මියගිය පුතුගේ ශීතකළ ශුක්‍රාණු භාවිතා කිරීමට දිල්ලි මහාධිකරණයෙන් යුවළකට අවසර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ගීතා පාණ්ඩේ
- Role, බීබීසී පුවත්, දිල්ලි
ඔවුන්ගේ මියගිය පුත්‍රයාගේ ශීතකළ ශුක්‍රාණු සාම්පල ඔවුන්ට භාර දෙන ලෙස අධිකරණය නියෝග කිරීමෙන් පසු, ඔවුන්ට ආදේශක ක්‍රමයකින් (surrogacy) මුණුබුරෙකු ලැබිය හැකි නිසා ඔවුන් "අතිශයින් සතුටු වූ" බව ඉන්දීය යුවළක් පවසා තිබේ.
මෙම සුවිශේෂී දිල්ලි මහාධිකරණ තීන්දුව පැමිණියේ වසර හතරක නීතිමය අරගලයකින් පසුවයි.
"අපි හරිම අවාසනාවන්තයි, අපට අපේ පුතා නැතිවුණා. නමුත් අපට අධිකරණයෙන් ගොඩක් වටින තෑග්ගක් දීලා තියෙනවා. දැන් අපට අපේ පුතාව ආපහු ලබාගන්න පුළුවන් වෙයි," මව වන හාබිර් කෞර් බීබීසී වෙත පැවසුවා ය.
2020 දෙසැම්බර් මාසයේ දී දිල්ලියේ ගංගා රාම් රෝහල විසින් ඔවුන්ගේ සඵලතා රසායනාගාරයේ ගබඩා කර ඇති [යුවළගේ] පුත්‍රයාගේ ශුක්‍රාණු නිදහස් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව කෞර් මහත්මිය සහ ඇගේ සැමියා ගුර්වින්දර් සිං අධිකරණයට පෙත්සමක් ගොනු කළ හ.
යුවළගේ 30 හැවිරිදි පුත්‍රයා වන ප්‍රීත් ඉන්දර් සිංට 2020 ජුනි මාසයේ දී රුධිර පිළිකා ස්වරූපයක් (Non-Hodgkin’s Lymphoma) ඇති බවට රෝග විනිශ්චය කර තිබූ අතර ප්‍රතිකාර සඳහා රෝහල්ගත විය.
"ප්‍රතිකාරය නරක විදිහට එයාගේ ශුක්‍රාණුවල ගුණාත්මකභාවයට බලපායි කියලා, එයාට කිමෝතෙරපි පටන් ගන්න කලින් ශුක්‍රාණු ගබඩා කරන්න කියලා රෝහලෙන් එයාට උපදෙස් දුන්නා," ගුර්වින්දර් සිං බීබීසීයට පැවසුවේ ය.
අවිවාහකව සිටි ප්‍රීත් ඉන්දර් එකඟ වී ඔහුගේ සාම්පල 2020 ජුනි 27 ශීත කරන ලදි. ඔහු සැප්තැම්බර් මුල දී මිය ගියේ ය.
මාස කිහිපයකට පසු, ශෝකයට පත් දෙමව්පියන් ඔවුන්ගේ පුත්‍රයාගේ ශීත කළ ශුක්‍රාණු වෙත ප්‍රවේශවීමට සොයා බැලූවිට රෝහල විසින් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි. ඉන්පසු යුවළ විසින් දිල්ලි මහාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වයස 60 ගණන්වල පසුවන යුවළ අධිකරණයට පැවසුවේ ඔවුන්ගේ පුත්‍රයාගේ ශුක්‍රාණු සාම්පල යොදාගනිමින් ඉපදෙන ඕනෑම දරුවෙකු ඔවුන් හදාවඩාගන්නා බවයි. එසේ ම ඔවුන් මරණයට පත්වුවහොත් දරුවාගේ සම්පූර්ණ වගකීම භාරගන්නා බවට ඔවුන්ගේ දියණියන් දෙදෙනා අධිකරණයේ ප්‍රතිඥා දී තිබේ.
