එප්පාවල හෙරොයින් සිද්ධිය: විදුහල්පතිවරයාට රැඳවුම් නියෝග, බිරිඳ බව කියන පෑලියගොඩ නාගරික මන්ත්‍රිනිය ඉල්ලා අස්වෙයි

    • Author, බීබීසී සිංහල

එප්පාවලදී මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගනු ලැබූ විදුහල්පතිවරයාගේ බිරිඳ බව කියන දිස්නා නිරංජලා පෑලියගොඩ නාගරික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව එම නගර සභාවේ සභාපති කපිල සමන් කීර්ති බීබීසී සිංහල සේවයට පැවසීය.

ඒ අනුව, ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත යොමු කර තිබේ.

දිස්නා නිරංජලා කුමාරි පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තේරී පත්විය.

අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

කිලෝ ග්‍රෑම් එකකට අධික හෙරොයින් තොගයක් සමග අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේදී ප්‍රාථමික පාසල් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරමට එහා ගිය දේශපාලනික වශයෙන් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්ව තිබේ.

ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ, පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියක වන දිස්නා නෙරංජලාගේ ස්වාමි පූරුෂයා බවට වාර්තා පළ වීමත් සමග ය.

දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය දුන් නියෝගය

එප්පාවල, ඇඳගල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 184යි, මිලිග්‍රෑම් 400ක් සමග අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ විදුහල්පතිවරයා සහ තවත් සැකකරුවෙකු දින 7ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අධිකරණය අද (නොවැ: 06) අවසර ලබා දුන්නේ ය.

ඒ, සැකකරුවන් තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රි හෙට්ටිආරච්චි හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

මෙම සැකකරුවන් දෙදෙනාගේ නමින් ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර විමර්ශන පොලිස් නිලධාරීන්ට ලබා දෙන ලෙසට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල කළමනාකාරීත්වයට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ජංගම දුරකතනවලට අදාළ විශ්ලේෂණ වාර්තා විමර්ශන පොලිස් නිලධාරින්ට ලබා දෙන ලෙසට සියලු ම රාජ්‍ය සහ පෞද්ගලික දුරකතන සමාගම්වල කළමනාකාරීත්වයට තවදුරටත් නියෝග කරනු ලැබුවා ය.

සැකකරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ නම් ලබා දෙන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන දින 7ක කාලයට පෙර විමර්ශන අවසන් වුවහොත් ඒ බව අධිකරණයට දැනුම් දෙන ලෙසත්, එලෙස විමර්ශන අවසන් නොවුණහොත් සැකකරුවන් ලබන 12 වන දින යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා ය.

මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමිනි.

මෙසේ දින 7ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරනුයේ තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ කටියාව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු වන ජයන්ත බාලසූරිය සහ එප්පාවල, ඇඳගල, නල්ලමුදාව පාර පදිංචි එච්.ඒ. තරිඳු ධනංජය වික්‍රමසිංහ යන සැකකරුවන් දෙදෙනා ය.

මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසුවේ, එප්පාවල ඇඳගල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 69 යි මිලිග්‍රෑම් 35ක් සමග අත්අඩංගුවට ගත් එච්.ඒ. තරිඳු ධනංජය වික්‍රමසිංහ නමැති සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරිම්වලදී සැකකාර විදුහල්පතිවරයා හෙරොයින් ජවාරමේ නියැළෙන්නෙකු බවට තොරතුරු අනාවරණය වූ බව ය.

එම තොරතුරු ඔස්සේ මූලික විමර්ශන මෙහෙයවා එප්පාවල, ඇඳගල ප්‍රදේශයේ පිහිටි සැකකාර විදුහල්පතිවරයාට අයත් නිවසක් සහිත හෝටලයක් පරීක්ෂා කර හෙරෝයින් කිලෝ 1 යි ග්‍රෑම් 184 යි මිලි ග්‍රෑම් 400ක් සමග සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව ද පැවසූ පොලිසිය, සැකකාර විදුහල්පතිවරයා විදුහල්පති තනතුරේ රාජකාරි කරන අතරවාරයේ දීර්ඝ කාලයක් සිට හෙරොයින් ජාවාරම කරගෙන ගොස් ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව ද සඳහන් කළේ ය.

මේ පිළිබඳව වැඩිදුර සහ නිශ්චිත තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේ ය.

ඒ අනුව, සැකකරුවන් දෙදෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අධිකරණයේ අවසරය ලබා දෙන ලෙස ද පොලිසිය අධිකරණයෙන් අයැද සිටියේ ය.

සැකකාර විදුහල්පතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නිතිඥ ෂමින්ද සිල්වා පැවසුවේ, සිය සේවාදායකයා සන්තකයේ හෙරොයින් තිබූ බවට පොලිසිය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ය.

දෙපාර්ශවය දැක්වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රි හෙට්ටිආරච්ච් සැකකරුවන් දෙදෙනා දින 7ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලෙසට නියෝග කරමින් ඒ සඳහා පොලිසියට අවසරය ලබා දුන්නා ය.

