ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දහසකුත් බාධක මැද ලක්මව රනින් සැරසූ ප්‍රවීණයින්ගේ කතාව
පසුගිය කාලය පුරාවට ජනමාධ්‍යයන්හි මෙන්ම රටේ බොහෝදෙනාගේ ද අවධානය යොමුව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාව වෙත ය.
ඒ අතර දහසක් බාධා මැද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිලිපීනයේ පැවති 22 වැනි ආසියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා එක්වූ ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලක්මව පදක්කම්වලින් සැරසූ අයුරු බොහෝදෙනාගේ අවධානයෙන් ගිලිහී ගොස් තිබිණි.
එම ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 1500 හා මීටර් 5000 දුරදිවීමේ තරගවලින් රන් පදක්කම් ද, මීටර් 800 තරගයෙන් ලෝකඩ පදක්කමක් ද, මීටර් 5000 ඇවිදීමේ තරගයෙන් කුසලතා සම්මානයක් ද ලංකාවට දිනාදුන් මුලතිව්, මුල්ලියාවේ පදිංචි 72 හැවිරිදි අකිල තිරුනායකි නම් ක්‍රීඩිකාව ගැන මිට පෙර බීබීසි සිංහල සේවය වාර්තා කළේ ය.
ඔවුන්ගේ වගකීම ඉහළින්ම ඉටුකොට නැවත මෙරටට පැමිණිය ද ඔවුන් ගැන මෙරට බලධාරීන්ගේ මෙන්ම පොදු මහ ජනතාවගේ අවධානය යොමුවූයේ ඉතා අල්ප ලෙස ය.
පදක්කම් පහක් දිනූ හෙද නිලධාරිනිය
පිලිපීනයේ 22 වෙනි ආසියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී පදක්කම් පහක් දිනූ හෙද නිලධාරිනියක් පිළිබඳ බීබීසි සිංහල සේවයට තොරතුරු වාර්තා විය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද නිලධාරිනියක් ලෙස සේවය කරන ඇය නමින් ජයසූරිය ආරච්චිගේ අරුණි ශිවන්ති ජයසූරිය යි.
1978 වසරේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ දී උපත ලබා ඇති ඇය මූලික අධ්‍යාපනය ශ්‍රී ගුණරතන කනිෂ්ඨ විද්‍යාලයයෙන් හදාරා ඇති අතර පසුව ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයයෙන් උසස් අධ්‍යාපනය හදාරා තිබේ.
"මම පාසැල් යන කාලයේ ඉදලා මලල ක්‍රීඩා වගේම වොලිබෝල් සහ කරාතේ යන ක්‍රීඩා ඉසව්වලට සම්බන්ධ වුණා. සමස්ත ලංකා තරගවලට නම් සහභාගී වෙලා නැහැ, නමුත් පළාත් තරග දක්වා මම ක්‍රීඩා කරලා තියෙනවා," ඇය පැවසුවා ය.
පාසැල් අධ්‍යාපනයෙන් පසු 1999 වසරේ දී හෙද නිලධාරිනියක් ලෙස පුහුණුවට එක්වූ ඇය, 2002 වසරේ දී ස්ථිර පත්වීම් ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවයට එක්වී ඇත.
"මම දැනට අවුරුදු 21ක් රෝහලේ හෙද නිලධාරිනියක් ලෙස සේවය කරනවා," ඇය පැවසීය.
‘මම එක පදක්කමක් හෝ දිනා තිබෙනවා’
ඇය 2016 වසරේ දී පැවති ආසියානු ප්‍රවීනයින්ගේ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ බව ද ඇය පැවසුවා ය.
මේ දක්වා ඇය ප්‍රවීනයින්ගේ මලල ක්‍රීඩා ශුරතාවලි හතරකට සහභාගී වී ඇති බවත්, ඒ සෑම විටකදීම එක් පදක්කමක් හෝ ජයග්‍රහණය කර ඇති බවත් ඇය සඳහන් කළා ය.
"මම 2014 වසරේ දී තමයි ආපහු ක්‍රීඩාව පටන් ගත්තේ. 2016 අවුරුද්දේ ඉඳලා මේ වෙද්දී තරගාවලි හතරකට සහභාගී වෙලා තියෙනවා. ඒ හැම තරගාවලියකදිම මම එක් පදක්කමක් හෝ දිනලා තියෙනවා.
"2017 වසරේදී ස්‌පාඤ්ඤයේ පැවති ලෝක ශුරතා තරගාවලියට සහභාගි වුණා. එකේ තුන් පිම්ම ඉසව්වෙන් මට හිමිවුණේ 15 වෙනි ස්ථානය.
"මේ අවුරුද්දේ තමයි මට පදක්කම් පහක් ජයග්‍රහණය කරන්න අවස්ථාව උදාවුණේ. එහිදී මම තුන් පිම්ම, උස පැනීම සහ දුර පැනීම කියන ඉසව් තුනෙන්ම රන් පදක්කම් ජයග්‍රහණය කළා.