පසුගිය සතියේ ඇයගේ තීන්දුව ලබා දෙමින් විනිසුරු ප්‍රතිභා සිං පැවසුවේ ශුක්‍රාණු හිමිකරුවා සිය අනුමැති ලබා දී තිබේ නම් "ඉන්දියානු නීතිය යටතේ මරණයෙන් පසු ප්‍රජනනයට එරෙහි කිසිම තහනමක් නෑ," යනුවෙනි.
සහකාර්‍රියක් හෝ දරුවන් නොමැති නිසා හින්දු උරුම ක්‍රමය පිළිබඳ පනත යටතේ නීත්‍යානුකූල උරුමක්කරරුවන් වන නිසා දෙමව්පියන්ට සාම්පලයට හිමිකම් ඇති බව ඇය එකතු කළා ය.
ඔවුන්ගේ පුත්‍රයාගේ "උරුමය" ඉදිරියට රැගෙන යාම වෙනුවෙන් ඔවුන් උසාවි මඟට පිවිසුණ බවත්, මෙම තීන්දුව ඔහු සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමටත් පෙළපත් නාමය දිගට ම පවත්වාගෙන යාමටත් සහය වන බව යුවළ පවසයි.
"එයා එයාගේ සහෝදරියන්ට ගොඩක් ආදරය කළා සහ එයාගේ යාළුවන්ගෙන් ගොඩක් ආදරය ලැබුවා. මගේ ෆෝන් එකේ එකේ ඉන්නෙ එයා. මම හැමදාම උදේට මගේ දවස පටන් ගන්නේ එයාගේ මුහුණ දිහා බලමින්," කෞර් මහත්මිය පැවසුවා ය. පෞද්ගලිකත්වය පිළිබඳ ගැටළු නිසා ඔහුගේ ඡායාරූපයක් බීබීසී සමඟ බෙදා ගැනීමට ඇය කැමති වූයේ නැත.
ඔහුගේ ශුක්‍රාණු ආදේශ ක්‍රමයකින් භාවිතා කිරීමට පවුලේ අය සලකා බලමින් සිටින බවත්, ආදේශකයා වීමට ඥාතියෙකු එකඟ වූ බවත් ඇය එකතු කළා ය. "අපි ඒක අපේ පවුල ඇතුළෙම රැක ගන්නවා," ඇය පැවසුවා ය. ඉන්දියානු නීතිය යටතේ වාණිජ ආදේශකයෙක් වීම නීතිවිරෝධී ය.
ඇගේ නීතීඥවරිය වන සුරුචි අග්‍රවාල් බීබීසීයට පැවසුවේ මෙම නඩුව දුර්ලභ වුවත් පූර්වාදර්ශයක් නොමැති නඩු තීන්දුවක් නොවන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බටහිර ඉන්දීය නගරයක් වන පූනේ නගරයේ 48 හැවිරිදි කාන්තාවක් විසින් ජර්මනියේ දී මොළයේ පිළිකාවකින් මිය ගිය ඇගේ 27 හැවිරිදි පුත්‍රයාගේ ශුක්‍රාණු යොදාගනිමින් නිවුන් දරුවන් ලැබූ 2018 වසරේ නඩුව ඇය අධිකරණයේ දී උපුටා දැක්වූවා ය.
අවිවාහකව සිටි ඇගේ පුත්‍රයා ද මරණයෙන් පසු ඔහුගේ ශුක්‍රාණු භාවිත කිරීමට ඔහුගේ මවට සහ සහෝදරියට අවසර දී ඇති අතර, ජර්මනියේ රෝහල විසින් ඔහුගේ සාම්පල ඔවුන්ට භාර දෙන ලදි.
2019 දී ස්කීන් [හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවක්] අනතුරකින් මිය ගිය 21 හැවිරිදි මිලිටරි ශිෂ්‍ය භටයෙකුගේ දෙමව්පියන්ට ඔහුගේ ශීත කළ ශුක්‍රාණුවලින් මුණුබුරෙකු ලැබීමට නිව්යෝර්ක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දුන් නඩුවේ උදාහරණය ද අග්‍රවාල් මෙනවිය ලබා දුන්නා ය.
