ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2025 වසරේ ලොව ප්‍රීතිමත් ම නගර 5 මෙන්න
- Author, ලින්ඩ්සි ගැලෝවේ
මිතුරන්, පවුල සහ ප්‍රජාවක් පිළිබඳව වන හැගීම්වලින් ප්‍රීතිය අත්කර ගත හැකි නමුත්, ජීවත් වන පරිසරය ද ඔබගේ යහපැවැත්මට බවට විශාල බලපෑමක් ඇති කරන්නේය. එසේ නම්, "ප්‍රීතිමත් නගරයක්" යනු කුමක් ද?
ඒ පිළිබඳව සොයා බැලීමේ අරමුණින් ජීවිතයේ ගුණාත්මකභාවය සඳහා වන ආයතනය (Institute for the Quality of Life) 2025 වසර සඳහා වන එහි ප්‍රීතිමත් නගර දර්ශකය (Happy City Index) පසුගියදා ප්‍රකාශයට පත් කළේය. එමගින් පුරවැසියන්, පාලනය, පරිසරය, ආර්ථිකය, සෞඛ්‍යය හා සංචලතාව යන ප්‍රධාන ප්‍රභේද හයක් සහ ඒවා යටතේ වන අනුදර්ශක 82ක් ඔස්සේ අධ්‍යයනය සිදු කෙරිණ. එම දර්ශකය මගින් ජීවිතයේ ගුණාත්මක බවට දායකත්වය සපයන ප්‍රතිපත්ති පිළිබඳව වන මානයන් මෙන්ම, ඒවා ක්‍රියාවට නැංවීම හා ඒවායින් වැසියන්ට ඇති කෙරෙන බලපෑම ගණනය කරනු ලැබීය.
කිසිදු නගරයක් "ප්‍රීතිමත්ම" යනුවෙන් සැලකිය නොහැකි නිසා, ඒ වෙනුවට සියළුම ප්‍රමිතීන් වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් නගර 31ක් "ස්වර්ණ නගර" ලෙසින් නම් කිරීම එම දර්ශකයෙන් සිදු කෙරිණ. "ප්‍රීතිමත් නගර" බිහි කිරීමට උපකාරී වන ප්‍රතිපත්ති හා ගතිලක්ෂණ මොනවාදැයි යන්න සොයා බැලීම සඳහා ලොව පුරා පිහිටි වැඩිම ලකුණු ලබාගත් නගර පහක වැසියන් සමග අපි කථාබහක නිරත වූයෙමු.
1. කෝපන්හේගන්, ඩෙන්මාර්කය
නිරතුරුව ම පාහේ ප්‍රීතිමත්ම රටවල් දර්ශකයට ඇතුළත් වන ඩෙන්මාර්කයේ අගනුවර වැඩි ම ලකුණු ලබාගැනීම පුදුමයට කරුණක් නොවේ. විශේෂයෙන්ම, පරිසරය යන කාණ්ඩය යටතේ කෝපන්හේගන් හොඳින් ලකුණු ලබාගන්නේ එහි පවතින හරිත වර්ණයෙන් යුත් අවකාශයන්, හොඳ නඩත්තුව හා කසළ කළමනාකරණය මෙන්ම, ආර්ථිකය යන කාණ්ඩයෙන් දායකත්වය සපයන දළ දේශීය නිෂ්පාදිතය, මධස්ථ වේතන හා සමස්ත නවෝත්පාදනය සහ ජාත්‍යන්තර සමාගම් එහි පිහිටා තිබීම යන කරුණු ද මතයි.
