ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මාලිමා මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර සහ පොලිස් නිලධාරියෙකු අතර ඇතිවූ සිද්ධිය ගැන මෙතෙක් අප දන්නා කරුණු
- Author, බීබීසී සිංහල
විදුහල්පතිවරයකු ලෙස සේවය කරමින් සිට පසුගිය මහමැතිවරණයට ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් කාණ්ඩායම් නායකයා ලෙස ඉදිරි වී ජය ලබා පාර්ලිමේන්තුවට පැමිණි ශාන්ත පද්ම කුමාර මන්ත්‍රීවරයා සම්බන්ධව මේ දිනවල දැඩි කතා බහක් මතුව තිබේ.
ඒ, සූරියකන්ද පොලිසිය එම ප්‍රදේශයේ ගංජා වගාවක් තිබූ ස්ථානයක් වැටලීමත් සමග ය.
සිද්ධිය ගැන මන්ත්‍රීවරයා කියන්නේ කුමක්ද?
අදාළ ගංජා වගාව තිබූ ඉඩම මන්ත්‍රීවරයාට යම් සම්බන්ධයක් ඇතැයි කියවෙන අතර එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ශාන්ත පද්ම කුමාර මන්ත්‍රීවරයා ගෙන් බීබීසී සිංහල විමසීමක් කළේය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ අදාළ ඉඩම තම බිරිඳගේ සහෝදරියකට අයත් බවය. ඔහු පැවසුවේ එම ඉඩමේ කොටසක ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු බෝංචි වගාවක් කරගෙන යන බව ය.
එමෙන්ම අදාළ ඉඩම කුඹුරක් බව සහ වසර 15කින් පමණ එහි වගාවක් නොකර අතහැර තිබිය දී එම තරුණයන් බෝංචි වගාව ආරම්භ කර ඇති බවත් පැවසූ මන්ත්‍රීවරයා සිද්ධිය විස්තර කළේය.
"ඔය කියන දිනේ 12/16 දවල් පොලිසියෙන් ගිහිල්ලා බෝංචි වගා කරලා තියෙන දෙන්නට කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ එක්කගෙන ඇවිල්ලා තියෙනවා පොලිසිය එක තැනකට, ඒ ඇවිල්ලා තියෙන්නේ ඔය කියන ඉඩමයි ඒ ඉඩම උඩින් පොඩි ඇළක් තියෙනවා කුඹුරුවලට ජලය ගන්න. ඒ ඇළට උඩින් තව ඉඩමක් තියෙනවා අඩි 10ක විතර හිස් භූමියක් තියෙනවා දැන් කැළෑවල් තියෙන්නේ. ඊට උඩ තවත් හිමිකරුවකුට අයිතිය ඉඩමක් තියෙනවා."
සූරියකන්ද පොලිසියේ නිලධාරින් දෙදෙනෙකු බෝංචි වගා කරන තරුණයන් එම හිස් ඉඩමකට කැඳවා බඳුනක පැළ කර තිබෙන ගංජා පැළ දෙකක් පෙන්වා එය ඔවුන්ගේ දැයි ප්‍රශ්න කර ඇතැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.
පොලිසිය සහ එම තරුණයන් අතර දීර්ඝ ලෙස සිදුවූ දෑ විස්තර කළ මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර තවදුරටත් බීබීසී සිංහල වෙත කියා සිටියේ අදාළ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකුට විරුද්ධව ගංජා සම්බන්ධව නඩුවක් ගොනු කර අධිකරණයට ඉදිරිපත් කර දඩ නියම කිරීමෙන් අනතුරුව නිදහස් කර ඇති බවය.
අදාළ තරුණයන් අත්අඩංගුවට ගත් දින ඊට මැදිහත් වූ එක් නිලධාරියකු තම හිතවතෙකු අමතා තමන්ට අයත් ඉඩමකින් ගංජා හමුවූ බවට පවසා ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය.
"සාජන් චාමින්ද කියන කෙනා අපිට හිතවත් තිළිණ කියලා මල්ලි කියලා කෙනෙක් ඉන්නවා, තිළිණට රෑ 11ට විතර දිගින් දිගට කෝල් අරගෙන තියෙනවා. එයා එකවර ආන්සර් කරලා නැහැ. දිගින් දිගට කෝල් අරගන්න නිසා එයා ආන්සර් කරලා ඇයි කියලා අහලා තියෙනවා. එතකොට කියලා තියෙනවා අන්න උඹලාගේ ලොක්කා ගංජා වගා කරලා තියෙනවා, ගංජා හේන වැටලුවා අපි දැන් හරි. ඔන්න දැන් උඹලා ලොක්කාට කියාපං බලාගන්න පුළුවන් ඉස්සරහට කියලා ඔහොම ටිකක් ලොකු සංවාදයක් දුරකථන ඇමතුමෙන් වෙලා තියෙනවා."