ගාසාහි දී මරණයට පත් වූ 19 හැවිරිදි සොල්දාදුවෙකුගේ දෙමව්පියන්ට 2002 ඊශ්‍රායලයේ දී ඔවුන්ගේ පුත්‍රයාගේ ශුක්‍රාණු යොදාගනිමින් ආදේශක මවකගෙන් දරුවෙකු ලැබීමට හිමි කරගත් නීතිමය අවසරය ඇතුළුව මරණයෙන් පසු ප්‍රජනනය පිළිබඳ නඩු ගණනාවක් ඇගේ තීන්දුවේ දී විනිසුරු සිං ද උපුටා දැක්වූවා ය.
පූර්වාදර්ශයක් තිබේ නම් යුවළගේ ඉල්ලීම රෝහල් ප්‍රතික්ෂේප කළේ ඇයි?
ඇගේ තීන්දුවේ ව්නිසුරු සිං සඳහන් කළ ආකාරයට මරණයෙන් පසු ප්‍රජනනය සම්බන්ධ ප්‍රශ්නයට අන්තර්ජාතික එකඟත්වයක් නොමැත.
එක්සත් ජනපදය, එක්සත් රාජධානිය චෙක් ජනරජය සහ තවත් සමහර රටවල් ලිඛිත අනුමැතියක් සහිතව මරණයෙන් පසු ප්‍රජනනයට අවසර ලබා දෙයි. හැඟීම් සමථයකට පත් කරගැනීමට කාලය ලබා දීම සඳහා ඕස්ට්‍රේලියාව විසින් මරණයෙන් පසු වසරක බලා සිටීමේ කාලයක අමතර කොන්දේසියක් පනවා තිබේ.
ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය, බංගලාදේශය වැනි ඉන්දියාවේ අසල්වැසි දකුණු ආසියානු රටවල්වල මාර්ගෝපදේශනයක් නොමැති අතරේ දී, [මෙම] ක්‍රියාව ඉතාලිය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, මැලේසියාව, පාකිස්ථානය, හංගේරියාව සහ ස්ලෝවේනියාව වැනි රටවල් ගණනාවක් තහනම් කර තිබේ.
මරණයෙන් පසු ප්‍රජනනයට නීති ඇති රටවල්වල පවා, සැලකිය යුතු නඩු ප්‍රමාණයකට මැදිහත්ව ඇත්තේ ගැබ් ගැනීමට ශීත කළ ඩිම්බ හෝ ශුක්‍රාණු භාවිත කිරීමට බලාපොරොත්තුවන සහකරුවන් ය.
ඊශ්‍රායලය තුළ [සිය පුතුන්ගේ] මරණයෙන් දුකට පත් වී පුත්‍රයන්ගේ ශුක්‍රාණු සොයන දෙමව්පියන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, රුසියාව හා යුක්‍රේනය අතර ගැටුම උත්සන්න වීම නිසා යුක්‍රේනයේ සොල්දාදුවන්ට ශුක්‍රණු සංරක්ෂණය නොමිලේ ලබා දී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අධිකරණයේ දී ගංගා රාම් රෝහල පැවසුවේ නීත්‍යානුකූලව ඔවුන්ට සාම්පල නිකුත් කළ හැකි වන්නේ සහකාරියට බවයි. මියගිය අවිවාහක පිරිමි කෙනෙකුගේ ශුක්‍රාණු සාම්පල ඔහුගේ දෙමව්පියන්ට හෝ නීත්‍යානුකූල උරුමක්කරුවන්ට නිකුත් කිරීම පිළිබඳ පැහැදිලි නීති හෝ මාර්ගෝපදේශන නොමැති බව ඔවුහු පැවසූ හ.
ඉන්දියානු රජය ද යුවළගේ පෙත්සම ප්‍රතික්ෂේප කළේ, ඉන්දියාවේ ආදේශක දරු උපත් නීති අදහස් කරන්නේ දරුඵල නොමැති යුවළවලට හෝ කාන්තාවන්ට සහය වීමට මිස මුණුබිරෙකු ලැබීමට බලාපොරොත්තුවන පුද්ගලයන්ට නොවන බව පවසමිනි.