"ප්‍රීතිමත්ම" හොඳම ස්වර්ණ නගර 10
1. කෝපන්හේගන්
2. සූරික්
3. සිංගප්පූරුව
4. ඕහුස්
5. ඇන්ට්වර්ප්
6. සෝල්
7. ස්ටොක්හෝම්
8. තායිපේ
9. මියුනික්
10. රොටර්ඩෑම්
සම්පූර්ණ ලැයිස්තුව මෙතැනින්
පුරවැසියන් යන කාණ්ඩය යටතේ ද මෙම නගරය හොඳ ස්ථානයක පවතින්නේ, පුස්තකාල සහ කෞතුකාගාර වැනි සංස්කෘතිකාංග මෙන්ම, පුරවැසි සහභාගීත්වය හා උත්සව වැනි අංග ද හේතුවෙනි. එහි ස්ථීර පදිංචිකාරියක වන මේරි-ඈන් ඩූරා පවසන්නේ, අලංකෘතව පිළිගන්වනු ලබන ආහාර සහ සංස්කෘතිකමය දර්ශන හේතුවෙන් තමන් පදිංචිව සිටින නගරයට දැඩිව ආදරය කරන බවයි.
"කෝපන්හේගන් ආලෝක උත්සවය, මිනිස් පුස්තකාලය, කෝපන්හේගන් ඉවුම්පිහුම් නැත්නම් වීදි සාද වගේ නොමිලේ පවත්වන උත්සව නිතරම නගරයේ සංවිධානය කරනවා. පදිංචි අය වෙනුවෙන් නගරය ගන්න සුවදායක අත්දැකීම් ලබාදීමේ උත්සාහයන් මම අගය කරනවා," යැයි ඇය පැවසුවාය. "නිතරම මොනවා හරි දෙයක් කරන්න, අලුත් අත්දැකීමක් ලබාගන්න පුළුවන්. ඒකයි මම ස්ටොක්හෝම්වලට වඩා කෝපන්හේගන් පදිංචියට තෝරාගන්න තීරණය කළේ."
විකල්ප සහ සුරක්ෂිත ගමනාගමන පහසුකම් පැවතීම සම්බන්ධයෙන් ද කෝපන්හේගන් එහි පදිංචිකරුවන්ගේ ඇගැයීමට ලක් වේ. "ජනගහනයෙන් තුනෙන් එකක් විතර පාපැදියෙන් ගමන් කරන නිසා පාපැදිවලට වෙනමම මංතීරුවක් තියෙනවා නගරයට එන්නයි යන්නයි පාවිච්චි කරන්න. මෙට්‍රො සේවාව ද වෙලාවට සේවය ලබා දෙනවා," යැයි තවත් නගරවාසියෙකු වන ඒරන් වර්තයිමර් පෙන්වා දෙන්නේය.
පාපැදියක් කුලියට ලබාගෙන හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් පාලම ඔස්සේ සංචාරය කර බලන්නැයි ඔහු ආගන්තුකයින්ට නිර්දේශ කර සිටී. "ඔයාට මුළු නගරයම පේනවා. ඇල මාර්ග, ලස්සන ගෘහ නිර්මාණ දකින්න පුළුවන් වගේම, නගරයේ සෞන්දර්යාත්මක හා මුළු වටපිටාව ගැන ඔයාට ගොඩක් අගය කරන්න පුළුවන්," යැයි හෙතෙම පැවසීය.
තවත් එක් කෝණයකින් නගරය අත්විඳීම සඳහා වෝටර් බස් ලෙස හැඳින්වෙන මගී යාත්‍රාවක නැග යන්නැයි ඩූරා නිර්දේශ කරන්නීය. "පරිසරය අත්විඳින්නයි රෙෆන් (Reffen - උතුරුදිග යුරෝපයේ ඇති විශාලතම වීදි ආහාර වෙළෙඳපොල) හි ඇති ආහාර අලෙවි කරන ට්‍රක්රථවලට යන්නයි පුළුවන් වෙනවා. රෙෆන් කියන්නේ කෝපන්හේගන් විතරමයි."
