ඔබේ ඡන්දයෙන් පත්වන පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ භූමිකාව

    • Author, බීබීසී සිංහල

ලෝකයට ම මැතිවරණ වසරක් වූ පසුගිය වසර ශ්‍රී ලංකාවට ද සුවිශේෂී වූයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැතිවරණ වර්ග හතරෙන් වැදගත් ම මැතිවරණ දෙක පසුගිය වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම නිසා ය.

එහිදී ජාතික ජන බලවේගය එම මැතිවරණ දෙක ම ජයග්‍රහණය කළ අතර, මහ මැතිවරණයේදී වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගනිමින් මන්ත්‍රී ධූර 159ක් දිනා ගැනීමට එම පක්ෂය සමත් විය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීම මෙම මැතිවරණ දෙකට ම පෙර කැඳවූ නමුත් එම මැතිවරණය වසර දෙකකට ආසන්න කාලයක් කල් දැමුණේ ඒ සඳහා අවශ්‍ය අරමුදල් නොමැති බව පවසමින් ය.

මෙලෙස කල් ගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නැවත නාමයෝජනා කැඳවීම සිදුවූ අතර, එළැඹෙන මැයි 06 වන දින එම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය.

මේ වන විට ඒ සඳහා අවශ්‍ය නිල ඡන්ද දැන්වීම පත්‍රිකා ඡන්ද දායකයන්ගේ නිවෙස්වලට බෙදාහැරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතියි.

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය පාලනය සඳහා ගම්සභා ක්‍රමය ඇරඹෙන්නේ 1818දී තරම් ඈත කාලවකවානුවකදී ය.

කාලානුරුපී ව මෙම පළාත් පාලනය 1980 දශකයේදී මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන ව්‍යුහ තුන යටතේ ක්‍රියාත්මක වන බව දැකගැනීමට හැකි ය.

මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වෙන මෙවර ඡන්ද විමසීම මහ නගර සභා 28ක් නගර සභා 36ක් ඇතුළු පළාත් පාලන ආයතන 336කට නියෝජිතයන් ආසන්න වශයෙන් 8000කට වැඩි සංඛ්‍යාවක් තෝරාගැනීමට නියමිත ය.

පුංචි ඡන්දය ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලබන මෙම ඡන්ද විමසීම ඡන්ද දායකයෙකු වශයෙන් ඔබට වැදගත් වන්නේ කෙසේ ද?

මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයා බැලීමකි.

කාර්යභාරය

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත, 1984 අංක 48 දරන නගර සභා (සංශෝධන) පනත සහ 1984 අංක 48 දරන නගර සභා (සංශෝධන) පනත වැනි මෙම පළාත් පාලනය සම්බන්ධ පනත්වලට අනුව ඔබගේ ඡන්දය ලබාගෙන පළාත් පාලන ආයතනයට තේරී පත්වන මහජන නියෝජිතයන්ගේ කාර්යභාරයේ ස්වභාවය පහත පරිදි වේ.

  • සිය පළාත් පාලන ආයතනයේ ක්‍රියාකාරීත්වයට අදාළ තීරණ ගැනීම
  • ආයතනයේ ප්‍රතිපත්ති සහ අනු නීති සම්පාදනය
  • තීරණ ක්‍රියාවට නැංවීම සහ අධීක්ෂණය කිරීම
  • සභාවේ මහජන සම්බන්ධතා නිලධාරීන් ලෙස ක්‍රියා කිරීම
  • ප්‍රජා නායකයන් ලෙස ක්‍රියා කිරීම
  • සභාවේ සම්පත්වල භාරකරුවන් ලෙස ක්‍රියා කිරීම

භූමිකාව

ඉහත සඳහන් කළ පනත් සහ තවත් නීතිවලට අනුව අපගේ ඡන්දයෙන් තෝරා පත්කරගනු ලබන මෙම මහජන නියෝජිතන්ගේ භූමිකාව පහත පරිදි පෙන්වා දිය හැකි ය.

  • සභා රැස්වීම්වලට පැමිණීම සහ සක්‍රීය ලෙස කටයුතුවලට සහභාගිවීම
  • කමිටු රැස්වීම්වලට පැමිණීම සහ සක්‍රීය ලෙස සිය කටයුතුවලට සහභාගි වීම (මේ යටතේ ස්ථාවර කාරක සභා මෙන්ම සෙසු කමිටු අයත් වේ)
  • සමහර රැස්වීම්වලදී තීරණ ගැනීම සඳහා ඡන්දය භාවිතා කිරීම
  • සභාව නියම කර ඇති කාර්යන් සක්‍රීයව සහ මනා ලෙස ඉටුකිරීම
  • විෂය භාර අමාත්‍යවරයාගේ කොමසාරිස්වරයාගේ නියමයන්ට හා උපදෙස්වලට එකඟව කටයුතු කිරීම
  • සභාවක කටයුතු දක්ෂ ලෙස හා කාර්යක්ෂමව ඉටු කිරීම
  • නීති මගින් සලසා ඇති විධි විධාන අනිසි ලෙස යොදා නොගැනීම
  • සභාවේ ප්‍රතිපත්ති හා අතුරු ව්‍යවස්ථා සම්පාදනය
  • ආයතනයේ ක්‍රියාකාරීත්වයට අදාළ නිවැරදි තීරණය නිවැරදි අවස්ථාවේදී ගැනීම
  • තීරණ ක්‍රියාවට නැංවීම සහ අධීක්ෂණය කිරීම
  • කාර්යක්ෂම කළමනාකරුවකු ලෙස කාරක සභාව මෙහෙයවීම සහ බලය භාවිතා කිරීම
  • සභාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලින් පිළිබඳව නිසි ලෙස විමසිලිමත්ව සොයා බලා ආයතන ප්‍රධානියා (නගරාධිපති, සභාපති) දැනුවත් කිරීම
  • ආයතනයේ මහජන සම්බන්ධතා නිලධාරීන් ලෙස ක්‍රියා කිරීම
  • ප්‍රදේශයේ ප්‍රජනනායකයින් ප්‍රජා නායකයන් ලෙස කටයුතු කිරීම
  • සභාවේ නියෝජිතයන් ලෙස ජනතාවට අදාළ සේවා සැපයීම
  • පළාත් පාලන නීතිරීති පිළිබඳව මනා අවබෝධයක් සහිතව ක්‍රියා කිරීම
  • විධිමත් ලෙස මහජන මුදල් පරිහරණය ක්‍රියාත්මක කිරීම
  • සභාවේ සෑම අංශයක ම ප්‍රගතිය පිළිබඳව වාර්තා අධ්‍යයනය කර අඩුපාඩු පිටුදැකීමට දායකත්වයක් ලබා දීම