2021 දී ඉන්දියාවේ ප්‍රජනන සහාය පනතෙන් (ART) තනි පුද්ගලයන්ට ආදේශන ක්‍රම හරහා දරුවන් ලැබීම තහනම් කර ඇති බවත්, ප්‍රීත් ඉන්දර් අවිවාහක බවත්, ඔහු ඔහුගේ ශීත කළ ශුක්‍රාණු භාවිත කිරීමට ලිඛිත හෝ වාචික අනුමැතියක් ඉතිරි කර නොමැති නිසා දෙමව්පියන්ට ඒවා භාවිත කිරීමට ඉබේ ලැබෙන අයිතියක් නොමැති බවටත් බලධාරීහු කරුණු දැක්වූහ.
යුවළගේ නීතීඥවරිය වන අග්‍රවාල් මෙනවිය අධිකරකරණයේ දී තර්ක කළේ ඔහුගේ ශුක්‍රාණු ගබඩා කිරීමේ පෝරමය පිරවීමේ දී එය අභ්‍යන්තර සංසේචන (IVF) කටයුතු සඳහා බවට ප්‍රීත් ඉන්දර් පැහැදිලිව සඳහන් කර ඇති බවයි.
පෝරමයේ, අනුමැතිය ගම්‍යවන, පුත්‍රයාගේ සහ පියාගේ දුරකතන අංක තිබූ බව ඇය බීබීසීයට පැවසුවා ය. සාම්පල සංරක්ෂණයට පියා විසින් රසායනාගාරයට මුදල් ගෙවනු ලැබූ බව ද ඇය පෙන්වා දුන්නා ය.
ප්‍රජනන සහාය පනත හඳුන්වා දුන්නේ ආදේශක උපත්වල වාණිජකරණය වැළැක්වීම සඳහා සායන නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීමට මිස කණගාටුවට පත් වී සිටින දෙමව්පියන්ගේ පුද්ගල නිදහස සමඟ ගැටීමට නොවන බව ඇය පෙන්වා දෙයි.
ඔහුගේ ශුක්‍රාණු දරුවන් බිහිකිරීමේ අරමුණින් භාවිතා කිරීමට ප්‍රීත් ඉන්දර් අනුමැතිය ලබා දී ඇති බවට අග්‍රවාල් මෙනවියගේ තර්කය සමඟ විනිසුරු සිං එකඟ වූවා ය.
"ඔහු විවාහ වෙලා හිටියේ නෑ සහ ඔහුට සහකාරියක් හිටියෙත් නෑ. දරුවෙක් බිහි කිරීම දක්වා සාම්පලය පාවිච්චි කරන්න එයා අදහස් කරලා තියෙනවා. එයා මිය ගියාට පස්සේ මරණකරුගේ දෙමව්පියන් නීත්‍යානුකූල උරුමක්කාරයන් බවට පත් වෙනවා සහ ශුක්‍රාණු සාම්පල ජානමය දේවල් සහ සංස්ථාපිත දේපළ වන නිසාත්, ඒවා නිදහස් කරගැනීමට දෙමව්පියන්ට අයිතියක් තියෙනවා."
එම තත්ත්වයන් යටතේ අධිකරණය පැවසුවේ ඔවුන්ගේ පුත්‍රයාගේ ශුක්‍රාණු සාම්පලවලට එම යුවළට ප්‍රවේශ වීම ඔවුන්ට තහනම් කළ නොහැකි බවයි.
කෞර් මහත්මිය පවසන ආකාරයට අධිකරණ තීන්දුව ඇයට "අපේ පුතාව අපට ආපහු අරගෙන එන්න පුළුවන් බලාපොරොත්තුවේ දීප්තියක්, ආලෝකයක්," ලබා දී ඇති බවයි.
"මගේ දරුවාගේ ඉටුකරගන්න බැරිවුණ සියලු ආශාවන් ඉටුකරගන්න මම හැමදාම යාඥා කරනවා. අවුරුදු හතරක් ඒකට ගත වුණත් මගේ යාඥාවලට පිළිතුරු ලැබුණා," ඇය එක් කළා ය.














