සංචාරය කිරීම සඳහා ලෝකයේ හොඳ ම ගම්මාන ලැයිස්තුවක්

යහපත් සංචාරක කර්මාන්තයක පෝෂණය ලබන ග්‍රාමීය ප්‍රජාවන්ගෙන් සැදුම් ලත් නවතම ලැයිස්තුවක් එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය නිකුත් කර තිබේ.

තමන්ගේ ඊළඟ විවේකය සඳහා ආකර්ෂණීය නගර සොයන සංචාරකයින් සඳහා, හොඳ ම ලැයිස්තු විශාල සංඛ්‍යාවක් තිබේ. එහෙත්, සැනසිලිදායක, ස්වභාවික දර්ශන සහ දේශීය සම්ප්‍රදායන් සොයන පුද්ගලයින්ට, යොමුවීම සඳහා වෙනස් සංචාරක සම්පත් පවතී: එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයට (UNWTO) අනුව ලෝකයේ හොඳ ම සංචාරක ගම්මාන ලැයිස්තුව එවැන්නකි.

පසුගිය වසර තුන තුළ, "ග්‍රාමීය ප්‍රදේශ පෝෂණය කිරීමට සහ භූ දර්ශන, සංස්කෘතික විවිධත්වය, දේශීය වටිනාකම් සහ සූපශාස්ත්‍ර සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට පෙරමුණ ගෙන ඇති," ලොව පුරා ඇති ගම්මාන හඳුනාගෙන ලෝක සංචාරක සංවිධානය 2023 සඳහා ලැයිස්තුවක් නිකුත් කර තිබේ.

මෙම ගම්මාන 54 තෝරාගෙන ඇත්තේ, එම ගම්මාන තම ස්වභාවික පරිසරය කෙතරම් හොඳින් ආරක්ෂා කරන්නේ ද? (සහ ප්‍රදර්ශනය කරන්නේ ද?), ආර්ථික හා පාරිසරික තිරසරභාවය සඳහා ඔවුන්ගේ කැපවීම සහ සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම ඇතුළු විවිධ නිර්ණායක නවයක් පදනම් කරගෙනය.

නවතම ලැයිස්තුවේ ඇතුළත් ලොව පුරා වැඩි ම ආකර්ෂණයක් හිමි ගම්මාන 5ක් ගැන විමසා බැලීමකි, මේ.

හකුබා, ජපානය

විසි වසරකට පෙර, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ටෝනි ඇන්ඩර්සන් හිම ක්‍රීඩා සඳහා හකුබා වෙත පැමිණියේය. ජපාන ඇල්ප්ස්හි නගානෝ සිට කිලෝමීටර් 45ක් බටහිරින් පිහිටා ඇති එම ගම්මානය වෙත ඊළඟ වසරේ ඔහු යළිත් පැමිණියේ, ඉඩමක් මිල දී ගැනීමටය. එතැන් සිට ඔහු එහි වාසය කළේය.

හෝටල් හිමිකරුවෙකු වන ඇන්ඩර්සන් පවසන්නේ, හකුබාහි ආගන්තුක සත්කාරක සංස්කෘතිය තුළ සංචාරකයින්ට සාදර පිළිගැනීමක් ලැබෙන බවය. ඔහු සංචාරකයෙකු ලෙස එහි ගිය අවස්ථාවේ හෝටල් ගණනාවකට ගිය ද, ඒවා ඒ වන විටත් ඒ සියල්ල සංචාරකයින් වෙනුවෙන් වෙන්කර තිබුණු බව ඔහුට මතකය. එහෙත්, ආපසු හරවා යැවීම වෙනුවට ශාලා පිවිසුමෙහි තාවකාලික ඇඳක් ලබා දීමට ඔහුට ඇරයුම් කෙරිණි. අද පවා "කිසිවෙකු පිටතට හරවා නොයැවීම එහි ප්‍රතිපත්තිය වන අතර සෑම කෙනෙකු ම සාදරයෙන් පිළිගන්නා," බව ඔහු පැවසීය.