2. සූරික්, ස්විට්සර්ලන්තය
දර්ශකයේ දෙවැනි ස්ථානය ගන්නා ස්විට්සර්ලන්තයේ විශාලතම නගරය වන සූරික් පුරවැසියන් සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව පුරවැසියන්ගේ සහභාගීත්වය පෙන්නුම් කරන හා වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඩිජිටල් සේවාවලට ප්‍රවේශ වීමේ හැකියාව පෙන්වා දෙන පාලනය යන කාණ්ඩයන් යටතේ විශේෂයෙන්ම ඉහළ ලකුණු ලබාගෙන සිටී.
සමස්ත වශයෙන් ජීවිතය පහසු කරවන මෙම තත්ත්වය යටතේ ආතතියෙන් තොරව සිටීමේ හැකියාව වඩාත් ඉහළ බව එහි වැසියෝ පවසති. Expat You නමින් ස්විට්සර්ලන්තයේ වැසියන්ට පදිංචිය වෙනස් කිරීම සඳහා උපකාර කරන ආයතනයක් පවත්වාගෙන යන රැකල් මාටෝස් ගොන්කාල්වේස් කියා සිටින්නේ, "සූරික් කියන්නේ දෙදරු මවක් හැටියට පවුලක් පවත්වාගෙන යන්න පරිපූර්ණම තැනක්," යනුවෙනි. "දිනපතා ජීවිතයේ ප්‍රධානම ගැටළුකාරී දේවල්වලට සම්පූර්ණයෙන්ම උත්තර ලැබෙනවා: ගොඩාක් ආරක්ෂිතයි (බාලාංශයේ සිට ළමුන්ට තනිවම පාසල් යෑමේ හැකියාව පවතී). පොදු ප්‍රවාහනය වෙලාවට කෙරෙනවා. ඒ වගේම සූරික් කියන්නේ ඉතාමත් පිරිසිදු හා පිළිවෙලකින් තියෙන නගරයක්."
ඇය වැඩිදුරටත් මෙසේ ද කියා සිටින්නීය: "මේ දේවල් ඔක්කොම නිසා දිනපතා ජීවිතය ගොඩාක් ලේසියි. වෙන දේ කලින් කියන්න පුළුවන්. ඔයාට විඳවන්න වෙන ආතතිය නැති කරලා දානවා."
මෙම නගරයට පැහැදිළි වශයෙන් රීති හා මාර්ගෝපදේශන ද පවතී. "අපේ නිල නොවන ආදර්ශ පාඨය වෙන්නේ "ඔව් කියලා කියන්නේ නැතිනම්, ඒ කියන්නේ නැහැ කියලා යි ('If it doesn't say yes, assume it's a no)," යනුවෙන් නගරවාසී අමෙලි ගුයියාට් පවසන්නීය. ඉන් අදහස් කෙරෙන්නේ, සියළුදෙනාම නීති හා රීති රාමුව ඇතුලත රැඳී සිටින බවත්, වීදි හා පොදු ප්‍රවාහනය වැනි යටිතලපහසුකම් සියල්ලම ක්‍රමවත්ව හා පිරිසිදුව පවත්වාගෙන යන බවත් ය. නගරයේ තිබෙන 1,000කට අධික ජලකරාමවලින් නොමිලයේ පානීය ජලය ලැබීම සම්බන්ධයෙන් ද ඇය ප්‍රසංසා මුඛයෙන් අදහස් දක්වන්නීය.
නගරය පුරාම 50කට අධික කෞතුකාගාර සංඛ්‍යාවක් පැවතිය ද, ස්විට්සර්ලන්තයේ තිබෙන විශාලතම කලා කෞතුකාගාරය වන Kunsthaus Zürich හි චාරිකා කරන ලෙසට ඇය සංචාරකයින්ට නිර්දේශ කර සිටින්නීය.
