදු 83ක පියෙකු සහ 29 හැවිරිදි මවක දරු සුරතල් බැලීම අවදානම්සහගත ඇයි?

Al Pacino and his partner Noor Alfallah

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, රිචර්ඩ් ෆිෂර්
    • Role, BBC Future

පියවරුන් වියපත් වෙමින් සිටිති. එහෙත්, ඇතැම් සිද්ධිවලදී එය තරමක් මන්දගාමී ය.

83 හැවිරිදි ඇමෙරිකානු රංගන ශිල්පී අල් පචීනෝ, අවුරුදු 29ක් වයසැති සිය පෙම්වතිය වන නූර් අල්ෆලාහ් සමග සිය සිව් වන දරුවාගේ උපත පිළිගත්තේ මෑතකදී ය. ඔහු වියපත් පියවරුන්ගේ සමාජයට එක්වූයේ, ඔහු සමග චිත්‍රපට කිහිපයක රඟපෑ සමකාලීන නළුවෙකු වන රොබට් ඩි නිරෝ ඊට එක් වීමෙන් පසු ය. වයස අවුරුදු 79ක පසුවූ නිරෝ ඔහුගේ හත් වන දරුවාට පියෙකු වූ බව පසුගිය මාසයේ තහවුරු කළේ ය.

නිසැකව ම ලෝකයේ පළමු මහලු පියවරුන් වන්නේ ඔවුන් දෙදෙනා නොවේ: තවත් පිරිමි නළුවන්, සංගීතඥයන් සහ ඇමෙරිකානු ජනාධිපතිවරුන් පවා ජීවිතයේ ප්‍රමාද වී දරුවන් ලබා ඇත. සාමාන්‍යයෙන් නව පියවරුන්ගේ සාමාන්‍ය වයස වසර ගණනාවක් තිස්සේ ඉහළ යමින් පවතී. මානව ප්‍රජනනය පිළිබඳ සඟරාවක ප්‍රකාශයට පත් කරන ලද 2015 වසරේ සිදු කළ අධ්‍යයනයකට අනුව, ඇමෙරිකාවේ සාමාන්‍ය පියෙකුගේ වයස අවුරුදු 30.9 ක් වන අතර, 1972 සහ 2015 අතර කාලයේ එය වසර 3.5කින් වැඩි වී තිබේ. පියවරුන්ගෙන් 9%ක් තම දරුවා උපදින විට අවම වශයෙන් අවුරුදු 40ක පසු විය.

වැඩිහිටි පිරිමින් පිළිබඳ නිල නොවන ප්‍රකාශ ඉඳහිට මතු වුව ද, අවම වශයෙන් ගිනස් ලෝක වාර්තාවලට අනුව මෙතෙක් වාසය කළ වයස්ගත ම පියාගේ වයස අවුරුදු 92ක් විය.

කෙසේ වෙතත්, වියපත් වූ පසු පියෙකු වීම අවදානම්සහගත ය.

2022 වසරේ දෙසැම්බර් මාසයේදී, යූටා විශ්වවිද්‍යාලයේ සහ තවත් අධ්‍යාපන ආයතන කිහිපයක පර්යේෂකයන් "පරිණත පියෙකුගේ වයස" සහ සශ්‍රීකත්වය, ගර්භණීභාවයේ ගැටලු සහ ළමා සෞඛ්‍ය කෙරෙහි එහි බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් ප්‍රකාශයට පත් කරන ලදී.

Al Pacino and Robert De Niro speak on stage at the "Heat" Premiere during 2022 Tribeca Festival at United Palace Theater on June 17, 2022 in New York City.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පචීනෝගේ වයසේ බොහෝ පිරිමින්, ඔවුන් සාමාන්‍ය පියවරුන් විය නොහැකි හෙයින් අධ්‍යයනයන්ට ඇතුළත් නොවීමට ඉඩ තිබුණ ද, වයස අවුරුදු හතලිස් සහ පනස් ගණන්වල පිරිමින්ගේ ශුක්‍රාණු පරිමාව, සරුභාවය, චලනය සහ විකෘති තත්ත්වය අනුව අඩු ගුණාත්මක බවක් ඇතැයි සාක්ෂිවලින් පෙනී යයි.

මෙම වෙනස්කම්වලින් අදහස් වන්නේ, පරිණත පියෙකුගේ වයස "වඳභාවයට පමණක් නොව ස්වාභාවික පිළිසිඳ ගැනීමෙන් පසු ගැබ්ගැනීම් අහිමි වීමේ ඉහළ අවදානමක් සමග දැඩි ලෙස සම්බන්ධ වී ඇති," බව පර්යේෂකයින් ලියා තිබේ. වැඩිහිටි පියෙකුට දාව උපදින දරුවන් ගබ්සා වීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි බව අධ්‍යයනයන් කිහිපයක් පෙන්වා දී ඇත.