මෙම ආගන්තුක සත්කාරක සංස්කෘතිය වර්ධනය වීමට, ප්‍රායෝගික හේතු සාධක ද බලපා ඇතැයි පෙනී යයි. හිම වැටෙන කාලය පැමිණි විට, ඇතැම් විට මාර්ග හිමෙන් වැසී ගිය පසු, පිටතට යාමට අවශ්‍ය වුව ද, කිසිසේත් පිටව යා නොහැකිය. ඇත්ත වශයෙන් ම, එය හිම ක්‍රීඩා සඳහා අතිශයින් සුදුසු වේ. හිම ක්‍රීඩා සඳහා වෙන් වූ ලැගුම්හල් 10 කින් වට වූ හකුබා ගම්මානය, 1998 නගානෝ ශීත ඍතු ඔලිම්පික් උලෙළේ බොහෝ ඉසව් සඳහා සත්කාරකත්වය දැක්වීමෙන් වඩාත් ප්‍රසිද්ධියට පත්විය. චෙරි මල් පිපෙන වසත් සමයේදී පවා, හිම ක්‍රීඩා කිරීමට තරම් ප්‍රමාණවත් හිම පවතී.

හකුබා ගම්මානය ශීත ඍතුව සඳහා ප්‍රසිද්ධියක් ඉසිලුව ද, වසරේ ඕනෑ ම කාලයක සංචාරය කිරීමට සුදුසු බව ඇන්ඩර්සන් පැවසීය. ගිම්හාන ඍතුවේදී කඳු තරණය කර කඳු මත ලැගුම් ගැනීමට ඔහු කැමැත්තක් දක්වයි. සරත් ඍතුවේදී, ශාක පත්‍ර දැකීමට අවශ්‍ය සංචාරකයින් අතර එම ගම්මානය ජනප්‍රියත්වයක් උසුලයි. හකුබාහි ඔන්සෙන් ලෙස හැඳින්වෙන උණු දිය උල්පත්වල ජනප්‍රියත්වයට ඍතු භේදයක් බලපාන්නේ නැත‍.

"මම කඳු දිහා නොබලන දවසක් නැහැ. මෙතන තියෙන සුන්දරත්වය ඇත්තට ම අගය කරනවා," ඇන්ඩර්සන් පැවසීය.

ලෙරිචි, ඉතාලිය

සින්කු ටෙයරි වෙත යන්න: ආකර්ෂණීය මුහුදු දර්ශන, පිරිසිදු වෙරළ සහ වර්ණවත් නිවාස සොයන සංචාරකයින් සඳහා, ලැයිස්තුවට එක් කිරීමට ලිගුරියා කලාපයේ තවත් ගමනාන්තයක් තිබේ. වයඹ දිග ඉතාලි වෙරළ තීරයේ, ජෙනෝවා සිට කිලෝමීටර් 100 ක් දකුණින් (හෝ සින්කු ටෙයරි වෙත පිවිසීමේ ජනප්‍රිය සංචාරක කේන්ද්‍රයක් වන ලා ස්පෙසියා සිට කිලෝමීටර 10 ක් දකුණින්), පිහිටි ලෙරිචි සැබවින් ම රහසක් නොවේ. තවමත්, එහි පිහිටීම - විශේෂයෙන් එහි දුම්රිය ස්ථානයක් නොමැතිකම - එයින් අදහස් වන්නේ එය එම ප්‍රදේශයේ පිහිටි බොහෝ අසල්වැසි ගම්මානවලට වඩා දැඩි සංචාරක ව්‍යාපාරයෙන් තරමක් ආරක්ෂා වී ඇති බවය.

"Gulf of Poets"හි අගනුවර ලෙස නම් කර ඇති එම ප්‍රදේශයේ ලෙරිචි සංගීත උළෙල, Premio Lerici Pea Golfo dei Poeti සාහිත්‍ය තරගාවලිය ඇතුළුව නිතිපතා චිත්‍ර ප්‍රදර්ශන වැනි සංස්කෘතික හා කලාත්මක උත්සව රාශියක් පවත්වන අතර මධ්‍යතන යුගයට අයත් රජ මාලිගාවක් තිබේ. "ලෙරිචි යනු පෙළඹවීමක් ඇති කරන ස්ථානයක් බවට තෝරා ගනු ලැබූ සංස්කෘතිය, සාහිත්‍යය සහ සිතුවම් කලාව යන ක්ෂේත්‍රයන්හි දැවැන්තයින් රැසක් ශත වර්ෂ ගණනක් පුරා ලෙරිචි වෙත සාදරයෙන් පිළිගෙන තිබෙනවා," එම දැවැන්තයින් අතර පී.බී. ෂෙලී කවියා, වර්ජිනියා වුල්ෆ් නවකතාකාරිය සහ පාඔලෝ පැසොලිනී නම් අධ්‍යක්ෂවරයා ද වන බව ලෙරිචි නගරාධිපති ලියනාඩෝ පඕලෙටි පැවසීය. "අදටත් මේ උරුමය නොනැසී තියෙනවා."

