ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
Asian Youth Games 2025: ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම ලහිරු අචින්තගෙන්
- Author, බීබීසී සිංහල
2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ මීටර 1500 බාලක ධාවන ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ලහිරු අචින්ත රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. ලහිරු අචින්ත ප්‍රදර්ශනය කළ දක්ෂතාව මිනිත්තු 3:57.42කි.
මෙම දක්ෂතාවය එම ක්‍රීඩා උළෙලේ හොඳම ලකුණක් (Youth Games Best Mark) ලෙසද දක්වා ඇත.
මෙම ක්‍රීඩා උළෙල බහරේනයේ සත්කාරකත්වයෙන් පැවැත්වේ. එහි මලල ක්‍රීඩා තරග ආරම්භ වූයේ (ඔක්තෝම්බර් 23) දිනයේදීය.
16 හැවිරිදි වියේ පසු වන ලහිරු අචින්ත රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍යයෙකි.
නෙත්මිගෙන් ලෝකඩ පදක්කමක්
මේ අතර මීටර 1500 බාලිකා ඉසව්වට තරග කළ නෙත්මි ගිම්හානි පුල්ලේ ක්‍රීඩිකාව ලෝකඩ පදක්කම දිනා ගත්තාය. ඇය ප්‍රදර්ශනය කළ දක්ෂතාව මිනිත්තු 4:52.32කි.
16 හැවිරිදි නෙත්මි පුත්තලම ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවකි.
2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඇරඹි පළමු දිනයේදීම පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වීම විශේෂත්වයකි.
ලාංකික ක්‍රීඩකයින්ගෙන් දක්ෂතා
මීට අමතරව ඊයේ දිනයේදී තුන් පිම්ම බාලක ඉසව්වට තරග කළ සවිඳු සුදර්ශක ක්‍රීඩකයා එහි සිව්වැනි ස්ථානයට පත් විය. ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතාව සටහන් වූයේ මීටර 14.16ක් ලෙසය.
මේ අතර මීටර 400 බාලක ධාවන ඉසව්වේ දෙවැනි මූලික තරගයට එක් වූ ශානුක කොස්තා ඉන් ජය ලබා අවසන් තරගයට සුදුසුකම් ලැබීය. ඔහු තරගය අවසන් කළේ තත්පර 47.79 කිනි.
බොක්සිං කිලෝ ග්‍රෑම් 50 බර පන්තියේ මූලික වටයේ තරගයට එක් වූ ජනිඳු ධනංජය හමුවේ ප්‍රතිවාදී බංග්ලාදේශ ක්‍රීඩකයා වට 3ට 2ක් ලෙස පරාජයට පත් විය.
ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ 3 වැනි වරටය.