3. සිංගප්පූරුව
නගර රාජ්‍යයක් වන සිංගප්පූරුව නොයෙකුත් දර්ශකවලින් ඉහළ ස්ථානයක වැජඹෙන්නේ, ව්‍යාපාර සිදු කිරීමේ පහසුව, පිරිසිදුභාවය හා යටිතල පහසුකම් නිසා ආසියාවේ තිබෙන ප්‍රීතිමත්ම රටක් ලෙසිනි. 2025 වසර සඳහා වන ප්‍රීතිමත්ම නගර දර්ශකයේ ඊට හොඳම ලකුණු ලැබෙන්නේ පොදුවේ සුරක්ෂිතභාවය, එන්නත්කරණය වැනි මහජන සෞඛ්‍ය වැඩසටහන් හා සෞඛ්‍ය වියදම් සඳහා මූල්‍යමය ආරක්ෂාව යන කරුණු ගෙනහැර දක්වන, අලුතින් හඳුන්වාදුන් සෞඛ්‍යය පිළිබඳ ප්‍රමිතිය යටතේ ය.
පාලනය යන කාණ්ඩය යටතේ ද සිංගප්පූරුව ඉහළින් සිටින අතර, ලොව අනෙකුත් නගරවලට ඉමහත් හිසරදයක් වූ ජීවන වියදම ඉහළ යෑම අඩු කිරීම සඳහා වන ප්‍රතිපත්ති සාර්ථකව හඳුන්වා දුන් නගරයක් ලෙසින් එය දැක්විය හැක. එහි වාසියෙකු වන වී-බූන් යාර් ඒ සම්බන්ධයෙන් කරන අදහස් දැක්වීම මෙසේ ය. "සිංගප්පූරුවේ ජීවත් වීම ඉතාමත් මිල අධික වුනත්, හොඳ පොදු නිවාස යෝජනා ක්‍රමයක් පැවතීම වගේම ගෙවල්වල මිල ගණන් ඉහළ යෑම නිසා ගොඩාක් සිංගප්පූරු ජාතිකයින්ට තමන්ගේම කියලා ගෙයක් ලැබෙනවාට අමතරව විශ්‍රාම ගත්තහම හරි හදිසි වෙලාවකදි හරි විකුණන්න පුළුවන් මූල්‍යමය වත්කමක් ලැබෙනවා. දූපත පොඩි වුනත් අසල්වැසියන්ගෙන් ලැබෙන ශක්තිමත් බලපෑම නිසා අපේ නගරයට තරගකාරී වුණත් අනෙක් රටවල් එක්ක මිත්‍රශීලී විදියට ඉන්න පුළුවන්."
වඩාත් පහසුවෙන් ජීවිතය විඳීම සඳහා නගරයේ පවතින යටිතල පහසුකම්වලින් ලැබෙන සහාය ද නගරවාසීන්ගේ ඇගැයීමට ලක් වේ. එරට ව්‍යාපාර හිමියෙකු වන සැමුවෙල් හුආන් ඒ පිළිබඳව දරන මතය නම්, "පහසුවට අමතරව හරිත අවකාශ, සුරක්ෂිතතාව වගේම බහුසංස්කෘතික සහභාගීත්වය ඇත්තෙන්ම කැපිලා පේනවා. නගරය මැද දී විදේශීය සේවාදායකයෙකු හමුවෙන්න වගේම එදාම හවසට ජලතීරය ළඟ නැවතිලා ඉඳලා සතුටක් ලබන්න ඔයාට පුළුවන්."
"ඉතිහාසය, ආහාරපාන හා මෝස්තර දේශීය විදියට උපරිමයෙන් විඳ ගැනීමට" නම් මුල්වරට පැමිණෙන්නන් නවීන පන්නයේ වටපිටාවක් පවතින Tiong Bahru ප්‍රදේශයේ සංචාරය කළයුතු බවට ඔහු නිර්දේශ කර සිටී.