ඉතාලියේ වෙනත් බොහෝ වෙරළාසන්න කලාප මෙන් නොව, ලෙරිචි ප්‍රදේශයේ ඔවුන්ගේ සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය ද ආරක්ෂා කර තිබේ. "ඉතාලියේ පැරණි ම මට්ටයින් වගාව තියෙන්නේ ලෙරිචිවල. ඒක 19 වන සියවස තෙක් ඈතට දිවෙනවා," පාඕලෙටි පැවසීය. එහෙත්, ප්‍රදේශ වාසීන්ට වැටහෙන පරිදි වර්තමානයේ මසුන් ඇල්ලීම යනු එය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කරන්නකි: වසර 25 කට වැඩි කාලයක් තිස්සේ, ලෙරිචිහි අධික ලෙස මසුන් ඇල්ලීම "අත්හරිමින් සිටින" බව පඕලෙටි පවසයි. විවිධ තිරසර ක්‍රියාන්විතයන් අතර, එම නගරය Smart Bay නමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි. එම ව්‍යාපෘතියට විද්‍යාත්මක පර්යේෂණ මෙන් ම බොක්ක සහ එහි පරිසර පද්ධති අධීක්ෂණය ද ඇතුළත් වේ. ඊට අමතරව, එම ව්‍යාපෘතිය මගින් සූර්ය බලශක්ති උත්පාදන පුවරු හඳුන්වා දී ඇති අතර, එක් වරක් භාවිත කරන ප්ලාස්ටික් තහනම් කිරීමටත්, වෙරළ කලාපයේ දුම් පානය කිරීමත් තහනම් කර තිබේ.

අවසාන ඉලක්කය කුමක් ද? එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය පවසන පරිදි, එය සංචාරයක ගමනාන්තයක් බවට පත්වන්නේ, "එහි ස්වභාවික සෞන්දර්යයේ වසඟයෙන් පමණක් නොව, පාරිසරික සාර්ථකත්වය සඳහා වන ආදර්ශයක් ලෙස ද නැගී සිටිමිනි".

ලෙෆිස්, ඉතියෝපියාව

ස්වාභාවික සුන්දරත්වය සහ වන ජීවීන් සඳහා, ඉතියෝපියානු අගනුවර වන අඩිස් අබාබා සිට කිලෝමීටර 160 ක් පමණ දකුණින් ලෙෆිස් වනාන්තරයේ පිහිටා ඇති ලෙෆිස් ගම්මානයට ළඟා වීම දුෂ්කර ය. සංචාරකයින්ට ඇවිද යාමෙන් හෝ අශ්වයින් පිට යාමෙන් ආකර්ෂණීය ලෙෆිස් දිය ඇල්ල පසු කරමින්, කඳු සහ නිම්න අතරින්, කොලබස් වඳුරන්, කොටියන් සහ කඳුකර න්‍යාලා සත්වයින් නරඹමින් ඊට ළඟා විය හැකිය. පක්ෂීන් නරඹන්නන්ට ද, ඇබිසියානු පොල්කිච්චන් සහ සුදු කම්මුල් කොකටුවන් වැනි පක්ෂි විශේෂ නැරඹීමට විශේෂ අවස්ථාවක් හිමි වනු ඇත.

"මම නිතර ම එහෙ යනවා සංචාරකයින් එක්ක සත්තු සහ ගස්වැල් බලන්න," වෙන්චර් ඉතියෝපියා ටුවර් ඇන්ඩ් ට්‍රැවල් ආයතනයේ සංචාරක මග පෙන්වන්නෙකු වන බිරුක් චික්සා පැවසීය. "මම ඒකට ගොඩක් කැමතියි." චික්සා පවසන පරිදි විදෙස් සංචාරකයෝ ද එහි යාමට විශාල කැමැත්තක් දක්වති.