"ඊට අමතරව මිටර් 400 x 4 සහාය දිවීමේ තරගයෙන් රිදී පදක්කමත්, මිටර් 100 x 4 සහාය දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන්න සමත් වුණා," ඇය පැවසුවා ය.
ක්‍රීඩාව වෙනුවෙන් සිදුකරන කැපවීම
දෙදරු මවක් වන ඇය වෘත්තීය කටයුතු නොපිරිහෙළා ඉටුකරන අතරේ ක්‍රීඩාවේ නිරතවෙයි.
"මගේ ස්වාමිපුරුෂයා මීට මාස අටකට කලින් ඇතිවූ හෘදයාබාධයක් නිසා ජීවිතයෙන් සමුගත්තා. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් තවම අධ්‍යාපනය හදාරනවා.
"මම රැකියාව කරන ගමන් ක්‍රීඩා පුහුණුවීම්වල නිරත වෙනවා. සාමාන්‍යයෙන් සතියකට දින දෙකක් විතර ක්‍රීඩා පුහුණුවීම්වල නිරත වෙනවා. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේ දී පුහුණුවීම් සිදුකරන්නේ. එතැන හමුදාවේ ක්‍රීඩකයින් පුහුණු කරන්න එන උපදේශකවරයෙක් තමයි මට උපදෙස් ලබාදීම සිදු කරන්නේ. මුදල් අය කිරීමක් කරන්නේ නැතිව පුහුණුවීම් කරන්න අවශ්‍ය මඟ පෙන්විම සිදුකරනවා.
"සාමාන්‍යයෙන් දිනයකට පැය දෙකකට අධික කාලයක් පුහුණුවීම් කරනවා. එහෙම පුහුණුවීම් ලබලා ආපහු මම රාජකාරි කරන්න දවල්ට රෝහලට යනවා," ඇය පැවසීය.
බාධක මැද තරගාවලියට ගිය ගමන
පිලිපීනයේ පැවති ආසියානු ප්‍රවීනයින්ගේ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගිවීම සඳහා ඇයට අවශ්‍ය මුදල් සොයාගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බව ඇය මෙහිදී සඳහන් කළා ය.
පදක්කම් ජයග්‍රහණය කළද මේ දක්වා කිසිදු ඇගයීමක් හෝ හිමි නොවූබව ඇය පැවසුවා ය.
"මෙම තරගාවලියට සම්බන්ධ වෙන්න අවශ්‍ය මුදල් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හෝ වෙනත් ආකාරයේ අනුග්‍රහයක් ලැබුනේ නැහැ. ඒ නිසා මගේ හොඳම යහළුවගෙන් වගේම මගේ දෙමව්පියන්ගෙන් පවා මුදල් ණයට ගන්න සිද්ධ වුණා. එහෙම ගිහින් තමයි පදක්කම් පහක් ජයග්‍රහණය කරන්න හැකි වුණේ.
"මේ ගමනට ලක්ෂ තුනකට අධික මුදලක් වියදම් වුණා. වීසා ගන්න තැන ඉදලා, ගුවන් ප්‍රවේශපත් වගේම, ඉඳුම් හිටුම්, කෑම සහ පිලිපීනයේ ප්‍රවාහන ගාස්තු වෙනුවෙන් ඒ මුදල් දරන්න සිද්ධ වුනේ අපිටම යි. නමුත් තරගාවලිය ජයග්‍රහණය කරලා ආවට පස්සේ කිසිම ඇගයීමකට ලක්වුණේ නැහැ අපිව.
"පසුගිය අවස්ථාවලදී ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අපිට අවසරයක් හිමිවුණා. නමුත් අපිට මේ පාර ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අවසරය හිමිවුණේ නැහැ. ඒ නිසා ගොඩක් අයට රාජකාරි නිවාඩු පවා ලබාගන්න හැකිවුණේ නැහැ. නමුත් මට රාජකාරි නිවාඩු ලබාගන්න හැකිවුණා.
"මේ තරගාවලියට ලංකාවෙන් පමණක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට ආසන්න පිරිසක් සහභාගී වෙලා පදක්කම් 80කට අධික සංඛ්‍යාවක් ජයග්‍රහණය කළා," ඇය පැවසුවා ය.
ක්‍රීඩාවට අමතරව ඇය රුධිර පරිත්‍යාග කිරීමේ කටයුත්තේ ද නිරතවන බව ඇය මෙහිදී පැවසුවා ය. මේ දක්වා අවස්ථා 21ක දී රුධිර පරිත්‍යාග කිරීමට ඇය කටයුතු කර ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.