4. ඕහුස්, ඩෙන්මාර්කය
ඩෙන්මාර්කයේ දෙවැනි විශාලතම නගරය වන ආර්හුස් නිරතුරුවම හැඳින්වෙන්නේ "ලෝකයේ කුඩාම විශාල නගරය" ලෙසටයි. ඉන් අදහස් වන්නේ නාගරික සුවපහසුව සමග කුඩා ප්‍රජාවක හැගීමකින් සමන්විතව ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට එහි වාසීන්ට ඉඩ සැලසී ඇති බවකි. විශේෂයෙන් පුරවැසියන්, පරිසරය හා සෞඛ්‍යය අතින් මෙන්ම අන් සියළුම කාණ්ඩවලින් මෙම නගරය ඉහළ ලකුණු වාර්තා කර ඇති අතර, තම ජීවිතය වඩාත් පහසු වීම සඳහා ඒවායින් ලැබී ඇති පිටිවහල නගරවාසීහු ගෙනහැර දක්වති.
"දිනපතා ජීවිතයට නිරුත්සාහයෙන්ම ප්‍රීතිය එකතු වෙලා තියෙන්නේ සුඛෝපභෝගීකම නිසා නෙවෙයි, හිතාමතාම කරලා තියෙන ජාත්‍යන්තර සැලසුම් නිසායි," යනුවෙන් නගරවාසී කාර්ලා නිනා පෝනෙලොස් පවසන්නීය. "මට මතකයි වරාය හොඳට පේන උඩුමහල් ගෙවත්තක තිබුණු පොදු රෑ කෑමකට මම පාපැදියෙන් යනකොට මට තේරුණා නගරයක් අවංකවම ඒකෙ ඉන්න අයගේ යහපතට අනුබල දෙනකොට සතුට කොච්චර ලේසියෙන් ලබාගන්න පුළුවන් ද කියලා."
ඒකාබද්ධ පාපැදි මංතීරු හා හරිත අවකාශ පැවතීම සහ නොමිලේ පවත්වන පොදු උත්සව නිසා ප්‍රජාවක සාමූහික හැගීම ලබාදෙන බව ඇය සඳහන් කරන්නීය. නගරවාසීන් උණුසුම්ව තබාගැනීම සඳහා මෙන්ම කසලවලින් බලශක්තිය නිපදීම සඳහා ප්‍රදේශ මට්ටමින් සිදු කෙරෙන ධරනීය වැඩසටහන් නගරයට ගෙන එන්නේ අභිමානයකි. එපමණක් නොව, සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා ද ඉහළ ගුණාත්මක භාවයෙන් හා පහසු ප්‍රවේශයෙන් යුක්ත වේ. "ඒක යටිතල පහසුකම් විතරක් නෙවෙයි, මිනිස්සු එකිනෙකා සහ ආයතන විශ්වාස කිරීම කියන හැගීම ලබාදෙන දෙයක්," යැයි ඇය වැඩිදුරටත් පවසන්නීය.
විශ්වවිද්‍යාල ගණනාවක්ම පිහිටා ඇති ආර්හුස්හි විශේෂයෙන්ම සීත සෘතුවෙන් පසුව උද්‍යෝගිමත් වටපිටාවක් පවතී. "වසන්ත හා ග්‍රීස්ම කාල ආවහම හැමදෙනාම හේමන්ත නිද්‍රාවෙන් අවදි වෙලා උද්‍යානවල කාලය ගත කරමින්, වරායේ නාන ස්ථානයේ පීනමින් එහෙමත් නැතිනම් ඇලමාර්ගයක් ළඟ බීර බොමින් සතුටු වෙනවා," යනුවෙන් නගරවාසී මතායස් ස්ටීන් පවසයි. "කොච්චර උණුසුම් හා නිස්කලංක වටපිටාවක් තියෙනවා ද කියනවා නම් මිනිස්සු හැමතැනම ඉඳිමින් නගරයට කඩිසර කමක් දෙනවා."