මෙම වනාන්තරය පවුල් 2000කට පමණ වාස භූමියක් ද වේ. ඒවායින් බොහොමයකට දැන් ලෙෆිස් පරිසර සංචාරක ගම්මානය ලෙසින් හඳුන්වනු ලබන ව්‍යාපෘතියෙන් සහය ලැබේ - එය, සංචාරක ව්‍යාපාරය දිරිමත් කරන අතර ම දේශීය උරුමයන් සුරැකීමට සහ ප්‍රජාවට උපකාර කිරීමට ප්‍රජාව පදනම් කර ගත් ක්‍රියාන්විතයකි. කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු පමණ සේවය කරන මිෂිකේ හස්ත කර්මාන්ත සංගමයට ස්තුතිවන්ත වන්නට, දේශීය තණකොළ හා උණ බම්බුවලින් නිර්මාණය කරන ලද පබළු ආභරණ සහ ලී කැටයම් වැනි හස්ත කර්මාන්ත සංචාරකයින්ට දැක ගත හැකිය.

දූමා, ලෙබනනය

රතු උළු සෙවිලි කළ සාම්ප්‍රදායික ගල් ගෙවල්, අවට බැට්‍රෝන් කඳුකරයේ දර්ශන, සියවස් ගණනාවක් පැරණි පල්ලි සහ මෑතකදී ප්‍රතිසංස්කරණය කරන ලද අරාබි වෙළෙඳපොළ සහිත බේරූට් සිට කිලෝමීටර් 80ක් පමණ ඊසාන දිගින් පිහිටි දූමා ගම්මානයෙහි ඡායාරූප සඳහා පවතින ආකර්ෂණීය නොමැති නම් අන් කිසිවක් නැත.

"මට ඇති වුණ පළවෙනි හැඟීම තමයි ගම්මානයේ තියෙන සුන්දරත්වය," දූමා නගරයට පළමු වරට පැමිණි අවස්ථාව ආවර්ජනය කරමින් ලෙබනනයේ සංචාරක අත්දැකීම් ලියන ලෙබනනයේ පුරාවිද්‍යාඥවරියක සහ ග්‍රාමීය සංචාරක උපදේශකවරියක වන රානා ටනීසා පැවසීය. "ඒ වගේ ම මේ ගම්මානයේ ඉතිහාසය අදහා ගන්න බැරි තරම්. හරියට ඉතිහාස පොතකට පිවිසෙනවා වගේ දැනෙනවා."

ඇත්ත වශයෙන් ම, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය පවසන පරිදි, 2023 හොඳ ම ගම්මාන ලැයිස්තුවට තෝරා ගැනීමේදී එහි වාස්තු විද්‍යාත්මක සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට මෙන් ම "අවුල්සහගත නාගරික පුළුල්කරණය වළක්වා ගැනීමට" දූමා නගරයේ කැපවීම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

දේශීය ආහාර සම්ප්‍රදාය ආදී එහි සංස්කෘතික උරුමයේ තවත් අංග ආරක්ෂා කර ඇතැයි ලෝක සංචාරක සංවිධානය සඳහන් කරයි. ටනීසා පවසන පරිදි, බිස්කට්වලින් සකසන "රාහා රස කැවිලි" ප්‍රියතම ආහාරයකි. ඊට අමතරව, සාටාර්, ඔලිව් තෙල් සහ චීස් සහ ජෑම් ද විශේෂය. අමුද්‍රව්‍යවලින් වැඩි කොටසක් ලැබෙන්නේ, දේශීය ගොවිපොළ සහ මිදි වතුවලිනි. දූමා යනු සම්ප්‍රදාය පමණක් නොවේ: ගමට විදුලිය නිපදවීමට සූර්ය පැනල 600ක් භාවිත කිරීම, ගස් සිටුවීම සහ කොම්පෝස්ට් නිෂ්පාදනය දිරිමත් කිරීම ඇතුළුව, ගම්මානය තුළ නව හරිත ක්‍රියාන්විතයන් ගණනාවක් සිදු කර ඇත.

එහෙත්, එහි සුන්දරත්වය, සංස්කෘතියක උරුමය, ආහාර හෝ තිරසරභාවයට වඩා තවත් ගුණාංගයක් ඇතැයි ඇය පවසයි. ඒ, ගම් වැසියන් තුළ පවතින කරුණාවන්තභාවයයි. "ඔවුන්ට තියෙන්නේ උණු වෙන හදවත්. ඔවුන් කරුණාවන්තයි. ඔවුන් උපකාර කරනවා විතරක් නෙවෙයි බෙදා හදා ගන්නවා," ඇය පැවසුවාය. "උදාහරණයක් විදිහට කවුරු හරි තොරතුරු විමසුවොත්, ඔවුන් උදව් කරනවා විතරක් නෙවෙයි, ගම්මානය ඇතුළෙ ඔවුන්ට මග පෙන්වීමත් කරයි."

