අද එජාප සහ සජබ සාකච්ඡාවේදී සිදුවූ දේ

    • Author, බීබීසී සිංහල

ජාතික ජන බලවේගයට බහුතර බලය නොමැති පළාත් පාලන ආයතනවල 'බලය පිහිටුවීම සඳහා වන එකඟතාවකට' සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය 'සාර්ථකව එළඹ' තිබේ යනුවෙන් එම පක්ෂවල මහ ලේකම්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වේ.

එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (මැයි 19) පැවැත්විණි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරළ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සාකච්ඡා අවසන් වී පිටතට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ, සාකච්ඡා සාර්ථක වූ බව ය.

'කවුද ජනාධිපතිතුමාට බය?'

මෙහිදී සාකච්ඡාවට සහභාගි වී පිටතට පැමිණි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ මාධ්‍යවේදීන් අතර ඇති වූ සංවාදය පහත දැක්වේ.

රංජිත් මද්දුමබණ්ඩාර: "ඉදිරියේදීත් සාකච්ඡා තියෙනවා. අනික් පක්ෂ සමගත් සාකච්ඡා ඉතා ම සාර්ථක යි. විපක්ෂයේ සියලු කණ්ඩායම් පොදු එකඟතාවකට ඇවිත් තියෙනවා."

මාධ්‍යවේදියෙක්: "ජනාධිපතිතුමාට අනුව නම් ලේසි නෑ පිහිටුවන්න."

රංජිත් මද්දුමබණ්ඩාර: "කවුද ජනාධිපතිතුමාට බය?"

මාධ්‍යවේදියෙක්: "මාස 4න් ඔබතුමාලගේ ඒව කඩනවා කියලනෙ කියන්නෙ. කොමසාරිස්ට බලය දෙනව."

රංජිත් මද්දුමබණ්ඩාර: "ඒගොල්ලො එහෙම කියනව තමයි බය කරන්න. එතකොට කෝ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය?"

සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීම සඳහා "අඩිතාලමක් දැමූ" අතර, එය "සාර්ථක" වූ බව ය.

'කොළඹ මහ නගර සභාවේ නගරාධිපති පත් කරන්නේ අපි'

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ද මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වීය.

"සාකච්ඡා සාර්ථක යි. ප්‍රතිපත්ති අනුව මේක ඉදිරියට ගෙනියන්න දැන් සාකච්ඡා කරල තියෙන්නෙ. ඒක සාර්ථකව කරගෙන යනව. සමගි ජන බලවේගය යි, එක්සත් ජාතික පක්ෂය යි සාකච්ඡා කරනව. ඒ සාකච්ඡා සාර්ථක යි."

මෙහිදී මාධ්‍යවේදියෙකු සඳහන් කළේ, "ආණ්ඩුව අත අරින්නෙ නෑ" යනුවෙනි.

ඊට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයාගේ ප්‍රතිචාරය වූයේ, "අපිත් අත අරන්නෙ නෑ" යන්න ය.

'කොළඹ මහ නගර සභාවේ නගරාධිපති පත් කරන්නේ අපි'

මේ අතර, සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ, "සාකච්ඡා ඉහළින් ම සාර්ථක" බව ය.

ලබන 2 වන දා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය පොදු විපක්ෂය එකතු වී පත් කරන බව ද ඔහු පැවසීය.

මාලිමාවට 50% ලැබුණු ආයතන ගණන

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 265ක බහුතර බලය ලබා ගැනීමට සමත් වුව ද ඉන් 50% හෝ ඊට වැඩි සභික සංඛ්‍යාවක් හිමි කර ගැනීමට හැකි වූයේ පළාත් පාලන ආයතන 72ක පමණි.

ඉලංගෙයි තමිල් අරසු කට්චි පළාත් පාලන ආයතන 35ක බහුතර බලය ලැබූ අතර, ආයතන 3ක පමණක් 50%ක් හෝ ඊට වැඩි මන්ත්‍රී ධූර ගණනක් හිමි කර ගත්තේ ය.

සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 14ක සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පළාත් පාලන 6ක බහුතර බලය ලබා ගත්ත ද, ඔවුන්ට කිසිදු පළාත් පාලන ආයතනය ආසන සංඛ්‍යාවෙන් 50% ලබා ගැනීමට නොහැකි විය.

වෙනත් ස්වාධීන කණ්ඩායම් විසින් පළාත් පාලන ආයතන 19ක බහුතර බලය ලබා ගනු ලැබුව ද ඉන් එක් පළාත් පාලන ආයතනයක පමණක් 50%ක සීමාව ඉක්මවා ආසන ලබා ගැනීමට සමත් විය.

ජනපතිගේ ස්ථාවරය

විපක්ෂ කණ්ඩායම් එකතු වී, ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක, සිය පක්ෂය ජය ගත් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට සූදානම් වන කණ්ඩායම්වලට "අනතුරු ඇඟවීමක්" කළේ ය.

"ලංකාවේ පළමු වතාවට 267ක් පළමු පාර ප්‍රාදේශීය සභා දිනලා තියෙනවා. දිනන හැම එකක් ම පිහිටු වීම ජනවරමේ අපේ අයිතිය. ඒකට අකුල් හෙළන්න, ඒකට බාධා කරන්න එනවා නම්, බාධා කරන අකුල් හෙළන අයට කියන්නේ, නීතියේ ඕන තරම් ඉඩකඩ තියෙනවා කියලා මතක තියා ගන්න."