හිරු උදාවත් සමග Infinite Bridge පාළම ඔස්සේ ඇවිද ගොස් නගරය පිළිබඳව හැගීමක් ලබාගන්නැයි ද පෝනේලොස් ආගන්තුකයින්ට නිර්දේශ කරන්නීය. "ඒක මුහුද වෙන තෙක් විහිදී යන කවාකාර ජැටියක්. නිශ්චල, තාත්වික නැති වගේම සොබාදහම, කලාව හා කල්පනාවෙන් කරපු නාගරික සැලසුම්කරණය ගැන ඩෙන්මාර්කයේ සංකේතය පෙන්වන විදිය ඒකයි. "ඒ අවස්ථාවම ඇති මෙහෙ ජීවත් වෙන එක මොන වගේ සමබර, ලස්සන හා ගැඹුරින් මානුෂීය වෙනවා ද කියලා දැනගන්න."
5. ඇන්ට්වර්ප්, බෙල්ජියම
තම රටෙහිම වඩාත් විශාල බ්‍රසල්ස් නගරය යාන්තමින් අභිබවා ගොස් ප්‍රීතිමත් නගර දර්ශකයට ඇතුළත් වීම සඳහා ඇන්ට්වර්ප් සමත් වූයේ, පුරවැසියන්, පාලනය හා පරිසරය යන කාණ්ඩවලින් ඉහළ ලකුණු ලබාගනිමිනි. එහි විශ්වාසනීය පොදු ප්‍රවාහනය, වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ගමනාන්තයන්ට යෑම සහතික කෙරෙන සුරක්ෂිත හා පහසු පාපැදි ගමනාගමනය මෙන්ම නගරයේ සංක්ෂිප්ත විශාලත්වය නගර වැසියන්ගේ ප්‍රශංසාවට භාජනය වේ.
"වයස විසි ගණන්වලදී මම ඇන්ට්වර්ප් වෙත ආවේ හොඳ ආහාරපාන හා ලස්සන ගෘහ නිර්මාණ තියෙන නගරයක් අත්විඳින්න යි. ජීවත් වෙන එක කොච්චර ලේසි ද කියනවා නම් මෙහෙ නවතින්න මම තීරණය කළා," යනුවෙන් පදිංචිකාරියක වන ග්‍රේස් කාටර් පවසන්නීය. "මෙහෙ දිනපතා ජීවිතයේ තියෙන සන්සුන් කාර්යක්ෂමතාව ඔයාට දැනෙන්න පටන් ගන්නවා."
වැඩකරන පවුල් වෙත සහාය ලබාදීම, නිවාස සැපයීම හා තිරසර බව වැනි ජීවිතය වඩාත් පහසු හා විඳිය හැකි බව ලබාදෙන ප්‍රගතිශීලී ප්‍රතිපත්ති යටතේ නගරය සිදුකරන ආයෝජන ඇයගේ අවධාරණයට ලක් වේ. "හරිත අවකාශ හා සංස්කෘතික ජීවිතය ගැන ඇන්ට්වර්ප් බරපතළව හිතන එකෙන් මම පුදුමයට පත් වුණා. ගංඉවුරුවල තියෙන උද්‍යානවල ඉඳලා ලෝක මට්ටමේ කෞතුකාගාර තෙක් මිනිස්සුන්ට අවංකවම ජීවිතය විඳින්න පුළුවන් තැනක්," යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
නගරය වඩාත් හොඳින් දැකබලා ගැනීමට නම්, ජනතාව වැඩියෙන් පැමිණෙන කෞතුකාගාරවලට යෑමට වඩා Theaterplein හි පිහිටි සෙනසුරාදා පැවැත්වෙන වෙළෙඳපොලෙහි සංචාරය කිරීම වඩාත් ඔබින්නේ යැයි ද ඇය පවසන්නීය. "කෝපි කෝප්පයක් බීලා, මිනිස්සුන්ගේ කතාබහට කන් දීලා, ගෙදර වගේ දැනෙන ඇන්ට්වර්ප් නගරයේ තියෙන සන්සුන්, නිසංසල, විශ්වාසදායක වටාපිටාව විඳින්න පුළුවන් වෙනවා."