මහජන නියෝජිතයන්ට ලැබෙන දීමනා

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයට අනුව, මහනගර සභාවක නගරාධිපතිවරයෙකුගේ මාසික දීමනාව රු. 30,000ක් වේ.

නියෝජ්‍ය නගරාධිපතිවරයෙකුගේ මාසික දීමනාව රු. 25,000ක් වන අතර, මහා නගර සභා සභිකයෙකුගේ දීමනාව රු. 20,000ක් වේ.

නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකුට රු. 25,000ක මාසික දීමනාවක් හිමි ය.

උප සභාපතිවරයෙකුට රු. 20,000ක් ද, සභිකයෙකුට 15,000ක මාසික දීමනාවක් ද හිමි වේ.

මේ දීමනාවලට අමතරව, මාසික ගමන් වියදම් දීමනා, දුරකථන දීමනා වැනි දීමනා කිහිපයක් ද මෙම මහජන නියෝජිතයන්ට හිමි ය.

2018දී මිශ්‍ර සමානුපාතික ක්‍රමයට අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආරම්භ කිරීමෙන් පසුව එතෙක් පළාත් පාලන ආයතනවල සිටි මහජන නියෝජිතයන් සංඛ්‍යාව 86%කින් ඉහළ ගොස් තිබේ.

මේ නිසා 2017ට සාපේක්ෂව 2018 දී මාසික දීමනා ගෙවීම සඳහා මාසයකට යන වියදම 87%කටත් වඩා වැඩියෙන් එනම්, රු. මිලියන 70කින් පමණ වැඩි වී තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඔබට වැදගත් ඇයි?

ඔබ ජීවත් වන ප්‍රදේශයේ ඔබේ එදිනෙදා ජිවිතයට නිතර ම අවශ්‍ය වෙන බොහෝ දේවල් අයත් වන්නේ ඔබගේ ප්‍රදේශයේ ඇති ආයතනයේ විෂය පථයට වේ.

විදී වීදි ලාම්පු නඩත්තුව, ප්‍රදේශයේ කසළ කළමනාකරණය, මාර්ග පිරිසිදු කිරීම, කාණු පද්ධති හා ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය වැනි ඔබට අත්‍යවශ්‍ය බොහෝ සේවාවන් සපයනු ලබන්නේ ඔබ ජීවත් වන ප්‍රදේශයට අයත් පළාත් පාලන ආයතනය විසින් ය.

පොදු ජනතාවගේ ආසන්න ම දේශපාලන ආයතනය වන්නේ පළාත් පාලන ආයතනය වන නිසා ජනතාවගේ සක්‍රීය ක්‍රියාකාරීත්වය තුළින් සිය දේශපාලන ආයතනවල ක්‍රියාකාරී බවට බලපෑම් කිරීමට හැකියාව පවතියි.

නිදසුනක් ලෙස, පළාත් පාලන ආයතනයේ පවතින පරිසර කමිටුව වැනි කමිටු රැස්වීම්වලට සම්බන්ධ වී තම ප්‍රදේශයේ පරිසරය ගැන සභාව විසින් ගනු ලබන තීරණවලට සම්බන්ධ වීමේ හැකියාව පළාත් පාලන ආයතනයේ බල ප්‍රදේශයේ පදිංචි ජනතාවට තිබේ.

එමෙන් ම දේශපාලන පවුල් පසුබිම්වලින් තොරව සාමාන්‍ය ජනතාවට දේශපාලන අයිතිවාසිකම් තහවුරු කර ගැනීමට පවත්නා ඉතා වැදගත් අවස්ථාව වන්නේ ද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම යි.

තම ප්‍රදේශයේ සම්පත් සහ විභවතාවයන් නිවැරදි ලෙස හඳුනාගෙන අදාළ අනු නීති පනවමින් ඒවායෙහි සංවර්ධනය පොදුවේ ඇතිකර ගැනීමට අවස්ථාවක් ඇති වන්නේ ද උක්ත ඡන්ද විමසීම සංස්ථාපිත වන පළාත් පාලන ආයතන හරහා ය.

විශේෂ ස්තූතිය: උපාය මාර්ගික පර්යේෂක, පුහුණු විශේෂඥ පළාත් පාලන, දේශපාලනයේ කාන්තා අයිතිවාසිකම් සහ කාන්තා සහභාගීත්වය පිළිබඳ පුහුණු විශේෂඥ ශ්‍රියානි රුවනාරා විජේසුන්දර