ඔබේ අලුත් වාහනයට මාස 3කින් අලුත් අංක තහඩු

Cars

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

2020 වසරේ සිට වසර පහක් පමණ කාලයක් නවතා දමා තිබූ වාහනය ආනයනය කිරීම යළි ආරම්භ කර වසරක් ගතව තිබේ.

ඒ අනුව, 2025 පෙබරවාරි 1 වන දා සිට 2023, 2024 සහ 2025 වසරවල නිෂ්පාදිත වාහන ආනයන කිරීම සඳහා අවසර ලබා දීම සිදු විය.

එලෙස වාහන ආනයනය සඳහා අවසර දෙනු ලැබුවේ, අමතර බදු කිහිපයක් ද පනවමිනි.

වාහන ආනයනය කළ ද මාර්ගයේ ගමන් ගන්නා නව මෝටර් රථ බොහොමයක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනු ලබන නිල අංක තහඩු දක්නට නැත්තේ, පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට අංක තහඩු මුද්‍රණ ටෙන්ඩරය අහෝසි වීම හේතුවෙනි.

වාහන අංක තහඩු මුද්‍රණය නැවතුණේ ඇයි?

නව අංක තහඩු නිකුත් නොකිරීම හේතුවෙන් වාහන හිමියන්ට තාවකාලිකව අංක තහඩු සකස් කර වාහනයේ ප්‍රදර්ශනය කරමින් මහා මාර්ගයේ ධාවනය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව විසින් අවසර ලබා දෙනු ලැබීය.

එසේ අවසර ලබා දීමෙන් පසුව පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් අංක තහඩු මුද්‍රණය කරනු ලබන බවට වූ දැන්වීම් විශාල ගණනක් සමාජ ජාලාවල සංසරණය වනු දැකගත හැකි විය.

ඒ සඳහා ඔවුන් රුපියල් 3,500 සිට 7,000ක් හෝ ඊට වැඩි මුදලක් වාහන වර්ගය අනුව අය කරන බව බීබීසී සිංහල කළ සොයා බැලීමකදී අනාවරණය විය.

ඉකුත් වසරේ ඔක්තෝබර් මස ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් අංක තහඩු හඳුන්වා දීමට කටයුතු කරන බවත් එහි අඩංගු ලක්ෂණ හත පරීක්ෂා කිරීමේ ගැටලුවක් මතුව ඇති බැවින් අංක තහඩු නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බවත් ය.

එමෙන් ම වසර 25ක් පුරා අංක තහඩු මුද්‍රණය ලබා ගෙන තිබූ සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ අභියාචනයක් හේතුවෙන් ද අංක තහඩු මුද්‍රණ ටෙන්ඩරය ලබා දීමේ ප්‍රමාදයක් සිදුව ඇති බව අමාත්‍යවරයා එහිදී පැවසීය.

Vehicles

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අංක තහඩු මුද්‍රණය අලුත් සමාගමකට

මේ වන විට අංක තහඩු නිකුත් කිරීම නවතා දමා මාස 8ක් ගතව ඇති අතර මෙම වසරේ ජනවාරි 6 වන දා කැබිනට් තීරණ දැනුම් දෙමින් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, ඉදිරිපත්ව තිබු ලංසු අතරින් තෝරාගත් සැපයුම්කරුට අංක තහඩු මුද්‍රණය සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව ය.

ඒ අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව වෙත වසර 5ක් සඳහා අංක තහඩු මුද්‍රණය කර සැපයීම සඳහා වූ කොන්ත්‍රාත්තුව South Asian Technologies PVT Limited ආයතනය වෙත පිරිනමා ඇති බව ඇමතිවරයා පැවසීය.

'මාස තුනකට කලින් අලුත් අංක තහඩු'

මෙවැනි පසුබිමක නව අංක තහඩු මුද්‍රණය කර නිකුත් කිරීම සම්බන්ධයෙන් බීබීසී සිංහල තොරතුරු සොයා බැලීය.

"ඉන්දියන් කම්පැනි එකක් තියෙන්නේ, ඒගොල්ලෝ අලුතින් ඇවිල්ලා මැෂින් හයි කරලා වැඩ පටන් ගන්න ඕනේ. කැබිනට් පේපර් එකෙන් ඒගොල්ලන්ට මාස තුනක කාලයක් දීලා තියෙනවා ඒ වැඩ කටයුතු කර ගන්න," යැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පැවසීය.

මාස තුනක කාලයක් ගත වීමට මත්තෙන් එම සමාගමට අංක තහඩු මුද්‍රණය ආරම්භ කිරීමට හැකි වනු ඇති බවට කොමසාරිස් ජනරාල්වරයා විශ්වාසය පළ කළේ ය.

එමෙන් ම නව අංක තහඩුව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් අංක තහඩුවක් බව ද ඔහු කියා සිටියේ ය.

අමාත්‍ය බිමල් රත්නායක පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවට දන්වා සිටියේ, 2025 සැප්තැම්බර් 30 දිනට වාහන අංක තහඩු නිකුත් කර නොමැති වාහන සංඛ්‍යාව 165,512ක් බව ය.

ඉකුත් වසරේ ආනයනය කළ වාහන ගණන

ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දෙන ලද දත්තවලට අනුව, 2025 වසරේ ජනවාරි 1 සිට දෙසැම්බර් 31 වන දා දක්වා මෙරට ගෙන්වා ඇති වාහන ගණන 398,207කි.

ඉන් 90,245ක් මෝටර් කාර් වන අතර මගී ප්‍රවාහන බස් හා වාහන සංඛ්‍යාව 2,744ක් වේ.

එම කාල සීමාව තුළ මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ඇත්තේ යතුරු පැදි වන අතර එම ගණන 277,976කි.

ප්‍රවාහන වාහන 11,380ක් සහ වතු වාහන 8,164ක් එම කාල සීමාව තුළ මෙරටට ගෙන්වා ඇති අතර වෙනත් ඛාණ්ඩවලට අයත් වාහන 32,776ක් ද ගෙන්වා ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ දත්ත වාර්තාවල සඳහන් වේ.