"ගොඩක් දෙනෙක් කියනවා ක්‍රීඩා කරද්දී ලේ දන්දෙන්න එපා කියලා. නමුත් මම අවුරුද්දට එක් වතාවක් හෝ දෙවතාවක් ලේ දන්දීම සිදුකරනවා. දැනට 21ක් වතාවක් ලේ දන්දීම සිදුකර තිබෙනවා. නමුත් මට එහෙම අපහසුතාවක් දැනිලා නැහැ. දැන් මම නැවත ක්‍රීඩා කරන්න පටන් අරන් අවුරුදු නවයක් වෙනවා," ඇය කියා සිටියා ය.
‘ලංකාවේ අය ගොඩක් ශක්තිමත්’
මේ අතර ආසියානු ප්‍රවීනයින්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ දී ඇයට හමුවූ අනෙක් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ලද පිළිගැනීම ගැන ද හෙද නිලධාරිනි අරුණි ජයසූරිය මෙසේ සිහිපත් කළා ය.
"මම තුන් පිම්ම ඉසව්වට තරග කරලා ජයග්‍රහණය කළාම එතන හිටිය අනෙක් රටවල ක්‍රීඩිකාවන් මට හොඳ ඇගයීමක් ලබා දුන්නා. ඒ වගේම උස පැනීම, දුර පැනීම සහ දිවීමේ තරග ඉසව්වලට යද්දී ඒ අය මගෙන් ඇහුවා 'ඔයා මේවටත් තරග කරනව ද' කියලා. ඒ වගේම ඔවුන් කිව්වා ලංකාවේ අය හරිම ශක්තිමත්, ඔයාලත් එක්ක තරග කරලා අපිට දිනන්න හරි අමාරු යි කියලා," ඇය පැවසුවා ය.
බිරිඳගේ රන් භාණ්ඩ උකසට තබා තරගාවලියට එක්වූ ක්‍රීඩකයා
මේ අතර, මෙම මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවී රන් හා රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ එක්ස් කිරණ අංශයේ සේවය කරන 59 හැවිරිදි කේ. ඒ. අජිත් පුෂ්පකුමාර අල්විස් සමත් වී තිබේ.
කොළඹ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටින අජිත් පුෂ්පකුමාර විවාහක දෙදරු පියෙකි.
මෙවර පිලිපීනයේ පැවති ආසියානු මාස්ටර්ස් මලල ක්‍රීඩා තරගාවලියේ කිලෝමීටර් තුන බාධක දිවීමේ තරගයෙන් රන් පදක්කමත්, කිලෝමීටර් පහ ඇවිදීමේ තරගයෙන් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට ඔහු සමත්විය.
තරගාවලියට සහභාගිවීම සම්බන්ධයෙන් අජිත් පුෂ්පකුමාර බීබීසි සිංහල සේවයට මෙසේ අදහස් දක්වා සිටියේ ය:
"මේ වසරේ ආසියාවේ ප්‍රවීනයින්ගේ මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙන්න අවස්ථාව උදාවෙනවා කියලා තහවුරු වුණාම මම වැඩකරන රෝහලේ සුබ සාධක සංගමය හරහා මූල්‍යම සහයෝගයක් ඉල්ලලා ලිපියක් භාර දුන්නා. නමුත් මාසයක කාලයක් ගතවෙලත් ඒකට පිළිතුරක් ලැබුණේ නෑ.
"අවසානයේ දී මම සේවය කරන එක්ස් කිරණ අංශයේ ප්‍රධානිතුමා අනෙක් අයත් එක්ක එකතුවෙලා රුපියල් ලක්ෂයක් හොයලා දුන්නා. එකෙන් තමයි මූලික වැඩ ටික කර ගත්තේ.
"පස්සේ මගේ බිරිඳ එයාගේ ලඟ තිබ්බ රත්ත්‍රන් බඩු ටික දීලා කිව්වා 'මේ ටික තියලා සල්ලි අරන් ගමන යන්න, ආවට පස්සේ මොනවා හරි කරගමු' කියලා.
"දැන් මම තරගාවලියට ගිහිල්ලා ආවා. අඩුම තරමින් කිසිම කෙනෙක් අපේ මහන්සිය ගැන ඇගයීමක් කළේ නැහැ. ක්‍රීඩාව කරන්න අතින් මුදල් වියදම් කරලා අවසානයේ දී කිසිම දෙයක් නොලැබෙන තැන දැන් හිතිලා තියෙන්නේ ඇයි අපි මේවට මහන්සි වෙන්නේ කියලා.
"මම පාසැල් යන කාලයේ ඉදලා ක්‍රීඩා කරනවා, ඒ වගේම පාපැදි ධාවකයෙක්. 1993 වසරේ දී සිදුවුණ අනතුරකින් පස්සේ තමයි පාපැදි ධාවනය නතර කරලා මැරතන් වගේ දිගු දුර ධාවනයට එක්වුණේ.
"මේ වෙද්දී පදක්කම් 200 කට අධික සංඛ්‍යාවක් දිනලා තියෙනවා දෙස් විදෙස් තරගාවලිවලට සහභාගී වෙලා," ඔහු පැවසුවේ ය.