එවැනි අවස්ථාවල උපතින් පසු ද රෝගවලට ලක්වීමේ අවදානමක් ඇත. 1950 ගණන්වල සිට වැඩිහිටි පියවරුන්ට ජානමය අක්‍රමිකතා සහිත දරුවන් ලැබීමේ සම්භාවිතාව වැඩි බව දන්නා කරුණකි. නමුත් එතැන් සිට වෙනත් විවිධ තත්ත්වයන් සහ දරුවන් ඉපදීම අතර සහසම්බන්ධයක් මතු වී තිබේ.

"පරිණත මවගේ වයස මෙන්, පරිණත පියාගේ වයස ද, දරුවන් තුළ දුර්වල සෞඛ්‍ය බලපෑම් ඇති වීමට බලපා ඇති බව වඩ වඩාත් පැහැදිලි වී ඇතැයි," යූටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.

අඩු බර උපත් අවදානම

colour image of sperm inseminated egg, life concept

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ, පිරිමින් වයසට යත් ම, ශුක්‍රාණු නිපදවන සෛලවල ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කළ හැකි විකෘති ඇති විය හැකි බව ය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නිදසුනක් වශයෙන්, වියපත් පියවරුන් අඩු බර උපත් හා අලුත උපන් බිළිඳුන්ට වලිප්පුව ඇතිවීමේ අවදානමට සම්බන්ධ බව ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සොයා ගත්හ. පියාගේ වයස, විවිධ ළමා පිළිකා මෙන් ම සංජානනීය හෘද රෝග ඇතිවීමේ අනුපාතය සමග ද සම්බන්ධ වේ.

කෙසේ වෙතත්, බොහෝ අධ්‍යයනවලදී මෙන් ම, මෙහිදී ද සෞඛ්‍ය තත්ත්වය හා බලපෑ හැකි හේතු අතර සම්බන්ධකම් පරීක්ෂා කරන යාන්ත්‍රණයන් අපැහැදිලි බව සිහි තබා ගත යුතු ය. දෙමව්පියන්ගේ ජීවන රටාව සහ පරිසර දූෂණය වැනි කාර්ය භාරයක් ඉටු කරන වෙනත් සංකීර්ණ සාධක පැවතිය හැකි ය.

කෙසේ වෙතත්, පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ පිරිමින් වයසට යත් ම, ශුක්‍රාණු සෑදෙන සෛලවල විකෘතිතාවන් හා DNA හානි ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය විය හැකි බව ය.

මෙවැනි අධ්‍යයනයන් මගින් වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් සරුභාවය ගැන පොදුවේ සිතන ආකාරය වෙනස් වීමට හේතු වේ. යුවළකට පිළිසිඳ ගැනීමේ ගැටලුවක් ඇති වූ විට කාන්තාව සහ ඇයගේ වයස පිළිබඳව අවධානය යොමු කිරීමේ ප්‍රවණතාවක් ඉතිහාසයේ සිට පවතී. ඇත්ත වශයෙන් ම, අධ්‍යයනයන් රාශියක් ඉලක්ක කරගෙන ඇත්තේ, කාන්තාවන්ගේ සරුභාවය යි. එහෙත්, පිරිමින්ගේ සරුභාවය කාන්තාවන්ට වඩා සෙමින් අඩු විය හැකි අතර ජීවිතයේදී පියෙකුගේ වයස තවමත් වැදගත් වන බව දැන් පැහැදිලි වෙමින් පවතී.

දැනට, පචීනෝ සහ ඩි නිරෝ - සහ හැත්තෑ, අසූ සහ අනූ ගණන්වල පසු වන අනෙකුත් පිරිමින්ගේ සිද්ධීන් දුර්ලභ දෙයක් ලෙස පවතී. කෙසේ වෙතත්, සමස්තයක් ලෙස ගත් කල, පිය පදවිය තවදුරටත් තරුණයන්ගේ ක්‍රියාදාමයක් නොවේ. 1970 ගණන්වල සිට, ඇමෙරිකාවේ වයස අවුරුදු 30ට අඩු පියවරුන් සංඛ්‍යාව 27%කින් අඩු වී ඇති අතර, වයස අවුරුදු 45-49 අතර පියවරුන් සංඛ්‍යාව 52% දක්වා වැඩි වී තිබේ.

පවතින ප්‍රවණතා දිගට ම පැවතියහොත්, වෛද්‍ය විද්‍යාව - සමාජ ආකල්ප හැරුණු විට - අනුවර්තනයකට ලක් වනු නොඅනුමාන ය.