විපක්ෂයේ අදහස්

සමගි ජන බලවේගයේ චරිත් අබේසිංහ අද (නොවැ: 06) පැවති මාධ්‍ය හමුවකදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ, "ජනාධිපතිතුමාට අපි කියන්නේ පාරේ ඉන්න බල්ලන්ට ඉන්ජෙක්ෂන් ගහන්න කලින් තමන්ගේ ගෙදර ඉන්න බල්ලන්ට ඉන්ජෙක්ෂන් ගහගත්තා නම් හොඳයි කියලා."

"මනම්පේරිව අත්අඩංගුවට ගන්නකොට කොච්චර ඉක්මනට මාධ්‍ය සංදර්ශන පැවැත්වුවා ද? වැලිගම ලසාට වෙඩි තියපු වෙලාවේ කොච්චර ඉක්මනට පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳව පැටිකිරිය දුන්න ද? පාරේ නඩු අහන යුගයක් නිර්මාණය කරපු මේ ආණ්ඩුවට දැන් කටඋත්තර නැති වෙලා තියෙනවා. කුඩු අල්ලන ප්‍රොජෙක්ට් එක පක්ෂේ ඇතුළේ ම කුඩේ කුඩු වෙලා තියෙනවා. මාලිමාවේ මේ ඉන්න දේශපාලනඥයින්ට අර විනාඩි 5න් එළියට ඇවිල්ල අනිත් අය ගැන කියපු විස්තර තමන්ගේ අය ගැන කියා ගන්න බැරි වෙලා තියෙනවා," චරිත් අබේසිංහ පැවසීය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා බීබීසීයට කියූ දේ

පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියක වන දිස්නා නෙරංජලාගේ ස්වාමි පුරුෂයා බව කියන අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බීබීසී සිංහල මහජන ආරක්ෂක අමාත්‍ය අනන්ද විජේපාලගෙන් විමසා සිටියේ ය. එහිදී ඔහු කියා සිටියේ, "විමර්ශන සිද්ධ වෙනවා. දැනට කියන්න බැහැ," යනුවෙනි.

මෙම සිද්ධිය මුල්කර ගනිමින් රජයට එල්ල වන විවේචන සම්බන්ධයෙන් ද බීබීසී සිංහල මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළේ ය. ඊට ප්‍රතිකාර දක්වමින් ඔහු කියා සිටියේ,"අපි අත්අඩංගුවට අරන් තියෙනවා. අත්අඩංගුවට අරන් නැත්තම් නේ බලන්න ඕනේ නේ ද? වෙන දා අහන්නේ අත්අඩංගුවට ගත්තා ද නැද්ද කියලා. දැන් අත්අඩංගුවට ගත්ත එක ගැන ද අහන්නේ."

"විමර්ශන ක්‍රියාත්මක වෙනවා. මේකට සම්බන්ධ නම් කවුරු හරි එයාලා අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා." මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම මන්ත්‍රීවරිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුට ඥාතීත්වයක් ඇතැයි පළවන වාර්තා සම්බන්ධයෙන් ද බීබීසීය මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර ඔහු කියා සිටියේ, එලෙස ආනාවරණය වී නොමැති අතර දැනට විමර්ශන ක්‍රියාත්මක බව ය. දැනට ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ද ඔහු පැවසීය.

මේ අතර, අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ බව කියන මන්ත්‍රීවරිය සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල අවස්ථා කිහිපයකදී ම උත්සහ කළ අතර එක්වරක් ඇය ඊට ප්‍රතිචාර දැක්වුව ද, අප යොමු කළ ප්‍රශ්නය අසා සිටි ඇය ඊට ප්‍රතිචාර නොදක්වා දුරකතනය විසන්ධි කළා ය.

අදාළ විදුහල්පතිවරයා සහ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නෙරංජලා අතර ඇතැයි කියන ඥාති සම්බන්ධතාව ස්වාධීනව තහවුරු කර ගැනීමට බීබීසී සිංහල සේවයට මෙතෙක් හැකියාවක් නොලැබිණි.

'තරාතිරම බලන්නේ නැතිව, පංගු බේරු බලන්නේ නැතිව නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා'

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල අද (නොවැම්බර් 7 වැනිදා) කොළඹ පැවති උත්සවයකදී අදහස් පළ කළේය.

"යම් සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සිද්ධියට තරාතිරම බලන්නේ නැතිව, පංගු බේරු බලන්නේ නැතිව නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ නීතිය කාටත් එකයි."

"ජනවරම බලාපොරාත්තු වුණේ කාටත් එක නීතියක්. ඉතින් ඒක ඉෂ්ට වෙලා නේ ඊයේ දවසේ." යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

"ශ්‍රී ලංකාවේ මිනිස්සු සතුටුවෙන්න ඕනේ, අද ශ්‍රී ලංකා පොලිසිය කරන මේ වැඩපිළිවෙලට. මොකද තරාතිරම බලන්නේ නැහැ. පංගු බේරුව බලන්නේ නැහැ.කාටත් එක සේ නීතිය ක්‍රියාත්මක කරනවා. ඒකනේ අපේ රටේ මිනිස්සු බලාපොරාත්තු වෙන්නේ." යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.