රුසියාවේ උසස් පෙළ විභාගය සමත්වූ ශ්‍රී ලාංකික සිසුවෙකුට මෙරට වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට වරම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රුසියාවේ උසස් පෙළ විභාගය සමත් වී මෙරට වෛද්‍ය පීඨයට ඇතුළුවීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිඵල ලබා ගත් ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට මෙරට වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට ඉඩ ලබා නොදීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
එම තීන්දුව දුන් ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කළේ, එම සිසුවා වහා ම මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා ලෙස ය.
බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ඉසුල දම්සිත් ජයරත්න නමැති සිසුවෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබිණි.
එය විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා සහ සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.
පෙත්සම්කරුගේ චෝදනාව
තමන් කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ බවත් තම පියා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන්වරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරක් ලැබීමෙන් අනතුරුව තමා රුසියාව බලා පිටත් වූ බවත් සිසුවා පවසයි.
එහිදී ඉන්දියානු, පකිස්ථාන හා බංග්ලාදේශ සිසුන් ඉගෙනුම ලබන පාසලකින් ජ්‍යෙෂ්ඨ පාසල් සහතික පත්‍ර විභාගය සමත් වූ අතර එය ශ්‍රී ලංකාවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සමාන විභාගයක් බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දුන්නේ ය.
ඉන්පසුව තමා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙරට රජයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා අයැදුම් පතක් ඉදිරිපත් කළ අතර ඊට අදාළ නිර්ණායකයන්ට තමා අයත් නොවන බව සඳහන් කරමින් අදාළ අයැදුම්පත මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව ඔහු තම පෙත්සමෙන් චෝදනා කර තිබිණි.
මේ හරහා සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර තිබිණි.
'විදේශ කටයුතු අමාත්‍යාංශයට බලයක් නැහැ'
පෙත්සම විභාග කිරීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී පෙත්සම්කරු රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා අදාළ නිර්ණායකයන් යටතේ සුදුසුකම් ලබා ඇති බව ය.
මෙම ක්‍රියාව සම්බන්ධයෙන් මැදිහත්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට බලයක් නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා, පෙත්සම්කරුගේ අදාළ අයැදුම්පත ප්‍රතික්ෂේප කිරීමට එම අමාත්‍යංශය ගත් තීරණය නීතියට පටහැනි බව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත.
මේ තුළින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, පෙත්සම්කරු මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨ ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කළේ ය.


