දූමාහි රැඳී සිටීමෙන් උපරිම ඵලය ලබා ගැනීමට (සහ ප්‍රදේශ වාසීන් දැන හඳුනා ගැනීමට), ගම්වාසී පවුල් විසින් සාම්ප්‍රදායික ආහාර සකසනු ලබන තානායම්වලින් එකක රැඳී සිටින ලෙස ටනීසා උපදෙස් දෙයි.

සැපටෝකා, කොලම්බියාව

වසර හයකට පෙර, කොලොම්බියාවේ වෙනත් ප්‍රදේශවල ගුරුවරයෙකු ලෙස දශක තුනක් සේවය කිරීමෙන් පසු, ගුයිලර්මෝ රින්කන් වෙලන්ඩියා, Colombia Trails SAS නමැති සංචාරක සමාගම දියත් කිරීමට තීරණය කළ අතර, ඔහු එය කිරීමට කොලොම්බියාවේ සැපටෝකා නමැති ඔහු උපන් නගරයට ආපසු පැමිණියේය. ඊට හේතු රැසක් ඇතැයි ඔහු පැවසුවේය. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් 2023 වසර සඳහා හොඳ ම සංචාරක ගම්මානයක් ලෙස රටේ උතුරු කලාපයේ පිහිටා ඇති සැපටෝකා ලැයිස්තුගත කළේ මන්දැයි යන්න ඔහු ඉදිරිපත් කරන හේතු ප්‍රතිරාව දක්වයි.

පළමුවෙන් ම, එහි ස්වාභාවික පිහිටීමයි. මුහුදු මට්ටමේ සිට මීටර් 1,700ක් පමණ උසින් පිහිටි සානුවක පිහිටා ඇති සැපටෝකාහි ලෝකයේ පැරණිතම සමුද්‍ර පොසිල කිහිපයක් ඇතුළු "පිරිපුන් සහ අද්විතීය භූ විද්‍යාත්මක උරුමයක්" ඇති බව වෙලන්ඩියා පැවසීය. පෞරාණික භූගත ගුහා, නිවර්තන වනාන්තර සහ කඳු නැගීම, ගවේෂණ සහ ඇවිදීම සඳහා වන කඳු සමගින් එහි භූ දර්ශනයේ විවිධත්වය කැපී පෙනේ.කෙසේ වෙතත්, එහි දේශගුණය කැපී පෙනෙන ලෙස ස්ථායී වේ: එය වසර පුරා සෙල්සියස් අංශක 20 ක පමණ උෂ්ණත්වයක් පවත්වා ගෙන යන අතර, ගම්වැසියන් එය "සේද මෙන්-සමාන දේශගුණයක් සහිත ගම්මානය" ලෙස හඳුන්වනු ලබයි.

රිපබ්ලිකන් සහ යටත් විජිත විලාසිතා එහි ආගමික ගෘහනිර්මාණ ශිල්පයට සහ ඉතිහාසයට මිශ්‍ර කරන ලද ටෙරාකොටා වහලවල් සහිත සුදු පැහැති 18 වන සියවසේ නිවාසවලින් නගරයේ සංස්කෘතික උරුමය ද කැපී පෙනේ. (එයට "Levitical City" ලෙස නමක් පට බැඳ ඇත්තේ, එහි ඇති දේවස්ථාන සහ පල්ලි සංඛ්‍යාව හේතුවෙනි).

විශේෂයෙන්, සංගීත ලෝලීන් සඳහා පිරිනැමීමට තවත් බොහෝ දේ නගරය සතුව ඇත. ජාත්‍යන්තර නර්තන උලෙළ, "Aires de mi Tierra" නමැති ජාතික නර්තන උලෙළ, Gustavo Gómez Ardila ජාත්‍යන්තර ගායන උලෙළ සහ බෙල් උත්සවය ඇතුළු සංගීත හා නර්තන සැමරුම් උත්සව වසර පුරා පැවැත්වේ.

"සැපටෝකා කියන්නේ කලාවන් සජීවීව පවත්වාගෙන යන නගරයක්," වෙලන්ඩියා පැවසීය.

BBC Travel වෙනුවෙන් ඇමෙන්ඩා රුජේරි විසිනි.