මන්ත්‍රීවරයාගේ ගංජා හේනක් වැටලු බව සහ ඊට අදාළ වැඩි විස්තර කොලොන්න පොලිසියෙන් විමසිය හැකි බවට එදිනම කොලොන්න ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේග මන්ත්‍රී බුද්ධික යන අය සිය සමාජ මාධ්‍යයේ සටහනක් තබ ඇති බවත් මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර සඳහන් කළේය.
එය භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුළ මෙන්ම ප්‍රසිද්ධ මාධ්‍ය තුළ ද තම නාම පාවිච්චි කරමින් ගංජා හේනක් පවත්වා ගෙන ගිය බවට අසත්‍ය ප්‍රචාරණය ගෙන ගොස් ඇතැයි ඔහු පැවසීය.
එම සිදුවීම්වලින් පසුව දෙසැම්බර් 19 වැනිදා පාර්ලිමේන්තුවේ දී තමන්ගේ වරප්‍රසාද කඩවීමක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකින් අනතුරුව ඒ පිළිබඳව මන්ත්‍රී වරප්‍රසාද කමිටුවට එය යොමු කරන ලෙස මන්ත්‍රීවරයා විසින් කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ.
"ඒකේ සඳහන් කරනවා මං පාර්ලිමේන්තුවේදී සූරියකන්ද පොලිසියේ ස්ථානාධිපති ලාල් මහත්මා, සාජන් චාමින්ද මහත්මයා, ඊට පස්සේ පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි මහත්මයා ගැන මම සටහනක් කරනවා. එකත් මාධ්‍යයේ ගියා."
එම ප්‍රකාශයෙන් අනතුරුව දෙසැම්බර් 20 වැනිදා තමන් අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට යන විට තමන් චෝදනා කළ එක් පොලිස් නිලධාරියකු තමන් සමග කතා කිරීමට අවශ්‍ය බව පැවසූ බව මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර විස්තර කළේය.
"කළුගල හන්දියේ තියෙනවා කඩ පේළියක්, එතන ඉන්නවා අපේ හිතවතෙක් කපිල කියලා මුදලාලි කෙනෙක්. එයාව මුණ ගැහෙන්න වාහනය නවත්වනවාත් එක්කම අර කියන සුසන්ත හෙට්ටිආරච්චි කියන පොලිස් කොස්තාපල්වරයා එනවා, එයා බීමත්ව ඉන්නේ. මගේ වාහනයේ රියදුරු අසුන පැත්තේ බයිසිකලේ හේතුත් කරලා බයිසිකලේම ඉඳන් රියදුරුගේ පැත්තේ වීදුරුවට තට්ටු කරනවා වීදුරුව පහත් කරන්න කියලා. එතකොට අපේ රියදුරු සහෝදරයා වීදුරුව පහත් කරනවා. පහත් කළාට පස්සේ මන්ත්‍රීවරයා සමග මට පෞද්ගලික ගැටලුවක් තියෙනවා විසඳ ගන්න කියලා. මම කිව්වා මාත් එක්ක ද කියලා."
ඉන්පසුව තම අසුන පැත්තට පැමිණි පොලිස් නිලධාරියා, පාර්ලිමේන්තුවේ දී ඔහුගේ නම සඳහන් කිරීම ගැන ප්‍රශ්න කරමින් වාහනයේ දොර විවෘත කිරීමට උත්සාහ කළ බව පැවසූ මන්ත්‍රීවරයා, වාහනයෙන් තමන් බැස ගත් පසුව අසල සිටි පිරිස ඒ අසලට රොක් වූ බව ද කියා සිටියේය.
'එතන විශාල පිරිසක් ඉන්නවා කඩේ, ඒගොල්ලෝ ඔක්කොම ඇවිල්ලා අර මනුස්සයා පැත්තකට ඈත් කරලා මට කියලා මන්ත්‍රීතුමා ඔයා වහනයට නගින්න මේ යකා මෝඩයෙක්, පිස්සෙක් කියලා එයාට චෝදනා කරලා මන්ත්‍රීතුමා යන්න කියලා වාහනයට ගලකින් හරි ගැහුවොත් කියලා. ඊට පස්සේ කපිල කියන මුදලාලිත් එක්කත් කතා කරලා මළ ගෙදර යන්න අපි යනවා."
එහෙම ස්ථානයෙන් තමන් පිටව යන අවස්ථාවේ දී තම වාහනය හඹා පැමිණි අදාළ පොලිස් නිලධාරියා තම වාහනය හරස් කර ඔහුගේ යතුරු පැදිය නවතා තම මග හරස් කළ බව මන්ත්‍රීවරයා බීබීසී සිංහල වෙත පැවසීය.
"වාහන නැවත්තුවාට පස්සේ කෙලින්ම මගේ පැත්තට ඇවිල්ලා දොරෙන් අඳිනවා, මෙයා කෑගහනවා අපි මේක බේරගන්න ඕනේ මේ ප්‍රශ්නේ, එහෙම කියලා කෑගහලා කුණුහරුපෙන් බනිනවා. ඒ සද්දෙට එතන ගෙදර මල්ලි කනෙක් එනවා එළියට, ඇවිල්ලා මේ සිද්ධිය නිරීක්ෂණය වෙනවා. එයා කියනවා මන්ත්‍රීතුමා ඔහොම්ම පොලිසියට කෝල් එකක් ගන්න කියලා. මම පොලිසියට කෝල් එකක් ගන්නවා, ඒ ගන්නේ ඇඹිලිපිටිය SP මහත්තයාට තුසිත කුමාර මහත්තයාට. අරගෙන කියනවා මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා."
මන්ත්‍රීවරයා සඳහන් කළේ, එසේ දුරකථන ඇමතුම ගන්නා විට මග හරස් කළ පොලිස් නිලධාරිය සිය යතුරු පැදිය දමා එම ස්ථානයෙන් පලා ගිය බවය.
උසස් පොලිස් නිලධාරියාගේ උපදෙස් අනුව අදාළ සිදුවීම සම්බන්ධව කොලොන්න පොලිසියට පැමිණිලි කිරීමට යන අතරතුර සබරගමු පළාතභාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන් පසුව ඔහු දුරකතන ඇමැතුම පැමිණිල්ලක් ලෙස භාරගෙන විමර්ශන ආරම්භ කරන බව දැන්වූ බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
කෙසේවෙතත් ඉන් ටික වෙලාවකට පසුව මන්ත්‍රී ශාන්ත කුමාර අමතා ඇති පොලිස්පතිවරයා උපදෙස් දී ඇත්තේ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසයි.
ඒ අනුව මන්ත්‍රීවරයා කොලොන්න පොලිසිය වෙත අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
"අපි පැමිණිල්ල දාලා ආවා, ඕක තමයි ඉතින් ශාන්ත පද්ම කුමාර ආණ්ඩුවේ මන්ත්‍රී, මෙයා පහර දීලා තියෙනවා පොලිස් කොස්තාපල්ට කියලා දෙවෙනි ප්‍රවෘත්තිය දිගින් දිගට සමාජ මාධ්‍යයේ විද්‍යුත් මාධ්‍යයේ යනවා."
සූරියකන්ද පොලිස් ස්ථානයේ ඇතැම් නිලධාරින්ගේ හැසිරීම පිළිබඳව උසස් පොලිස් නිලධාරීන්ට පැමිණිළි කිරීම හේතුවෙන් තමන්ට මෙසේ චෝදනා කරන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පොලිස් කොස්තාපල්වරයාගෙන් මන්ත්‍රීවරයාට චෝදනා
කෙසේ වෙතත් අදාළ පොලිස් කොස්තාපල්වරයා පෙරළා මන්ත්‍රීවරයාට චෝදනා කරන්නේ ඔහු ඇතුළු පිරිසක් තමන් වෙත පහර දුන් බවටයි.
"ගෙදර යන්න ගියා, යන්න යනකොට ගෙදරට කිලෝ මීටර් භාගයක් විතර මෙහායින් පාරේ වංගුවක් තියෙනවා එතන නවත්වලා මගේ බයික් එකේ යතුර ගත්තා. යතුර අරගෙන උඹ දැනගනින් උඹ මට අපහාස කරලා තියෙනවා, ගංජා අල්ලා තියෙනවා අරකයි මේකයි කියලා කුණුහරුපෙනුත් බැනලා මට ගැහුවා. ඔලුවටත් ගැහුවා, පපුවටත් ගැහුවා එතන තව තුන් හතර දෙනෙක් හිටියා මම ඒ කට්ටිය අඳුරනවා." යැයි පොලිස් කොස්තාපල්වරයා මාධ්‍ය වෙත පවසා තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර සමග ප්‍රාදේශිය සභා මන්ත්‍රී ඉන්දික නම් අයෙකු සහ තවත් කිහිප දෙනෙකු සිටි බව කොස්තාපල්වරයා මාධ්‍ය වෙත කියා සිටියේය.
පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත්තේ ඇයි?
කෙසේ වෙතත් දෙසැම්බර් 21 වැනිදා පොලිස් කොස්තාපල්වරයා, කොලොන්න රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් බීබීසී සිංහල කියා සිටියේය.
"එයාගේ පැමිණිල්ලේ තියෙනවා යතුරු පැදිය පැහැර ගත්තා කියලා. ඒ කතාව සනාථ වෙන්නේ නැහැ. එයාට පහර දුන්නයි කියලා කියනවා, අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කළාම ඒක තහවුරු වෙන්නෙත් නැහැ. නොමඟ යවන සුළු ප්‍රකාශයන්, අසත්‍ය ප්‍රකාශයන් කරලා තියෙනවා කියලා පේනවා." යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
එමෙන්ම ශාන්ත පද්ම කුමාර මන්ත්‍රීවරයා පහර දුන් බවට පොලිස් කොස්තාපල්වරයා කර ඇති පැමිණිල්ල සම්බන්ධව සහකාර පොලිස් අධිකාරිවරයකුගේ නායකත්වය යටතේ විමර්ශනයක් සිදුවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් බීබීසී සිංහල වෙත පැවසීය.
'මන්ත්‍රීවරයාගෙන් සහ පොලිස් නිලධාරියාගෙන් ලැබුණ පැමිණිළි'
කැබ් රථයෙන් ගමන් කරන විට අදාළ පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ යතුරු පැදිය හරස් කර කැබ් රථය නවතා මාර්ගය අවහිර කර පහරදීමට තැත් කළ බවට මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව කොලොන්න පොලිසිය වෙත පැමිණිලි කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.
එමෙන්ම තමා රාජකාරිය නිම කර නිවසට යමින් සිටිය දී කළුගල පන්සල අසල දී පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර ඇතුළු පිරිසක් තමන්ට පහර දී යතුරුපැදිය පැහැරගෙන ගිය බවට අදාළ පොලිස් කොස්තාපල්වරයාගෙන් 119 මධ්‍යස්ථානය මගින් කොලොන්න පොලිස් ස්ථානය වෙත පණිවිඩයක් ලැබී ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාට ඇප
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දෙසැම්බර් 23 වැනිදා නිවේදනය කළේය.
මන්ත්‍රීවරයා ගමන් ගත් වාහනය අයුතු අවහිරය සිදුකර සාපරාධි බියගැන්වීමක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව ද එම නිවේදනයේ සඳහන් වේ.
ශාන්ත පද්ම කුමාර සුබසිංහ මන්ත්‍රීවරයා යනු කවුද?
1973 පෙබරවාරි 12 වෙනි දා උපන් ශාන්ත පද්ම කුමාර සුබසිංහ, 2024 පැවති මහමැතිවරණයෙන් ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කොලොන්න ආසනයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.
එම මැතිවරණයේ දී ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකයා ලෙස ද කටයුතු කරමින් දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත් විය.
ශාස්ත්‍රවේදී උපාධියක්, දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ජාතික ශික්ෂණ විද්‍යා අධ්‍යාපන ඩිප්ලෝමාවක් හිමි කරගෙන ඇති මන්ත්‍රීවරයා විදුහල්පතිවරයකු ලෙස ද කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් තීරුවේ දක්වා ඇත.
එමෙන්ම ශාන්ත පද්ම කුමාර සුබසිංහ මන්ත්‍රීවරයා වසර 36ක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු කටයුතු කරනු ලබන බවත් එහි සඳහන් වේ.
මන්ත්‍රී ඩොට් එල්කේ වෙබ් අඩවියට අනුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ 163 වැනි ශ්‍රේණිය හිමි කරගෙන සිටින අතර පක්ෂය තුළ ඔහුට 105 වැනි ශ්‍රේණිය හිමිව තිබේ.
මන්ත්‍රීවරයා ආර්ථික හා මුල්‍ය, නගර සැලසුම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන, ස්වාභාවික සම්පත් හා පරිසර මෙන්ම යුක්තිය, ආරක්ෂාව හා සාමය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදවලදී වාර 11ක දී සභාව නියෝජනය කර ඇතැයි එම වෙබ් අඩවිය පවසයි.